Friday, 26 April 2024

ඖෂධ නිෂ්පාදකයන් සඳහා අක්කර 400ක් හම්බන්තොටින් සහ අක්කර 100ක් අනුරාධපුරෙන්

Posted On Friday, 11 September 2020 10:24
 

මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් සියයට 85 ක් ආනයනය කිරිම සදහා වාර්ෂිකව රුපියල් බිලියන 130 ක් වැය වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා.

අවශ්‍ය ඖෂධ දේශීයව සපුරා ගැනීමෙන් වාර්ෂිකව රුපියල් බිලියන 60 ක් ඉතිරි කර ගත හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ඒ අනුව ඉදිරි වසර තුන ඇතුළත මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් සියයට 50 ක් දේශීයව නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළා. 

දැනට ආසියානු කලාපය තුළ ඖෂධ ආනයනය කරන රට ශී‍්‍ර ලංකාව වනවා. කඩිනමින් එම තත්ත්වය වෙනස් කළ යුතු බවත් ඊට දායකවීමට මහා පරිමාණ දේශීය ආයෝජකයන් කැමැත්ත පළ කර ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙහිදි පවසා තිබෙනවා. විදේශීය වෙළෙදපොලට සහ ජනතාවට අවශ්‍ය ප‍්‍රමිතියෙන් යුතු ඖෂධ දැරිය හැකි මිලකට ලබාදීම මෙහි එක් අරමුණක්. 

ඒ අනුව විදෙස් වෙළෙද පොළ ඉලක්ක කර ගනිමින් ඖෂධ නිෂ්පාදනය සදහා අක්කර 400 ක ආයෝජන කලාපයක් හම්බන්තොට කර්මාන්ත පුරවරයේ ස්ථාපනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ. දේශීය ආයෝජකයන් සදහා අයෝජන කලාපයක් අනුරාධපුර, ඔයාමඩුව ප‍්‍රදේශයේ අක්කර 100 ක ඉදිකිරීමට නියමිතයි. 

මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් 25 දෙනෙක් අමෙරිකානු ඩොලර් මිලියන 300 කට වැඩි ආයෝජනයක් කිරීමටයි කැමැත්ත පළ කර ඇත්තේ. මේ වනවිට සෑම මසකටම එක් නව ඖෂධයක් රට තුළ නිෂ්පාදනය ආරම්භ කර ඇති අතර ඉදිරි වසරේදී සති දෙකකට වරක් නව ඖෂධයක් නිෂ්පාදනය කිරීම ඉලක්කය වනවා. මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ වුණේ මේ වනවිට රට තුළ අත්‍යාවශ්‍ය ඖෂධවල හිගයක් නොමැති බවයි.