උපාලි බෝක්කුවේ හිඳගෙන හිස් බැල්මෙන් බලා සිටී. පිස්සු අභූතයා අසළ හිඳගෙන ගොරහැඩි ස්වරයෙන් ගයයි:
"කාසි නැතෝ... ස්වාමියෙක් නැතෝ....
මං කවුදෝ....
මමෙක් නැතෝ... මගෙ දෙයක් නැතෝ...
මං කවුදෝ..."
"කට වහපං."
"මං භූතයෙක්ද? නැත්තං ඔයාගෙ පිස්සු මල්ලිද?"
"තමුසෙ කාලකණ්ණියෙක්!"
අභූතයාට ඇඬෙයි.
"මාව හම්බුණු කවුරුත් කිව්වෙ ඔහොමයි.”
"කවුරුත්?"
"හ්ම්. අන්තිමට කොන්දොස්තර. ඊට කලින් දේශපාලකයො; මුදලාලිලා; කන්තෝරුකාරයො; නීතිඥයො; දුප්පත් මිනිස්සු; පෝසත් මිනිස්සු...
හැමෝටම මං කාලකණ්ණියෙක්.
මං මුකුත් බැරි එකා.
වංචාවක් කරන්න අකමැති එකා.
කාටවත් ප්රයෝජනයක් නැති එකා.
දැන් මං භූතයෙක්වත් නෙවෙයි."
අභූතයා වැළපෙයි. ඌ පිස්සෙක් වූයේ තමන්ගේ වරදිනැයි යන හැඟුම උපාලිව වෙළාගනී.
"උඹ කාලකණ්ණියෙක් නෙවෙයි බං. හොඳ එකෙක්." උපාලි අභූතයාට තට්ටුවක් දැම්මේය.
"උඹ මගෙ මල්ලි. නාඬා හිටපං."
අභූතයා කඳුළු පිසගත්තේය.
“හැබැයි එකක් මතක තියා ගනිං:
දැං උඹ මනුස්සයෙක්. පොළොවෙ පය ගහල ඉන්ඩනම්, මහප්‍රාණ බෑ!”
ලියා එව්වේ - නලිනි චන්දිමා
http://sith-aara.blogspot.com/
http://sith-aara.blogspot.com/