ලෝක ළමා දිනයේ ඉතිහාසය
ඔක්තොම්බර් පළමු වැනිදා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තුනක් ලෝක ළමා දිනය සමරන දිනයයි, එල්සල්වදෝර් සහ ග්වාතමාලාව අනිත් රටවල් දෙකයි. ලොව පුරා රටවල් ලෝක ළමා දිනය සමරන දිනයන් කීපයක් ඒ ඒ රටට අනුගතව වෙන වෙනම තෝරාගෙන ඇත. 1925 වර්ෂයේ ස්විස්ටර්ලන්තයේ ජිනීවාහි නුවර පැවති ළමා සුභසාධනය පිළිබඳ ලෝක සමුළුවේදී දී ජාත්‍යන්තර ළමා දිනය ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලදී. 1950 දී බොහෝ වාමාංශික රටවල් හා ඉන් පසුව එම දේශපාලන ධාරාව අනුගමනය කළ රටවල් ජුනි 01 වෙනදා සිය දරුවන්ගේ දිනය ලෙස සමරනු ලබන අතර පසුව 1989 නොවැම්බර් 20 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ළමා අයිතිවාසිකම් සම්මුතියක් ප්‍රකාශ කිරීම සැමරීම සඳහා ලෝක ළමා දිනය නොවැම්බර් 20 වන දින සමරනු ලබයි.
1954 දකුණු කොරියාවේ සෝල් නුවර පැවති ලෝක ළමා දින සැමරුම
මෙවර එය 30 වැනි සැමරුම ලෙස සටහන් වෙයි.ලොව පුරා රටවල් අතරින් ජුනි 01 වැනිදා ලෝක ළමා දිනය ලෙස සමරන රටවල් ගණන 51 කි. නොවැම්බර් 20 ලෝක ළමා දිනය ලෙස සමරන රටවල් ගණන 26කි. අසල්වැසි ඉන්දියාව නොවැම්බර් 14 ලෝක ළමා දිනය සමරයි. මීට අමතරව දෙසැම්බර් 25 තවත් රටවල් හතක් ලෝක ළමා දිනය සමරයි. ජනවාරි සිට දෙසැම්බර් දක්වා විවිධ දිනයන් යොදාගනිමින් ළමයින් වෙනුවෙන් විශේෂ ලෙස සිතන පතන දිනයක් ලොව සියලු රටවල් විසින් තමන්ට ගැලපෙන පරිදි ළමා දිනය ලෙස යොදාගෙන ඇත. කෙසේ වෙතත් 1989 නොවැම්බර් 20 වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානය ළමා අතිවාසිකම් පිලිබඳ විදිවිධාන ඇතුලත් සම්මුතියක් ප්‍රකාශයට පත් කළ අතර එයට අත්සන් කළ රටවල් ඊට අදාළ කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය.
ඒ අනුව
01.කුසගින්නෙන් පෙළෙන දරුවා පෝෂණය කළ යුතුය,
02.අසනීප වූ දරුවාට පහසුකම් සැලසිය යුතුය,
03.පසුගාමී දරුවාට උපකාර කළ යුතුය,
04. වැරදිකරු වූ දරුවා නැවත ගොඩ ගත යුතුය,
05. අනාථ වූ දරුවාට රැකවරණය ලබා දිය යුතුය.
06. විපත්තියේදී සහන ලබා ගන්නා පළමු තැනැත්තා දරුවා විය යුතුය.
07.දරුවාට ජීවනෝපායකින් උපයා ගත හැකි තත්වයකට පත්වන තුරු සරිලන අධ්‍යාපන මට්ටමක් ලබා දිය යුතුය,
08. දරුවා සෑම ආකාරයකම සූරාකෑමෙන් ආරක්ෂා විය යුතුය.
යනාදී වශයෙන් මුලික කරුණු සහිතව තවත් අයිතවාසිකම් රැසක් ඇතුලත් මෙකි ලියවිල්ලට ලොව පුරා රටවල් 194ක් අත්සන් තබා ඇත.
