Thursday, 03 December 2020

BUSINESS NEWS

පාලනයෙන් තොර වූ ආර්ථිකයේ කොවිඩ් පොකුර Featured

Posted On Saturday, 21 November 2020 02:30 Written by
Rate this item
(0 votes)

වසරකට කලින් තිබුණු ශ්‍රී  ලංකාවේ මුහුණුවර අද වෙනස් වී තිබේ. සංස්කෘතික ලක්ෂණ හා බැඳීම් විශාල පරිවර්තනයකය. විපතක දී එකතු වන අනන්‍යතාව වෙනුවට තොරතුරක් ලද වහා ඈත්වන බව පෙනේ. බෝම්බයක් පිපිරුණු තැනක පවා ජනයා රොක්වන අතර ආරක්ෂක අංශවල රාජකාරිවලට පවා බාධාවක් වූ බව පසුගිය ඉතිහාසය මතක් කරන කරුණකි. එහෙත් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියකු පැමිණ නිවෙස ඉදිරිපිට ලේබලයක් ඇලවුවහොත් එතැන් සිට අවට හිස්වන තරමට පැවැත්ම අනෙක් පැත්තට හැරී තිබේ. ඉතාම කෙටි කාලයක් තුළ සමාජයීය ගතිලක්ෂණ සහමුලින්ම හරවන්නට ඇසට නොපෙනෙන වෛරසයකට හැකි වී ඇත. වෛද්‍ය විශේෂඥයන් හදාරන තරමට ජන සමාජය මුහුණ පා ඇති ඇවතුම් හා පැවතුම් සම්බන්ධ දෙදරීම ගැන සමාජ විද්‍යාඥයන් ද අධ්‍යයනයක නිරතවීම අවශ්‍යය.

කොවිඩ්-19 වෛරසයේ ස්වභාවය, එය චීනයේ වූහාන් ප්‍රදේශයෙන්  ඇරඹී ලෝකය පුරා පැතිරැණු අන්දම ගැන රට තුළ පුළුල් අවබෝධයක් තිබේ. ලෝකයේ වැඩිම බලපෑමක් සිදුවී ඇති රට හා අද වන විට අහිමි වී ඇති ජීවිත ප‍්‍රමාණය ගැන නොදන්නා අය විරලය. වසංගතයේ හැඩරුව හා එහි දේශපාලන දෘෂ්ටිකෝණය ගැන විද්වත් සභාවල පමණක් නොව නිවෙසේ මැද සාලයේ ද තර්ක විතර්ක තිබේ. ආණ්ඩුවේ සමත් අසමත් භාවය ගැන සෑහෙන කතිකාවක් පවතී. 

මහා භාණ්ඩාගාරය බිඳ දමා ඇති තරම ගැන සඳහනක්

කොව්ඩ් වෛරසයෙන් ගැලවෙන්නට මුහුණු ආවරණය ඉතා වැදගත්ය. නිතර අත සේදිය යුතුය. සිව් දෙනකුගෙන් යුතු පවුලක සාමාන්‍ය වියදම් රටාව තුළ එය බරක් ඇති කර තිබේ. එක මුහුණු ආවරණයක සාමාන්‍ය වෙළෙඳපොළේ මිල අවම වශයෙන් රුපියල් විසි පහකි. එය පැය ගණනක් භාවිත කර ඉවත දැමිය යුතු බව වෛද්‍ය නිර්දේශයයි. නමුත් කිළිටි වූ මුව ආවරණ පැළඳ අනාරක්ෂිතව මහ මඟ යන එන පිරිස දකින විට මෙහි මිල සාක්කුවට දැනෙන තරම ගැන කල්පනාවක් ඇතිවෙයි. වේලක් ආහාර වෙනුවෙන් වැය කරන්නට මුදල් හිඟ ජනකොටසක් සිටින සමාජයක අවදානම ගැන කරන අනතුර නොපෙනී කුසගින්න බලවත් වන බව නොකියා නොහැකිය. දවසකට එකක් භාවිත කළත් එක නිවෙසකට එක බැහැර යන කෙනකුට එක මාසයක් සඳහා අවම වශයෙන් රු. හත්සිය පනහක් වැය වෙයි. සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද වෙනුවෙන් පුරවැසියන්ට පැවරුණු අමතර බර ගැන මෙයින් වැටහීමක් ලැබේ. හුමාලය වාෂ්ප කිරීම, කොත්තමල්ලි පානය කිරීම, දිනපතා ඇඳුම් සේදීම සහ ගමන් බිමන් වෙනුවෙන් දරන්නට සිදුවී ඇති අමතර වැය අතිරේකවය. ලොක් ඩවුන් කළ ප‍්‍රදේශයක ජීවත්වන පවුලකට යැපීම වෙනුවෙන් දෙන මූලික පිරිවැය වන රු. පන්දහස කොපමණ සුළු මුදලක් ද යන්න පැහැදිලි වෙයි. 

