Friday, 29 March 2024

මාරක රිය අනතුරු සිදුකරන බස් රථවල බලපත‍්‍ර වහාම අත්හිටුවයි

Posted On Friday, 31 July 2020 04:39
 

ඉදිරියේදී මාරක රිය අනතුරු සිදුකරන බස් රථවල බලපත‍්‍ර වහාම කි‍්‍රයාත්මක වන පරිදි අත්හිටු වන නව නීති සම්පාදනය කර ඇතැයි පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ ගත වු වසර 5 ක දත්ත සළකා බැලීමෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා විසින් බලපත‍්‍ර අත්හිටුවීමේ තීරණය ගත් බවයි. 

වසර 5 ක දත්ත සළකා බැලීමේදී සිදුවූ මාරක රිය අනතුරුවලින් සියයට 10 ක් සිදුව ඇත්තේ බස් රථවලින් බවයි අනාවරණ වී ඇත්තේ.

එබැවින් පවතින නීතිමය තත්ත්වය තවදුරටත් දැඩි කිරීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සදහන් කළා.

පොලීසියේ මෙම තීරණයට ආසන්නතම හේතුව වී ඇත්තේ ඉකුත්දා නුගේගොඩ ගුවන් පාලම මතදී සිදුවූ රිය අනතුරයි. එහිදී මාර්ග නීති උල්ලංඝණය කරමින් තවත් බස් රථයක් පසුකර යාමට උත්සාහ දැරූ බස් රථයක් යුද හමුදා කැබ් රථයක ගැටී සෙබළෙකුට දිවි අහිමි වුණා.