Monday, 29 April 2024

ගත වූ මාස 6ට කන කර තියා බිලියන 643ක් ණය අරන්!

Posted On Monday, 09 November 2020 05:04

 
ගත වූ මාස 6ට කන කර තියා බිලියන 643ක් ණය අරන්!
ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරන්නන්ගෙන් 41% ක්ම මේ වන විට ගෙවීම් පැහැර හැර ඇත!

කොවිඩ් හේතුවෙන් මෙරට පවුල් 64%ක ආදායම්වලට සෘජු බලපෑම් එල්ල කර ඇති බවත් පවුල් 7%කට මුළුමනින්ම ආදායම් අහිමිවී ඇත!
වාණිජ බැංකු හා මූල්‍ය ආයතනවල ස්වර්ණාභරණ උකස් මධ්‍යස්ථානවලින් මේ වසරේ (2020) පසුගිය මාස හයට මහජනයා ලබාගෙන ඇති ණය මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 643ක් බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා පෙන්වා දෙයි. රන් ණය සඳහා ලබාදෙන මුදල මෑත කාලීනව සැලකිය යුතු ලෙස ඉහළ දැමුණු අතර වාණිජ බැංකුවල එම අගය රන් පවුමකට රුපියල් 57,000 සිට 60,000 දක්වා ඉහළ දමා තිබිණි.

ඊට සාපේක්ෂව රන් ණය සඳහා වාර්ෂික පොලී අනුපාතය 10% දක්වා මහ බැංකුව විසින් අඩු කෙරිණි. එසේම ඇතැම් පෞද්ගලික මූල්‍ය ආයතන වලින් රන් පවුමකට ලබා දෙන මුදල රුපියල් 65,000 දක්වාද ඉහළ දමා ඇත.

මේ අතර මෙරට සෑම ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරන්නන්ගෙන් සිව් දෙනකුගෙන් එක අයකුම මේ වනවිට ණය ආපසු ගෙවාගත නොහැකි තත්ත්වයට පත්ව ඇතැයිද අනාවරණය වෙයි.
මහ බැංකු දත්ත වලින් පෙන්නුම් කරන ආකාරයට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරන්නන්ගෙන් 41% ක්ම මේ වන විට ගෙවීම් පැහැර හැර ඇත. 2020 දෙවැනි කාර්තුවේදී මෙලෙස ක්‍රෙඩිට් කාඩ්පත් හරහා සිදු කර ඇති ගනුදෙනු ප්‍රමාණය රුපියල් බිලියන 38.3 ක් වූ අතර ඉන් රුපියල් බිලියන 15.7 ක් ආපසු ගෙවීම පැහැර හැර තිබේ.
...............,
කොවිඩ් අර්බුදය හේතුවෙන් මෙරට පවුල් 64%ක ආදායම්වලට සෘජු බලපෑම් එල්ල කර ඇති බවත් පවුල් 7%කට මුළුමනින්ම ආදායම් අහිමිවී ඇති බවත්, රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍රපති හා සමාජ විද්‍යාපීඨය ඉදිරිපත් කළ පර්‌යේෂණ වාර්තාවක් අනාවරණය කරයි.

එම වාර්තාවට අනුව මෙරට පවුල්වලින් 45%ක්ම ණය ආපසු ගෙවීම, උකස් කරන ලද රන්භාණ්ඩ බේරා ගැනීම, හිඟ ණය ශේෂයන් සහ වෙනත් බිල්පත් ගෙවීම් වෙනුවෙන් මූල්‍යාධාර අපේක්ෂා කරන තත්ත්වයට පත්ව ඇත.

මේ අතර මහ බැංකුව විසින් නැවත වතාවක් දීර්ඝ කරන ලද ණය අත්හිටුවීමේ පහසුකම වානිජ බැංකු විසින් නිසි ආකාරයෙන් ගනුදෙනුකරුවන් වෙත ලබානොදුණහොත් ණය ගැනුම්කරුවන්ගේ ආදායම් මාර්ග අහිමිවීම හේතුවෙන් බැංකු සහ ගැනුදෙනුකරුවන් යන පාර්ශ්ව දෙකම ඉදිරි මාස 03ක කාලය ඇතුළත දැඩි අර්බුදයකට පත්වනු ඇතැයිද මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘අරුණ’ට සඳහන් කළේය.

නයන තරංග ගමගේ(අරුණ)