මීට අමතරව දෙවන ලෝක යුධ සමයේ පීඩාවට පත් ළමුන්ගේ ආරක්ෂාව සහ සහන සැලසීම පිණිස 1946 දෙසැම්බර් 11 දින හිටුවන ලද ජාත්‍යන්තර ළමා හදිසි අරමුදල (ICEF) ලෙස නම් කළ, වර්තමානය වන විට එය එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ( UNISEF) ලෙස නම් කර ඇති අතර ලොව පුරා ළමුන්ගේ සහන කටයුතු වෙනුවෙන් අරමුදල් සම්පාදනය කරයි.
ළමා අතිවාසිකම් පිලිබඳ ශ්‍රී ලංකාවේ තත්වය
අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාව දියුණු හර පද්ධතියක් හා සදාචාරාත්මක සමාජයකින් යුක්ත වූවකි.එසේ වුවද ආක්‍රමණික විදේශීය බලවේග සහ වෙනත් සාධක නිසා ඇති වු සදාචාරාත්මක පිරිහීම තුළ අද වන විට ළමුන්ගේ යහපැවැත්ම දෙමාපියන්ටද සමාජයටද බරපතල ගැටළුවක් බවට පත් වී ඇත.මෙවන් වූ සමාජ තත්වයක් මත ළමා අපයෝජන,සියවස් ගණනාවක් පුරා රහසේ ව්‍යාප්ත වෙමින් පැවති උවදුරක් වුවද එය බරපතල සමාජ පිළිලයක් බව හදුනාගෙන ඊට එරෙහි වීමට තරම් අවධානයක් යොමු වූයේ මෑත දශක කිහිපයක සිටය.
80 දශකයේ මැද භාගය වන විට ශ්‍රී ලංකාව තුළ ළමා කායික දණ්ඩනය වරදක් බවත්,90 දශකයේ මුල් භාගයේ ළමා ලිංගික අපයෝජනය බරපතල වරදක් බවටත් හදුනා ගනිණි.එතැන් සිට ළමා අපයෝජන වලින් සිදුවන කෙටි කාලීන මෙන්ම දිගු කාලීන අයහපත් බලපෑම් පිළිබඳව කටයුතු කිරීම පිණිසත් ළමුන්ට සිදුකරන විවිධාකාර ප්‍රචණ්ඩ ක්‍රියා සහ කෲරත්වයන්ට එරෙහිව පියවර ගැනීම සදහාත් ශ්‍රී ලංකාවද එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය සමග අත්වැල් බැදගනු ලැබිණි.මෙතුලින් ඉහත කී පරිදි ආපදාවන් සමුදායකින් දරුවන් ආරක්ෂා කරලීම සදහා පවත්නා වු නීතිමය රාමුව විදහා දැක්වීම අරමුණයි.
ළමයා යනු කවරෙක් ද ?
"අව්‍යාජත්වයේ හා සුන්දරත්වයේ විශ්වමය සංකේතය ඔහුය."
"මානව ශිෂ්ටාචාරයේ තීරණාත්මක සාධකය ඔහුය"
"විශ්වයේ ශේෂ්ඨතම නිර්මාණය ඔහුය."
මෙවන් සාහිත්‍යමය නිර්වචනයන්ට පාත්‍ර වු ළමයා නිර්වචනයකට හසුකළ නොහැකි තරම්ය. 1989 නොවැම්බර් මස 20 වන දිනදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරගන්නා ලද ළමා අයිතිවාසිකම් පිළිබද ප්‍රඥප්තියට අනුව ඉතාමත් සරලම අදහස නම් "නීතිය මගින් අඩු වයසකදී පූර්ණත්වය ලබන්නේ නම් මිස වයස අවුරුදු 18ට අඩු සියලු මනුෂ්‍යයන් ළමුන්ය".
අපේ රටේ ළමුන්ට අරාක්ෂාව තිබේ ද ?
