Friday, 29 March 2024

ලෝකයේ මුළුතැන්ගෙදර කිරුළ ඉල්ලන ධනින් චියරොවන්ට්

Posted On Thursday, 29 November 2018 06:38 Written by
Rate this item
(0 votes)

මුළු ලෝකයම එක නිවහනක් වෙන දවසක එහි මුළුතැන්ගෙදර වෙන ආසාවක් ඇති පුද්ගලයෙකු තායිලන්තයෙහි සිටී. ධනින් චියරොවන්ට් වන හෙතෙම එරට තනි පුද්ගලයෙකු වශයෙන් විශාලම ධනවතා බව දැක්වෙයි. තායිලන්තයේ විශාලතම පුද්ගලික ව්‍යාපාරය සේ සැලකෙන සී.පී. සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයාය.

ෆෝබ්ස් සඟරාව අනුව ආසියාවේ හතරවැනි පොහොසතා වන අතර පවුලේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 41 කි. ඔහුගේ නායකත්වය යටතේ ලක්ෂ තුනකට වැඩි පිරිසක් ලෝකයේ රටවල් විස්සකට වඩා විහිදුන ව්‍යාපාර ජාලයේ සේවය කරති.

තරුණ චියරොවන්ට් ව්‍යාපාර වලට අත ගසන්නේ බාල සහෝදරයන් සමගය. ඔවුහු මහන්සියෙන් සැලසුම් කරයි. එක අවස්ථාවක ඔවුන් අතර ගිවිසුමක් ඇති කරගෙන තිබේ. ‘‘ අවුරුද්දක් පාසා අපි වයසට යනවා නමුත් අපේ බුද්ධිය වසරකින් අලූත් විය යුතුයි ’’ යන්නය. අලූත් දෑ හිතන හෙතෙම සිය ව්‍යාපාර කෘෂි අංශයේ සිට විදුලි සංදේශ, අලෙවි, ප‍්‍රවාහන, සත්ව පාලනය, ඉඩම් සංවර්ධනව රක්ෂණ හා රථ වාහන ඇතුළු විවිධ ක්ෂේත‍්‍රවලට විහිදුවා තිබේ. නියම මොහොතේ දී නිවැරදිම තීරණය ගැනීම චියරොවන්ට් ගේ දක්ෂතාවය වී තිබේ. ව්‍යාපාරයට හැට වසරක් පිරෙන අවස්ථාවේ දී පළමු වතාවට සී. පී. සමූහ ව්‍යාපායේ චියරොවන්ට් ගේ අනෙක් සහෝදරයන් තිදෙනා මාධ්‍යවල පෙනී සිට තිබේ. එතෙක් එම සහෝදරයන් ගැන වැඩි කතාබහක් තිබුණේ නැත. චියරොවන්ට් ගේ හැකියාව, ලෝකයේ ප‍්‍රධාන නගර වල කරන ආයෝජන ගැන තායිලන්තයේ සහ ජාත්‍යන්තර මාධ්‍ය කතාකරන විට සෙසු සහෝදරයෝ නිහඬව ව්‍යාපාර මෙහෙයවූහ. දරුවන් හතර දෙනෙකුගෙන් යුතු පවුලේ බාලයා සෑම දෙනාගේම තාරකාව වූ අතර වාසනාව කැන්දා ඇති බව පොදු පිලිගැනීමය.

