අවදියක තම ජීවිතය ආරම්භ කිරීමට වීම ගැන ඇගේ සිතේ තිබූ දෙගිඩියාව තුරන් කිරීමට සහයක් ඉන් ලැබෙන්නට ඇත.
නිවස අඳුරින් වැසීයාමට ඉඩ දීම මූසලකමකි.ජීවිතය ද එසේ නොවන්නේ ද? අඳුරින් වැසී යමින් තිබූ නිවසේ ආලින්දයේ විදුලි පහන් දැල්වූ ඕ එයින් වැටෙන මෘදු එළිය යට සිටගෙන රැළි වැටෙමින් තිබූ තම දෑත් දෙස විමසිල්ලෙන් බලන්නට වූවාය.
තව මොහොතකින් ගෙට ගොඩ වන බඩගිනි හමුදාවටත් , තම බාල සහෝදරයා සහ ඔහුගේ ප්‍රියම්බිකාවටත් රාත්‍රි ආහාරය පිළියල කරනු වස් ඇය මුළුතැන් ගෙය කරා ඇදුනේ මේ පණිවිඩය තම සොහොයුරාට දැනුම් දෙන අයුරක් ගැ නද සිතමිනි.
------------------------------------
දියණිය කෑම මේසයේ ඇගේ කෑම පිඟානට ඔරවමින් සිටියි. පුතා ගේ තියුණු බැල්ම තමාගේ ආත්මයම කපා දමමින් දැඩි වේදනාවක් දෙන බවක් හැඟුනි.
“ අප්පච්චි , ඔයා මේ කරන වැඩේ නිසා මං කොහොම ද කුමුදුගෙ ගෙදර අයට මුහුණ දෙනනෙ ? වලපයයි ගොඩ පයයි තියාගෙන මොන මනමාලකම් ද කියල කුමුදුත් මට හරියට ඇනුම් පද කීවා “
කඳුළින් බර වූ හදවත නෙතින් එළියට පනිතැයි බිය වූ මැදිවියේ මිනිසා තම මුහුණ කෑම පිගාන වෙත නාභිගත කළේ ය. සුළැඟිල්ලෙන් පටන් ගත් සිහින් වේදනාවක් තම ශරීරයේ සෑම තැනකටම ක්ෂණිකව පැතිර යනු ඔහුට දැනිනි.
“ මෙච්චර කල් හිටිය වගේ ඇයි අප්පච්චි ඉතිරි ටිකත් ඉන්න බැරි “
තම ජිවිතයේ සියල්ලම කැප කරමින් දරුවන් වැඩූ ඔහුට අහම්ඹයෙන් නෙත ගැටුන අමතක ව යමින් තිබූ මතක යළිදු සිහියට ගෙනා ඒ සොඳුරු ගැහැණියගේ රුව වඩ වඩාත් සිතට දැනෙන්නට විය. අත සෝදා ගත් ඔහු , කෑම මේසයෙන් නැගිට තම කාමරය වෙත පිය මැන්නේ තනිව සිටිමේ උවමනාව ඉතා තදින්ම දැනුන බැවිනි.
අස්පස් කර නොතිබුන සයනයේ, ඇද විට්ටමට කොට්ටයත් තබා සැතපුන ඔහු , තම තරුණවියටත් , ඇය සමඟින් තනිවූ සොඳුරු අධ්‍යාපන නිකේතනටත් ගොඩ වදිනු වස් දෑස් පියා ගන්නට විය.සැමදා මෙන්ම අදද ඔහුට යා හැකි වුයේ ඇගෙන් සමුගත් අවසාන දිනයේ මතක අතරට පමණි.