ළමා අයිතිවාසිකම් පිළිබඳව අණ පනත් පැනවීම යටත් විජිත යුගයේ සිටම දක්නට ලැබුණු අතර වර්ෂ 1883 දී මුල් වරට සංග්‍රහ කරන ලද දණ්ඩනීති සංග්‍රහයේ ළමුන්ගේ ආරක්ෂාව පිළිබදව ප්‍රතිපාදන දැක්වේ. දණ්ඩ නීති සංග්‍රහයේ 75 සහ 76 වගන්ති අනුව වයස අවු:8ට අඩු දරුවකු විසින් කරනු ලබන ඕනෑම ක්‍රියාවක් හෝ ප්‍රමාණවත් ලෙස පැසුණු බුද්ධියක් නොලත් වයස අවු: 8 ට වැඩි නමුත් 12 ට අඩු දරුවකු විසින් කරනු ලබන කිසිදු ක්‍රියාවක් නීතිය අනුව අපරාධයක් ලෙස නොසැලකේ. එමෙන්ම වයස අවු:12ට අඩු දරුවකු දෙමාපියන්ගෙන් කෙනෙකු හෝ භාරකරුවකු විසින් අතහැර දැමිම දඬුවම් ලැබිය හැකි වරදක් වේ. ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් වන තවත් පනත් වන අතර ,1939 දී පනවන ලද ළමුන් හා තරුණයන් පිළිබදව ආඥා පනතද, 1956 අංක 47 දරණ ස්ත්‍රීන්, තරුණ හා ළමුන්ගේ ශ්‍රමය ලබා ගැනීම වැලැක්වීම සදහා වන පනතද වැදගත් පනත් වේ.
මේ පනත අනුව යම් පුද්ගලයකු විසින් අවුරුදු 14 ට අඩු දරුවකු සේවයෙහි යෙදවීම දඩුවම් ලැබිය හැකි වරදකි.එසේ වුවද වර්තමාන සමාජයේ බරපතල සමාජ උවදුරක්ව ඇති ළමා අපචාරයන් වැලැක්වීම සදහා පැවති නීතිමය රාමුව කිසිසේත් ප්‍රමාණවත් නොවීය. මේ නිසා ළමුන් සම්බන්ධව සම්මත කරන ලද ඉතා වැදගත් මෑත කාලීන පණත් 05ක් පිළිබදව අවධානය යොමු කර ඇත.
1995 අංක 22 දරණ දණ්ඩනීති සංග්‍රහය (සංශෝධන) පනත
මෙහි විශේෂත්වය වනුයේ ළමා අපචාර පිළිබද වැරදි සම්බන්ධයෙන් පැනවිය හැකි උපරිම දඩුවම පමණක් නොව අවම දඩුවමද නියම කිරීමය. මෙම පනත මගින් අපරාධ වරදවල් ලෙස නිර්වචනය කර ඇති දේ:
*ළමයින් කෲර වධහිංසා වලට භාජනය කිරීම.
*ළමයින්ගේ අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීම.
*ලිංගික අපචාරයන් සදහා ළමුන් සැපයීම.
*අසත්‍යය හෝ අශ්ලීල දර්ශනයකට හෝ ප්‍රකාශනයකට ළමයකු යොදා ගැනීම හෝ ඒ සදහා අනුබල ලබා දීම.
*එවැනි ප්‍රකාශනයක් සන්තකයේ තබා ගැනීම, විකිණීම බෙදා හැරීම හෝ ඒ සදහා අනුබල දීම.
1998 අංක 27 දරණ අධිකරණ (සංශෝධන) පනත
මෙම පනත මගින් ව්‍යවස්ථාපිත, ස්ත්‍රී දුෂණය හෙවත් වයස අවු 16ට අඩු ළමයකු දුෂණය කිරීම සම්බන්ධ නඩු කටයුතු වලදී මූලික
සාක්ෂි විභාගය යන අවශ්‍යතාවය ඉවත් කොට ඇත.මෙමගින් ළමා අතවර පිළිබද නඩු කඩිනම් කිරීමටත්, අතවරයකට ලක් වූ ළමයාට නැවත නැවත ස්වකීය සාක්ෂිය ඉදිරිපත් කිරීමේ කටුක අත්දැකීම් අවම කිරීමටත් හැකියාව ලැබී ඇත.
