Tuesday, 07 May 2024

වෛද්‍යවරු 100කට කොරෝනා,වෛද්‍ය ගයාන්ගේ මරණයෙන් පසු සෞඛ්‍ය අංශ තිගැස්මෙන්

Posted On Wednesday, 03 February 2021 04:19

කොරෝනා ආසාදනය වීමෙන් ගාල්ල, කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා ජීවිතක්ෂයට පත් වීමත් සමග සෞඛ්‍ය වෘත්තිකයින් තිගැස්මකට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 

කොළඹ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ, දෙවන කොරෝනා රැල්ල තුළ වෛද්‍යවරුන් 100 දෙනෙකුට පමණ කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවය. 

මේ අතර, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 1000ක් පමණ මේ වන විට කොරෝනාවෛරසයට ගොදුරු වී ඇති බවත් ඔවුන්ගේ ආශ්‍රීතයින් සංඛ්‍යාව ද සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බවත් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය. 

සෞඛ්‍ය වෘත්තිකයින් කොරෝනාවෛරසයට ගොදුරුවීම තුළ මෙරට සෞඛ්‍ය පද්ධතිය විශාල කඩා වැටීමකට ලක්විය හැකි බව ද හරිත අලුත්ගේ මහතා පැවසීය. 

සෞඛ්‍ය වෘත්තිකයින්ට විස්වාසයෙන් යුතුව රාජකාරී කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම සෞඛ්‍ය බලධාරීන් සතු වගකීමක් බව ද ඔහු සඳහන් කළේය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙසේ ද පැවසීය. 

”අපි ඇත්ත කතා කරනකොට, ජනතාව බිය කරන බිල්ලො මවනවා කියන චෝදනාව අපට තියෙනවා.  අපි ඒ චෝදනාවට බයේ ඉන්නේ නෑ. යථාර්ථය රටට හෙළි කරනවා. ගායන්ගේ වගේ මරණ ඉදිරියට නොවෙන්න කටයුතු කරනවා.”