එහෙත් ආණ්ඩුවක් කොවිඩ් පිරිවැය කළමනාකරණය කරන තරම ගැන කල්පනා නොකිරීම දුර්වලතාවයකි. වියදම් කරන ප‍්‍රමාණය හා මෙහෙයවීම ගැන අප‍්‍රමාණ ප‍්‍රශ්න පැන නගී. දියුණු රටක කෙරෙන ප‍්‍රමාණයට පරීක්ෂණ හා සත්කාරක සේවා පවත්වාගෙන යන්නට පුළුවන්කමක් නැත. සාමාන්‍යයෙන් පී.සී.ආර්. පරීක්ෂණයකට පෞද්ගලික රෝහල් අය කරන ගාස්තුව රු. හත්දහස් පන්සියය හා දස දහස අතර මිලකි. අද වන විට දිනපතා පී.සී.ආර්. පරීක්ෂණ අට දහස හා දස දහස අතර ප‍්‍රමාණයක් සිදු කෙරේ. මේවාට වියදමක් ඇත. පරීක්ෂණ සඳහා සහභාගි වන කාර්යමණ්ඩලය පළඳින ආරක්ෂක කබා, ආරක්ෂක ක‍්‍රමවේද, පාවිච්චි කරන වාහන හා කාර්යමණ්ඩලවලට කරන ගෙවීම් යනාදී සියල්ල ආණ්ඩුවක පිරිවැය වශයෙන් සැලකිය හැකිය. රජයේ සේවකයන්ගේ අතිකාල දීමනා පාලනය කර, තද ආර්ථික විනයකට ගමන් කරමින් සිටි රටක් අත දිගහැර සෞඛ්‍ය පිරිවැය වෙනුවෙන් ධනය සොයාගන්නේ කොතැනින්ද? එක රෝගියකුගේ ජීවිතය ආරක්ෂා කර ගන්නට දරන මහන්සිය ගැන තක්සේරු කළ යුතුය. රෝහල් හා සත්කාරක සේවා කාර්යමණ්ඩලයට එකතු වූ ආරක්ෂක අංශ උපරිම කැපවීමකින් ක‍්‍රියා කරන නමුත් ඒවාට දරන්නට සිදුවන මුදලක් තිබේ. එම පිරිවැය අද වන විට රජයේ වියදම ඉහළ නංවා ඇත.

වසර 2030 වන තෙක් වෛරසයෙන් ගැලවීමක් නැතිද?

ලෝක සෞඛ්‍ය සංවිධානය ඉකුත් මැයි මාසයේ මෙරට 2,067ක නියැදියක් ඇසුරෙන් කොවිඩ් ගැන සමීක්ෂණයක් කර තිබේ. එයට අනුව වැසියන් නිතිපතා මිල දී ගන්නා ආහාර ද්‍රව්‍ය සියයට තිහකින් අඩු වී තිබේ. එය ගණන් බලන සංවිධානය රට තුළ ආර්ථිකය සියයට හතකින් පහළ වැටෙන බව අනතුරු අඟවා තිබුණි. පන්දහස බැගින් දෙන්නට රු. බිලියන 55ක් පළමු වටයේ දී රජය වියදම් කර ඇත. හය මාසයක් සහන දෙන්නට වැය කරන ධනය රු. බිලියන 233ක් වනු ඇතැයි සලකා තිබේ. මෙම වේගයෙන් ගියහොත් ශ‍්‍රී ලංකාවට කොවිඩ් වසංගතයෙන් ගැලවෙන්නට වසර 2030 වන තෙක් බලා සිටින්නට සිදුවෙන බව පර්ෙය්ෂකයන් කියා සිටි කරැණකි. රජය ඒ වන විට දරමින් සිටි පිරිවැය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5ක වියදමක් වශයෙන් සැලකේ. අඩුම වශයෙන් සියයට 3.9ක් වැය කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇත. 