1998 අංක 29 දරණ දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත
මෙම පනත මගින් පහත සදහන් කාරණ සම්බන්ධයෙන් වයස අවු :18ට අඩු ළමයින් යොදවා ගැනීම ඉතා බරපතල අපරාදයක් ලෙස නිර්වචනය කර,දඩුවම්ද නියම කොට ඇත.
*ළමුන් සිඟා කෑම සදහා යෙදවීම.
*ලිංගික සංසර්ගය සදහා ළමුන් කුලියට ගැනීම, සේවයේ යෙදවීම.
*සීමිත භාණ්ඩ, එනම් විෂ ද්‍රව්‍ය, අබිං හා වෙනත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා ළමුන් යොදවා ගැනීම.
අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත
මෙම පනත මගින් ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳව කටයුතු කරනු ලබන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නම් ආයතනය පිහිටුවා ඇත. මෙහි අරමුණු:
*ළමා අපචාර වැලැක්වීම.
*අපයෝජනයට ගොදුරු වු ළමයින් ආරක්ෂා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම.
*ළමා අපයෝජනය පිටු දැකීම සදහා වන ප්‍රතිපත්ති හා ක්‍රියා මාර්ග සකස් කිරීම .
*සම්බන්ධීකරණය හා කළමණාකාරීත්වය.
2005 අංක 34 දරණ ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීමේ පනත
මෙම පනත පැනවීමේ මුඛ්‍ය පරමාර්ථය නම් ගෘහස්ත ප්‍රචණ්ඩත්වය පිටු දැකීමයි. ශාරීරික හෝ මානසිකව සිදුවන හෝ සිදුවීමට ඉඩ ඇති ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියාවකටම එරෙහිව පියවර ගැනීම සදහා මෙම පනත යටතේ ප්‍රතිපාදන සලසා ඇත.
මෙම පනතෙහි නියම කර ඇති ආකාරයට අයදුම් පත්‍රයක් පුරවා අදාළ ප්‍රදේශයේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් ප්‍රචණ්ඩත්වයට එරෙහිව තහනම් නියෝගයක් අයැද සිටිය හැක.ළමුන්ට කාන්තාවන්ට පමණක් නොව ගෘහස්ත ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත්වන ඕනෑම පාර්ශවයකට මෙමගින් සහනයක් අයැද සිටිය හැක."ආරක්ෂක ආඥාවක්" ලෙස හදුන්වන ලබන ඉහත කී තහනම් බන්ධනය කඩකිරීම නීතියට අනුව දඩුවම් ලැබිය හැකි වරදකි.
ලංකාවේ ළමුන්ට උපරිම නීතිමය ආරක්ෂාවක් ? එසේනම් මෙසේ වන්නේ ඇයි ?
ඉහත අනපනත් කියවා බලන්නෙකුට ලංකාව තරම් ළමා අයිතිවාසිකම් ගැන ලොකුවට හිතන රටක් ලොව නැති තරම් යැයි සිතෙයි. නමුත් ලොව බොහෝ රටවල් නීතිය, නීතිය ලෙස ක්‍රියාත්මක කලද ලංකාවේ නීතියේ “හිල්” ඇත. යන්න මීට දිය හැකි කෙටිම පිළිතුරයි. ලෝක ආර්ථික සංසදය මගින් එළිදැක්වූ 2020 ගෝලීය ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ වාර්තාවට අනුව ළමයින් සඳහා සේවා සැපයීම අතින් ශ්‍රී ලංකාව සිටින්නේ දුර්වල ස්ථානයකය. පසුගිය කාලය තුළ ගෘහස්ථ හිංසන හා ළමා අපයෝජන සිදුවීම් වාර්තා වීම 33%කින් ඉහළ ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනය කළේය. "පසුගිය මාස හයට ලංකාවේ ළමා අපයෝජන වාර්තාගත විදිහට දරුණු වෙලා තියෙනවා. මේ විදිහට අපයෝජන වාර්තා වෙලා නැහැ කවදාවත්. පැය දෙකකට වරක් දරුවෙක් අපයෝජනයකට ලක් වෙනවා," ළමා හිංසනයට තිත සංවිධානයේ සභාපති වෛද්‍ය තුෂ් වික්‍රමනායක වරක් BBC වත සඳහන් කළාය. කුඩා බිලිදන් මහමග දමා යන තත්වයට වර්තමානයේ සමාජය සාමාන්‍යකරණය වෙමින් පැවතීම අනාදිමත් කාලයක සිට අප රැකගත් ගුණදහමින් පිරි දේශීය හර පද්ධතියේ කඩාවැටීමකි.