චියරොවන්ට් ගේ බාල අවධිය චීන පාසලක අධ්‍යාපනය ලැබීමෙන් ආරම්භ වී ඇත. තායිලන්තයේ රචබුරි ප‍්‍රදේශයේ වැඩිදුර ඉගෙනගත් හෙතම චීනයට ගියේ උසස් අධ්‍යාපනයටය. හොංකො හි දී උපාධිය ලැබූ තරුණ චියරොවන්ට් පෙරලා තායිලන්තයට පැමිණ දෙමාපියන් පවත්වාගෙන යමින් තිබු කුඩා පවුලේ ව්‍යාපාරය සමග සම්බන්ධ වෙයි. එය බීජ වර්ග ගොවියන්ට විකුණන ව්‍යාපාරයකි. ඒ වන විට අවුරුදු විසි පහකි. ඔහු චීනයේ විසූ වකවානුවේ දී අලූතින් නැගිටින චීන යෝධයා දෙස බලා සිටියේය. විශාල ජනගහනයක්, අති විශාල වෙළඳ පොලක් සහිත චීනය සමග සම්බන්ධතා දියුණු කරගතහොත් අවැඩක් නොවන බව විශ්වාස කළේය. හෙතෙම බීජ වර්ග චීනයෙන් ආනයනය කරන්නට පටන් ගත්තේය. ඒ වෙනුවට ඌරු මස් හා බිත්තර අපනයනය කළේය. 1970 ගණන් වල තායිලන්තය සිය ආර්ථිකයේ ප‍්‍රතිපත්ති වෙනස් කළ අතර එය ව්‍යාපාර වලට හිතකර තත්ත්වයක් උදාකළේය. එයින් වසර අටකට පසු චීනය ද විවෘත ආර්ථිකයට නැඹුරු විය. චීනය සමග වෙළඳාම් කරමින් සිටි චියරොවන්ට් චීනයේ සෙන්ෂෙන් හි ආර්ථික කලාපයට පළමුවෙන් ඇතුළු වී තිබේ. හෙතෙම කොපමණ වාසනාවන්ත වී ද යත් ඔහුගේ චීන ව්‍යාපාර ලියාපදිංචිය අංක එක බව දැක්වෙයි. තායිලන්තයේ බැංකු සත්ව පාලන කටයුතු වලට ණය දීම සීමා කළේය. ගොවියන්ට එලවලූ බීජ විකුණමින් සිට එය සත්ව ආහාර දක්වා නංවා තිබුණ සී.පී සමාගම සත්ව පාලනයෙහි නිරත වූ තමන් සමග සම්බන්ධතා පවත්වන ලද ගොවියන්ගෙන් කුකුළු මස් මිල දී ගත්තේය. ඒව තායිලන්තය පුරා අවන්හල් වලට අලෙවි කළේය. එයින් නතර නොවූ හෙතෙම ඒවා චීනයට ද ගෙන ගියේය. පසු කාලයක දී චීනයට ආහාර අලෙවිකරන සමාගම් අතර හතරවැනි තැන දක්වා එන්නට එම ගමන ප‍්‍රමාණවත් වී තිබේ. එයට අමතරව ඉන්දුනීසියාව, ජපානය හා සිංගප්පූරුවට ද කුකුළු මස් අපනයනය ඇරඹීය. එය විශාල වෙළඳ පොලකි. ඒ වන විට තායිලන්තයේ නිෂ්පාදන හා අලෙවි ඒකාධිකාරය තහවුරු කරගෙන සිටියේය.

