Saturday, 20 April 2024

කොළඹ මාර්ග නීති කඩකරන රථවාහන සඳහා දඩ පත්‍රිකා නිවසටම එවන CCTV මෙහෙයුම ඇරඹෙයි.

Posted On Tuesday, 15 September 2020 08:25

කොළඹ නගරය තුළ මාර්ග නීති උල්ලංඝනය කරන රියැදුරන් සී සී ටී වී කැමරා පද්ධතිය ඔස්සේ හඳුනාගෙන ඔවුන්ට තැපැල් මාර්ගයෙන් දඩ පත‍්‍රිකා නිවසට යැවීමේ වැඩපිළිවෙළක් ලබන සඳුදා (21 වැනිදා) සිට ආරම්භ කරන බව බස්නාහිර පළාත් රථවාහන අංශය සහ නාගරික රථවාහන අංශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර පැවසීය.

කොළඹ නගරය තුළ සීසීටීවී කැමරා 108 ක් සවිකර ඇති අතර කැමරා පද්ධති සවි කළ පොලිස් වෑන් රථ තුනක් ස්ථාන ගත කර තිබේ. ඒවා මගින් මාර්ග නීති උල්ලංඝනය කරන පුද්ගලයන් හඳුනා ගන්නා බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියා සිටියේය.

පැය 24 පුරාම මෙම කි‍්‍රයාවලිය සිදු කරන අතර මාර්ග නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ගේ තොරතුරු මෝටර් රථ ලියාපදිංචි කරන දෙපාර්තමේන්තුව හරහා ලබාගෙන ඔවුන්ට දඩ පති‍්‍රකා නිවසට යැවීමේ වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.

මේ පිලිබදව  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර මහතා කියා සිටියේ කොළඹ නගරයට ඇතුළු වන ප‍්‍රධාන මාර්ගවල සිට කොළඹ නගරයේ වාහන ධාවනය කරන ප‍්‍රධාන මාර්ග 5 තුළම මෙම කැමරා පද්ධතිය ඔස්සේ රථවාහන වැරදි කරන රියැදුරන් හඳුනා ගැනීමේ වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කර ඇති බවයි.

මෙහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මෙසේද කියා සිටියේය.

දැඩි රථවාහන තදබදයක් පවතින අවස්ථාවල රථ වාහන වැරදි කරන පුද්ගලයන්ට දඩ පති‍්‍රකා ලබාදීම ඉතාම අපහසු කටයුත්තක්. ඒ දේ කරන්න ගියොත් වාහන තදබදය තවත් වැඩි වෙන්න පුළුවන්.

ඒ නිසා තමයි පොලිස් රථ වාහන අංශය මේ ආකාරයට සීසීටීවී කැමරා පද්ධතිය ඔස්සේ වැරදිකරුවන් හඳුනාගෙන ඔවුන්ට දඩ පති‍්‍රකා නිවසට යැවීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන්නේ.

ඒ වගේම මන්තීරු නීතිය කි‍්‍රයාත්මක කිරීමට ඊයේ කිිසියම් ගැටලූ සහගත තත්ත්වයක් ඇතිවෙලා තිබුණා. ඒත් ඒ ගැටලූ හඳුනාගෙන අපි මේ ක‍්‍රමය සාර්ථකව ඉදිරියට කි‍්‍රයාත්මක කරන්න කටයුතු කරනවා.

මේ මංතීරු නීතිය සාර්ථක කර ගන්න වාහන පදවන පුද්ගලයන් සහාය විය යුතුයි. මේ ක‍්‍රමය දිගටම කි‍්‍රයාත්මක කළොත් කොළඹ නගරයේ රථවාහන තදබදයට ඉතාම සාර්ථක පිළියමක් දෙන්න පුළුවන්.

ඒ වගේම මාර්ග නීති කඩ කරන පුද්ගලයන්ට ඉදිරියේදී කිසිම සමාවක් ලබා දෙන්නේ නැහැ. මාර්ග නීති කඩ කරන පුද්ගලයන් සීසීටීවී කැමරා ඔස්සේ හඳුනාගෙන ඔවුන්ට දඩ පති‍්‍රකා නිකුත් කිරීම සඳහා රථ වාහන අංශයේ විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.