දිවා සුරැකුම් මධ්‍යස්ථානය හෝ පෙරපාසලේ සිදුවන්නේ කුමක් ද ?
ශ්‍රී ලංකාවේ ළමුන් පාසල් අධ්‍යාපනය වයස අවුරුදු 3 පමණ වන විට ආරම්භ කරන බව කියතොත් එය පුදුමයක් නොවේ. මුල් ළමාවිය සංවර්ධනය නමින් දරුවාගේ සමාජ ක්‍රියාකාරීත්වය ගොඩනැංවීම අරමුණු කරගනිමින් පෙරපාසල් ක්‍රියාත්මක වෙයි. එය එසේ වුවත් වයස 3 පමණ වන දරුවා අකුරු ඉගනීමට හුරුකරවන පරිසරයක් බොහෝ පෙරපාසල් තුල නිර්මාණය වී ඇත. රජය මගින් පෙරපාසල් වෙත නීතිමය රෙගුලාසි රැසක් පනවා ඇත.එහි මුලික කරුණක් නම් දරුවාට අකුරු ලිවීම හෝ කියවීම පෙරපාසලට අදාළ කටයුත්තක් නොවන බවයි. නීතිය හෝ රෙගුලාසිය එසේ වුවද අකුරු හුරු නොවූ දරුවෙකු බාරගැනීමට පාසල සූදානම් ද ?යන්න ගැටලුවකි. සහෝදර සිසුන් හා තරගකාරීව කටයුතු කිරීමට පොළඹවන ප්‍රාථමික අධ්‍යාපන ක්‍රමය හමුවේ අකුරු නොදත් දරුවාගේ ඉරණම සෝචනීය තත්වයකට ඇද වැටීම සාමාන්‍ය දෙයක් විය හැකිය. එම නිසාම බොහෝ පෙරපාසල් අකුරු ලිවීම හා කියවීම වයස අවුරුදු 3 සම්පුර්න වූ දරුවාට හුරු කරවීම ආරම්භ කරයි. මෙය ජාත්‍යන්තර නීති රීති අනුව ළමා අපයෝජන ක්‍රියාවක් බවටද අර්ථ දැක්විය හැකිය. ඇතැම් දිවා සුරැකුම් මධ්‍යස්ථාන පාලිකාවන් ළමුන්ට නිදිපෙති ලබා දී නින්දට යොමුකරන ලද අවස්ථා ද පුවත්පත් වල වාර්තා විය. මෙවැනි වාතාවරණයක් තුල පෙරපාසල් හා දිවා සුරැකුම් මධස්ඨාන රජය මගින් නියාමනයට හා පරීක්ෂාවට ලක් කිරීම සඳහා වෙනමම ඒකක ඒ ඒ අධ්‍යාපන කාර්යාල තුල ස්ථාපිත කර ඇත. ඉන් අපේක්ෂිත ප්‍රතිපල අත්වන්නේ දැයි ගැටලුවකි.
ළමා අපයෝජන සහ අපේ වගකීම
ළමා ලිංගික අපයෝජනය පිළිබඳ වැරදි වැටහීම් කිහිපයක් තිබේ.
වරදවා වටහාගැනීම් වලින් කරුණු වෙන් කොට හදුනා ගැනීම සහ මිථ්‍යාවන්ගේ අගතියෙන් මිදීම සැබවින්ම අපේ දරුවන් ආරක්ෂා කිරීමේදී සැලකිය යුතු වෙනසක් ඇති කරයි.
තරුණ ගැහැණු ළමයින් හා පිරිමි ළමයින් ලිංගික සූරාකෑමට සමානව ගොදුරු වේ.
