Friday, 26 April 2024

ප‍්‍රදේශ රැසකට තද වැසි - ගතවූ පැය 20 දී වැඩිම වර්ෂාපතනය මි.මි 121 කොළඹට

Posted On Wednesday, 09 September 2020 04:01
 

ප‍්‍රදේශ රැසකට ඊයේ (08) රාතී‍්‍රයේ සිට ඇදහැලෙන තද වැසි හේතුවෙන් මාර්ග කිහිපයක් මේ වනවිටත් ජලයෙන් යටවී තිබෙනවා.

අද (09) අලූයම 04.30 න් අවසන් වූ ගතවූ පැය 20 තුළදී කොළඹ දිස්ති‍්‍රක්කයට මිලිමීටර් 121 ක තද  වර්ෂාපතනයක් ඇදහැලී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ගාල්ල දිස්ති‍්‍රක්කයේ කහදූව ප‍්‍රදේශයට මිලිමීටර් 112 ක වර්ෂාපතනයක් ඇද හැලී තිබෙනවා. එම දිස්ති‍්‍රක්කයේ ඇත්කඳුර ප‍්‍රදේශයට මිලිලීටර් 105 ක වර්ෂාපතනයකුත්, උඩුගම ප‍්‍රදේශයට මිලිමීටර් 101 ක වර්ෂාපතනයකුත් ඇදහැලී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.  

කොළඹ දිස්ති‍්‍රක්කයේ මට්ටක්කුලිය ප‍්‍රදේශයට මිලිමීටර් 104 ක තද වර්ෂාපතනයක් ඇදහැලී තිබෙනවා. 

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් වැසි තත්ත්වයේ වැඩි අවදානම් දිස්ති‍්‍රක්ක 12 ක් නම් කර තිබෙනවා. කොළඹ, කලූතර, ගම්පහ, කෑගල්ල, රත්නපුර, මහනුවර, නුවරඑළිය, මාතලේ, කුරුණෑගල, පුත්තලම, ගාල්ල සහ මාතර එලෙස තද වැසි පිළිබඳ අවදානම් නිකුත් කර ඇති දිස්ති‍්‍රක්කයි. ඒ අනුව එම දිස්ති‍්‍රකකවලට දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

එසේම එම දිස්ත‍්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ක පමණ තද වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. 

ඇද හැලෙන මහ වැසි හේතුවෙන් කොළඹ ප‍්‍රදේශ කිහිපයක් ද ජලයෙන් යටවී තිබෙනවා. කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත‍්‍ර පීඨය ඉදිරිපස මාර්ගය අද අලූයම එලෙස ජලයෙන් යටවී තිබුණා. එමෙන්ම ආමර්වීදිය, මරදාන ඞීන්ස් පාර ඇතුළු මාර්ග කිහිපයක් ද ජලයෙන් යටවී තිබූ බවයි වාර්තාකරුවන් සඳහන් කළේ. තද සුළං හේතුවෙන් ඇතැම් ප‍්‍රදේශවලින් ආපදා තත්ත්වයන් ද වාර්තා වී තිබෙනවා. 

උපුටා ගැනීම නෙත් නෙව්ස්