මුල් අවස්ථාවේ දී පවුලේ ව්‍යාපාරයේ සභාපතිධුරය තෙක් පැමිණි චියරොවන්ට් සිය සහෝදරයන් තිදෙනා පමණක් නොව දරුවන් ද දක්ෂ සේ ව්‍යාපාරය හා සම්බන්ධ කරගත්තේය. එය විශාල අවකාශයක් නිර්මාණය කළේය. අලෙවි අංශ පුලූල් කරන ලද අතර නවීන තාක්ෂණ හා සන්නිවේදන අංශ වෙත නැඹුරු විය. එම ගමන පහසු එකක් නොවූ බව සහතිකය. බීජ අලෙවි කරන කුඩා වෙළඳ සැලෙක සිට ලෝකයේ ප‍්‍රධානම ආහාර සැපයුම්කරුවා දක්වා පැමිණීම අප‍්‍රතිහත ධෛර්යය කියා පාන අවස්ථාවකි. පසුව හොන්ඩා, කේ.එෆ්.සී අවන්හල් හා හරිකේන් බියර් නිෂ්පාදනයෙහි නිල සන්නාමය ලබා ගන්නට සමත් විය. වෝල්මාර්ට් හා ටෙස්කෝ යන සමාගම්වල නිල සැපයුම්කරුවෙකු ගේ තැන දිනා ගත්තේය. සෙවන් ඉලෙවන් ප‍්‍රකට වෙළඳ සැල් ජාලය අත්පත් කරගත්තේය. එතැනින් නතර නොවන චියරොවන්ට් සිය ඉලක්කය ලෝකයේ මුළුතැන්ගෙය බවට පත්වීම බව කියා සිටී. ලෝකයේ ජනී ජනයාට ආහාර දෙන අරමුණ සාක්ෂාත් කර ගැනීමට අරමුණු කරන හෙතෙම හොඳ බෞද්ධයෙකි. ඉපැදීම, දියුණුව, යහපත් සේ ජීවත්වීම හා මරණය ගැන හෙතෙම විශ්වාසයක සිටී. චීනයට මාංස වෙළඳාම ප‍්‍රධාන ආදායම් මාර්ගය කරගෙන තිබේ. ඒ ගැන විමසන අවස්ථාවේ දී ඔහු කියන්නේ පවුලේ ව්‍යාපාර වලින් සම්පූර්ණයෙන්ම ඉවත් විය නොහැකි අතර සෑම අවස්ථාවකම බුදුදහමේ හරය අනුව පැවැත්ම වැදගත් බවය.

තායිලන්ත රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදේශකවරයෙකු වන චියරොවන්ට් විදේශ කටයුතු අමාත්‍යංශයේ ද ආර්ථික උපදේශකයෙකි. මුදල් අමාත්‍යංශයට ද සේවය කරයි. ඉහළ මන්තී‍්‍ර මණ්ඩලයේ හා කොන්ග‍්‍රස් මණ්ඩලයේ සාමාජිකයෙකි. චීනය හා හොංකොං යන රටවල් වල දී ඔහුට විශාල පිලිගැනීමක් තිබේ. චීනයේ සෑම පලාතක්ම පාහේ ඔහුට සම්මාන පුරවැසි භාවය පිරිනමා ඇත. හෙතෙම චීනයේ ප‍්‍රාන්ත ගණනාවක ආණ්ඩු වලට උපදෙස් දෙන ප‍්‍රබල චරිතයකි.

චීනයේ ෆුඩාන් හා ටොන්ජි විශ්ව විද්‍යාල චියරොවන්ට් වෙත සම්මාන උපාධි පිරිනමා තිබේ. චීනයේ කෘෂිකර්ම විද්‍යාලය හා චීන කෘෂි ඇකඩමිය ද සම්මාන මහාචාර්ය පදවි පිරිනමා ඇත. ආහාර හා කෘෂි අංශයට ඔහුගෙන් ලැබුණ සේවය පමණක් නොව චියරොවන්ට් ගේ මෙහෙයැවීම හෙයින් ආහාර නිෂ්පාදනය දියුණු කර අවම මිලකට එදා වේල ගත කරන්නට ජනතාවට ලැබී ඇති සහනය ඉතා ඉහලින් ඇගයීමට ලක්ව තිබේ.

සී. පී. ව්‍යාපාරයේ සාර්ථකත්වය දක්ෂ ක‍්‍රියාශීලී නායකත්වයයි. බාලයා නමුත් ඔහුට තීරණගන්නට ඉඩ දී තිබේ. පවුලේ පිරිමි පාර්ශවය එකමුතු වී ව්‍යාපාර මෙහෙයවන විට දක්ෂතාවයට හැර අන් දෙයකට අවස්ථාව ලැබී නැත. සමගිය බලය වේ යන ආදර්ශය ලෝකය ජයගත් දැවැන්ත සමාගමක් බවට පත්වීමට පළමු වශයෙන් බලපා ඇති බව පෙනේ.

25/11/2018 - දේශය

Read 3660 times