ඕනෑම ගැහැණු ළමයෙකුගේ රෑප ලක්ෂන නොසළකා ලිංගික අපයෝජනයට ලක්විය හැකිය
පුරුෂයින් බහුතරයක් අපරාධකරුවන් වුවද ලිංගික අපයෝජනයට ලක්වූ තැනැත්තා පිරිමියෙකු හෝ කාන්තාවක් විය හැකිය.
ඕනෑම නැඹුරුවක් ඇති පුද්ගලයෙකු ලිංගික අපයෝජකයෙකු විය හැකි ය.
අපයෝජකයින් වන්නේ නාඳුනන අය පමණක් නොවේ. ඥාතියෙකු, පවුලේ මිතුරෙකු, ගුරුවරයෙකු, අතිරේක ගුරුවරයෙකු (සති අන්ත පන්ති), අසල්වැසියන් හෝ ඔබ විශ්වාස කරන සිටින සහ ඔවුන්ගෙන් කිසිවෙකු අපයෝජනයක් කරනු ඇතැයි අපේක්ෂා නොකරන යනාදී ඕනෑම අයෙකු වැනි සහ ඔබ විශ්වාස කරන හෝ ඔබේ පවුලට සමීප පුද්ගලයින් ද ලිංගික අපයෝජකයෙකු විය හැකිය.
ලිංගික අපයෝජකයෙකු හුදෙක් ඔහු හෝ ඇය දෙස බැලීමෙන් ඔබට පහසුවෙන් හඳුනාගත නොහැකිය. ඉහළ ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයෙකු හෝ ඉහළ රැකියාවක් කරන අයෙකු හෝ ප්‍රජාව තුළ හොඳින් ක්‍රියා කරන අයෙකු වුවද අපයෝජකයෙකු විය හැකිය.
ළමා අපයෝජනය සමාජයේ ඕනෑම මට්ටමක සිදුවිය හැකිය. වයස, ස්ත්‍රී පුරුෂ භාවය, පවුල් ආදායම, සංස්කෘතිය, නළු නිළියන්, ජාතිය, ශාරීරික පෙනුම, ලිංගිකත්වය, බුද්ධිය, ආබාධිතභාවය නොසලකා එය ඕනෑම දරුවෙකුට බලපායි.
ළමා ලිංගික අපයෝජනයේ අවදානම සැමවිටම පවතී. මෙය මගේ දරුවාට සිදු නොවනු ඇතැයි සිතීමක් සමාජයේ පවතින අතර, එය කිසිසේත් අවදානම අවලංගු නොකරනු ඇත. එබැවින් දරුවා ගැන ප්‍රමාණවත් සැලකිල්ලක් දැක්වීම අවදානම මග හැරීමට ප්‍රයෝජනයක් වනු ඇත.
තමන්ට සිදුවිය හැකි අන්තරාය පිළිබඳව දරුවන් දැනුවත් කිරීමෙන් ඔවුන්ට අපයෝජනයන් ගැන අවදියෙන් සිටීමටත් එවැනි අවදානම් තත්වයන් වළක්වා ගැනීමටත් හැකි බව අධ්‍යයනවලින් හෙළි වී තිබේ.
ඔහුගේ දෙමව්පියන්ගේ හා සමාජයේ ප්‍රතිචාරයට ඔහු හෝ ඇය ලැජ්ජා විය හැකිය
දරුවෙකු මෙම සිදුවීම හෙළි කර ඇත්නම් සහ රැකවරණය සහ සැනසීම සඳහා නිසි පියවර ගනු ලැබුවහොත්, ඔහු හෝ ඇය අපයෝජකයෙකු බවට පත්වීමට ඇති ඉඩ ඉතා අඩුය.
අපයෝජනයක් සිදුවී ඇති බව දන්නා සෑම කෙනෙකුම, එය ඔවුන්ගේම දරුවන් වේවා හෝ වෙනත් කෙනෙකුගේ වේවා, කාරණය වාර්තා කිරීම යුතුකමක් සේ සැළකිය යුතු ය.
ළමයින්ට විශේෂත වූ කැබිනට් අමාත්‍යංශයක් නැත්තේ ඇයි ?