සහන දෙන අතරවාරයේ ණය අයකර ගැනීම ප‍්‍රමාද කරන ලෙස බැංකුවලට නියම කර තිබේ. ව්‍යාපාරිකයන්, නිෂ්පාදකයන් හා අලෙවිකරුවන් යන සියලු දෙනා බරපතළ ගැටලුවලය. සංචාරක ව්‍යාපාරයේ සිට ත්‍රිවිලර් පදවන්නා තෙක් ආණ්ඩුවෙන් යමක් බලාපොරොත්තුව සිටී. වෘත්තීය අංශ සහන ඉල්ලා පාරට බහින තැනකය. රජයේ ආදායම බිඳ වැටී ඍණ ආර්ථිකයකට ගමන් කරන අතරවාරයේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියන සැලැස්ම අනුව වියදම් කළහොත් ජනීජනයාගේ පීඩනය තවත් බරපතළ වනු නිසැකය.   

රට තුළ රෝගීන් හඳුනාගත හැකි ක‍්‍රම අතර මෙතෙක් භාවිත කරන ලද්දේ පී.සී.ආර්. පරීක්ෂාව පමණකි. මුල් කාලයේ මෙම යන්ත‍්‍ර රටට තිබුණේ එකකි. දවසකට පරීක්ෂණ පනහක් හෝ කර ගැනීමට බලවත් වෙහෙසක් දැරිය යුතු විය. පළමු රෝගියා වාර්තා වූ අවස්ථාවේ සිට පියවරෙන් පියවර ඉදිරියට ගොස් තිබේ. එය දුෂ්කරය. මතවාද බහුලය. තර්ක හා විවේචන තිබේ. මෙම පරීක්ෂණ අත්‍යවශ්‍ය බව මුලින් දක්වන ලද පර්ෙය්ෂකයන්  දැන් හුවාදක්වන අන්දමට රෝගියා සැකහැර දැන ගැනීමට විනා කොවිඩ් රෝගය වළක්වන්නට පරීක්ෂණවලින් පිටිවහලක් නැත. පී.සී.ආර්. ටෙස්ට් කිරීම දක්වා කාලය තෙක් ආසාදිතයෝ නිදැල්ලේ හැසිරෙති. එවැනි පසුබිමක ආසාදිතයන් සොයා කොපමණ ජනගහනයක් පරීක්ෂණවලට ලක් කළ යුතු ද යන්න ගැටලුවකි. මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ කොවිඩ් පොකුරක් වාර්තා වන විට සෞඛ්‍ය අංශ එම ප‍්‍රදේශයේ පරීක්ෂණ 50,336ක් කරන විට රෝගීන් 1,791ක් වාර්තා වී තිබුණි. එම පරීක්ෂණ පනස් දහස සෑහෙන ආයෝජනයකි. 

කොවිඩ් වෛරසය හා සටන් කරන්නට ජාත්‍යන්තරය ශ‍්‍රී ලංකාව හා එකතු විය. චීනය හා ඉන්දියාව ආධාර කළේය. අමෙරිකාව හා යුරෝපා සංවිධානය ද්‍රව්‍ය හා මූල්‍ය ප‍්‍රදාන එවීය. ජනයා තමන්ට හැකි පමණින් රජය හා එකතු විය. ඉටුකම අරමුදල ගොඩනැගෙන්නේ එතැනිනි. ආසියානු සංවර්ධන බැංකුව පසුගිය මැයි මාසයේ දී මෙරට සෞඛ්‍ය අංශය ප‍්‍රතිසංවිධානයට වෙන්කර ඇති මුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 15ක් වහාම නිදහස් කළේ පී.සී.ආර්. පරීක්ෂණ කරන ප‍්‍රමාණය සියයට තිහකින් නැංවීම සඳහාය. එම යන්ත‍්‍ර සවිකරන අවස්ථාව වන විටත් රට තුළ පරීක්ෂණ ලක්ෂයක් සම්පූර්ණ කර තිබුණි. දිනකට පරීක්ෂණ දහසක් කරන මට්ටමට පැමිණි පසු රජය තීරණයක් ගත් අතර කොවිඩ් මර්දන ජාතික කාර්යසාධක බලකාය අප්‍රේල් 23 නිවේදනය කළේ එදින සිට පරීක්ෂණ කිරීමට පෞද්ගලික රෝහල්වලට ද අවසර නිකුත් කරන බවය. එයට හේතුව මුදල් ඇති ජනකොටසට පෞද්ගලිකව එහි වියදම දරා ගැනීමට ඉඩ දීම බව නොරහසකි. මුල් කාලයේ දී රට තුළ තිබුණේ එක යන්ත‍්‍රයකි. දැන් රට තුළ ස්ථාන විසි පහක පරීක්ෂණ කට්ටල තිබේ. දවසකට පරීක්ෂණ අට දහසක් කරන්නට පුළුවන්කමක් ඇත.

