Friday, 29 March 2024

ජොන්ස්ටන්ගේ පුත්‍රයාට තනතුර අහිමි වෙයි

Posted On Friday, 30 December 2016 09:13

වයඹ පළාත් සභාවේ නව ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා ලෙස වයඹ පළාත් සභා මන්ත‍්‍රී බණ්ඩාර රාජපක්ෂ මහතා තේරී පත්ව ඇතැයි පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා අධිකාරි අද (28 දා ) සභාවට නිවේදනය කළේය.
 


ඒ අනුව වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක තනතුර හොබවමින් සිටි ජොහාන් ප‍්‍රනාන්දු මහතා එම තනතුරින් ඉවත්කිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් ඒකමතිකව තීරණය කර තිබේ.
 
මාස තුනකට වැඩි කාලයක් තිස්සේ වයඹ පළාත් සභා රැස්වීම්වලට සහභාගි වී නොමැති ජොහාන් ප‍්‍රනාන්දු මහතා නොපැමිණීමේ අවසරය මත සභා රැස්වීම්වලට සහභාගිවීමෙන් වැළැකී සිටියි. පසුගියදා අවසන් වූ වයඹ පළාත් සභාවේ අය - වැය විවාදයට හෝ ජොහාන් ප‍්‍රනාන්දු මහතා සහභාගි නොවූ අතර තම වගකීම දිගින් දිගටම පැහැරහරින ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බව වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා අයවැය විවාදයේදී පැවසීය.
 
කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රත‍්‍රයා වන ජොහාන් ප‍්‍රනාන්දු මහතා 2013 වයඹ පළාත් සභා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරමින් මනාප ඡන්ද 134423 දිනාගනිමින් සන්ධාන මනාප ලැයිස්තුවේ දෙවැනියා ලෙස වයඹ පළාත් සභාවට තේරී පත්විය.
 
-කුරුණෑගල අතිරේක බණ්ඩාර රත්නායක.

Read 1512 times Last modified on Friday, 30 December 2016 09:18