ලෝකයේ බොහෝ රටවල් ළමුන් ගැන දක්වන ආකල්පමය වෙනස එක්සත් ජාතීන්ගේ සංවිධානය වසරින් වසර අවධානයට ලක් කරමින් ඒ ඒ වසරට අදාලව වෙන් වෙන් වූ වාර්තා එළිදක්වයි. ඒ අනුව යමින් බොහෝ රටවල් තම අධ්‍යාපන ක්‍රමය වෙනසකට ලක් කරමින් සිටින බව දකින්නට ඇත. එවන් පසුබිමක ලංකාවේ අධ්‍යාප ක්‍රමය ද වෙනස් විය යුතු බවට කතිකාවතක් නිර්මාණය වෙමින් ඇත.එය සියලු පාර්ශව එක් කරගත් ජාතික ප්‍රතිපත්තියක් වන්නේ නම් ඉතා සතුටු දායක විය හැකිය. දේශපාලනයේ වෙනස්වීම මත දරුවාගේ අධ්‍යාපනය කාලෙන් කාලෙට වෙනස් කරවීම ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස යමෙකුට අර්ථ දැක්වීමට ද බාධාවක් නැත. මෙවර අමාත්‍යංශ බෙදීමේදී වසර 40ක් පුරා පැවති ළමා හා කාන්තා කටයුතු කැබිනට් අමාත්‍යංශය අහෝසි කරමින් පාසල් යටිතල පහසුකම් කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන හා අධ්‍යාපන සේවා ලෙස කැබිනට් නොවන රාජ්‍ය අමාත්‍යාංශයක් නම් කරමින් තවත් අමාත්‍යංශයක් යටතට පත් කලේ කුමන හේතුවක් නිසා දැයි ළමා දිනය වෙනුවෙන් හෝ රජය විසින් පිළිතුරු දිය යුතු කරුණකි. ගැලරිය පිනවන කතාවෙන් ඔබ්බට ගොස් මගතොට දෙස බලන්නෙකුට “හොදම දේ දරුවන්ට “ යැයි පුරසාරම් දොඩවන සමාජයේ ක්‍රියාවන් දැකගත හැකිය.
ළමුන්ගේ පාසල් වැන් රථය හොදම උදාහරණයයි. වැස්සට තෙමෙන මග යෑමට පවා නුසුදුසු නිතර නිතර අතරමග නතරවෙන,අනාරක්ෂිත ව මරණයට ගෙනියන කුකුලන් මෙන් පැක් කර ළමුන් රැගෙන යන දර්ශනය ලංකාවේ අගනගරයේ ද සුලභ දසුනකි. කුඩා ළමුන්ගෙන් පිළිකා රෝහල පිරෙමින් ඇති වකවානුවක දේශපාලන අධිකාරිය ඒ වෙනුවෙන් කරන්නේ කුමක් ද ? කිරිපිටි ප්‍රමිතිය හා එහි අඩංගු දෑ පිලිබඳ දැනුවත් ද ? එය නියාමනයට ලක් නොකරන්නේ මන්ද ? පලතුරු ගෙඩියේ සිට මුන් ඇටය දක්වා කෘමිනාශක ඉසිමින් අනාගත පරම්පරාව මේ ගෙනියන්න කොයිබට ද ? ක්ෂණික ආහාර හා නුසුදුසු අහාර සඳහා ළමුන් පෙළඹවීමේ වෙළඳ දැන්වීම් හමුවේ බලධාරීන් මුනිවත රකින්නේ මන්ද ? ළමා රෝහල සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් වසර කීපයක සිට මහජනතාව මුදල් එකතු කරන පසුබිමක රෝහලට යන මාර්ගය පමණක් වසරකට කිහිප වරක් කාපට් කරමින් නැවත බට එලමින්, නැවත බට ගලවමින් ළමුන්ගේ ගොඩනැගිල්ල මෙන් දෙගුණයක මුදල් විනාශ කිරීම සාධාරණ ද ? ළමා දිනය වෙනුවෙන් හෝ රජය මෙකී ගැටළු සඳහා වහ වහා පිළිතුරු සෙවිය යුතුය.
RJ ආරච්චිගේ