ඇන්ටිජන් හා කොවිඩ් එන්නත ගැන අවධානය

වෛරසයේ හැසිරීම අධ්‍යයනය කළ වෛද්‍ය පර්යේෂකයෝ ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන් හඳුනාගත් පසු නිරෝධායනය කර නිවෙස් බලා යැවීමට කලින් දෙවැනි පරීක්ෂණය අනවශ්‍ය වියදමක් බව වටහා ගත්හ. දේශපාලන කණ්ඩායම් එය වරදවා තේරුම් ගත්තේය. පී.සී.ආර්. වෙනුවට ඇන්ටිජන් පරීක්ෂාවට යොමු විය. එය විනාඩි දහයක් හෝ පැය භාගයක් අතර ප‍්‍රතිඵල ලබා ගත හැකිය. මෙම පරීක්ෂණ කට්ටල මෙරටට ගෙන ඒම ඒවායේ ටෙන්ඩර් පටිපාටි, පෞද්ගලික අංශයේ ජාවාරමක් යනාදී වශයෙන් විශාල කලබැගෑනියක් හට ගැනිණ. මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ පැතිරෙන අවස්ථාවේ දී නිදහස් වෙළෙඳ කලාපයේ කම්හල් පෞද්ගලික මට්ටමින් ඇන්ටිජන් එනම් වහාම ප‍්‍රතිඵල ලබාගත හැකි කට්ටල ඇනවුම් කළ අතර එය රජයේ වියදමක් බවට චෝදනා කළේ පදනම් විරහිතවය. එය නුසුදුසු බවට වූ විරෝධය මගහැරෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇන්ටිජන් ටෙස්ට් කට්ටල ලක්ෂයක් ලංකාවට පිරිනැමීමෙන් ඉනික්බිතිවය. 

ජාත්‍යන්තර වාර්තා හෙළි කරන පරිදි කොවිඩ් වෙනුවෙන් එන්නතක් සොයාගෙන තිබේ. චීනය, සිංගප්පූරුව, බ්‍රිතාන්‍යය, අමෙරිකාව හා කියුබාව තමන්ගේ එන්නත් සාර්ථක බව කියයි. කෙසේ වෙතත් බ්‍රිතාන්‍යය එන්නත සියයට අනූවක් හා අමෙරිකානු එන්නත සියයට අනූ පහක් සාර්ථක බව ප‍්‍රකාශ වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය අසමානතා වළක්වනු සඳහා ලෝකයේ සියලුම රටවලට ජන අනුපාතය හා අවදානම සලකා පළමු වටයේ එන්නත් කෝටාවක් වෙන් කර තිබේ. ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට විස්සකට එනම් මිලියන පහකට එන්නත් ලබා ගත යුතු යැයි දක්වා තිබේ. එය ප‍්‍රකාශ වූ වහා නොදන්නා එන්නතකට ලංකාව පරීක්ෂණාගාරයක් විය යුතු නැති බව කියා සිටි මෙරට දේශපාලනඥයෝ එය වහා ප‍්‍රතික්ෂේප කළහ. වාසනාවක තරම එයින් දිනකට පසු ඇතැමුන් ස්ථාවරය වෙනස් කරගෙන තිබේ. ආණ්ඩුව ගෙන්වා ජනතාවට එන්නත් නොකරන්නේ නම් විපක්ෂය එයට සූදානම් අතර අවසරය ඉල්ලා තිබේ. නමුත් මේවා සම්බන්ධයෙන් රටට ඇති ගැටලු පිරිවැය බව නිසැකය. එක එන්නතක මිල හා ඒවා ගෙන්විය යුතු සුවිශේෂී තත්ත්ව සලකන විට දියුණු වෙමින් පවතින රටක ආර්ථිකයකට හිස ඔසවන්නට නොදෙන බව නිසැකය.  

ගාමිණී  සරත් ගොඩකන්ද  - දේශය පුවත්පත

Read 222 times

Releated News