“ වෙන කරන්න දෙයක් නැහැ කෙල්ලෙ , මට මගේ අම්මගෙ හිත රිද්දන්න බැහැ “
“ ඔයා ඒ බව දැන දැන ඇයි මෙහෙම කළේ “
එයට දීමට සුදුසු හා සාධාරණ පිළිතුරක් එදා මෙන්ම අදට ද ඔහු සතු නොවේ.නමුත් යළිදු වතාවත් ඉතාම අහම්ඹෙන් මුණ ගැසුන ඇය තම චිත්තසන්තානයේ වූ මැල වී ගිය සියළුම රසාංකුර පුබුදුවා ලිමට සමත් විය. වේලී කේඩෑරි වී ගොස් තිබූ තණ පිටියට වට සිහිල් දිය සීරාවක් මෙන් ඇගේ වතත් ඇගේ සිහින් ස්වරයත් ජීවය දුන් හැටි අපූරුය. ඉන් එහා ගොස් තම සිත වඩාත් පීඩාවට පත් කළේ ඇය තවමත් අවිවාහකව පසු වීමයි. ඒ ඇයිදැයි විමසීමට ඔහුගේ මුවට වචන නාවත් , ඒ ඇයිදැයි යන්න ඔහු සැමටම වඩා හොඳින් දැන සිටියේය. තම ජීවිතයේ සැදෑ සමය ආසන්නයේ රසදුරන් පිනවීමට එහා ගිය සබඳතාවක උවමනාවටත් වඩා , තමා නිසා ඇයට සිදුවී ඇති අකටයුත්ත නිවරදි කර ඇය තමාගේ සෙවනට ගෙන තම හෘද සාක්ෂිය නිවරදි කර ගැනීමට ඔහුට දැඩිසේ උවමනා වී තිබුනි.
-------------------------------------
“ මොනා ද අක්කා ඔයා මේ කියන්නේ ? ඔයා හිතන්නෙ ඔයාව අපිට බරක් කියල ද ? ඔයා ඒ දවස් වල අපි හොයපු කොච්චර හොඳ මගුල් යෝජනා වලට අකමැති වුනා ද? දැන් මොකක් ද මේ නටන විකාරය ? “
“ වයසට යන කොට තමයි මඟුල් විසේ ඉහට ගහන්නේ “
“ ඔයා කට වහගන්න . මේක මගෙයි අක්කගෙයි කතාවක්“
වෙනදා මෙන් ඉර පායා එමින් තිබුනේ කිසිම වෙනසක් නොපෙන්වමිනි. වෙනදා මෙන්ම හිමිදිරියේ නැගිට ගත් ඇය , සියළු දෙනාටම කෑම පිස්සාය. මිදුල ගේ දොර අස්පස් කළාය. හදිසියේම යමක් සිහිවූ කලක් මෙන් කවදාවත් නැතිව මල් පහන් පූජා කළාය.ඉන් සුළු මොහොතකට පසුව ඇය දකින්නට හැකි වූයේ රෝස පැහැති ඔසරියකින් සැරසී මැදවියේ පිරිමියකුගේ දකුණත යන්තමින් අල්ලා ගෙන පිය නගින අපූරු සොඳුරු ගැහැණියක ලෙසිනි.
“ මං හිතුවා ඔයා එන්නෙ නැති වෙයි කියල “
“ මට ආයෙත් පාරක් ඔයාව නැති කර ගන්න බැහැ “
“ පුතාල ඔයාට දොස් කියාවි ‘
“ එයාලට මං යුතුකම් ඉස්ට කරා “
“ ඉස්සර වගේ තාමත් .................“
“ මං ඔයාට ආදරෙයි “
ලිහිල්ව අල්වන් ආ සුරත් දැඩිව සිරවී ගියේ ය. ලෝකයා ඔවුන් දෙස බලා සිටන වගක් නොදත් ඔවුන් , පාළු මාවතේ ඈතට ඈතට ඇවිදන් ගොස් දෑස් මානයෙන් නොපෙනී යනතෙක් මම බලා සිටියෙමි.
ලියා එව්වේ - සොඳුරු සිත
http://sodurusitha.blogspot.com/