ලංකාවේ බෝතලේ වලව්වේ ඉපදී පොදු මහජනතාව අතර සමීප සම්බන්ධතා පැවැත්වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් රාජ්‍ය මන්ත‍්‍රණ සභා යුගයටත් පෙරාතුව මීගමුව දිස්ත‍්‍රික්කයේ මන්ත‍්‍රීවරයා ලෙස නිතරගයෙන්ම පත්වූ දොන් ස්ටීවන් සේනානායක මහතාණන් හැම තැනකදීම කටයුතු කළේ තමන් පොළවේ පය ගසාගෙන සිටින තැනැත්තෙකු වශයෙනි. මෝදර සාන්ත තෝම්ස් කොලීජියෙන් හත පන්තිය සමත්ව ‘කැලේ පැන්නද’ ඔහුට කවර තරම් උගත්, උසස්, වැදගත් කෙනකු සමග වුවද එක සීරුවේම එක එල්ලේ ඉහළ ඉංග‍්‍රීසියෙන් වුවද කතා කිරීමේ හැකියාව තිබුණේය. එය ගමේ ගොඬේදී ගැමියකු සමග කතා කිරීමටද මෙන්ම එතුමනට අමුතු ආවේගයක් හෝ ආවේශයක් ගන්නට වුවමනා නොවූයේය. එහෙයින්ම කවර රජ සබයකදී වුවද මේ දොන්ස්ටීවන් සේනානායකයෝ සිය පෞරුෂයෙන් හා ප‍්‍රායෝගික අත්දැකීමෙන්ම මුල් තන්හිම වැජඹීමේ අවස්ථාව හිමිකර ගත්හ.
එතුමෝ තම පරම්පරාවෙන්ම ලද ආභාෂය අනුව සෙසු මනුෂ්‍යයන් විශ්වාස කිරීමට හුරු පුරුදුව සිටියේ තමන් මෙන්ම ඔවුන්ද තමන් මෙන්ම අවංක විය යුතුය. න්‍යායෙහි පිහිටා සිටය. එහෙයින්ම එතුමෝ තමන් තම රටට, ජාතියට ආදරය කරන්නාක් මෙන්ම මේ රටේ සිටින අන් ජාතික නායකයන්ද තම රටටත්, ජාතියටත් ආදරය ගෞරවය කරන බව දැන සිටියහ. එනිසාම අපේ රටට සුදු ජාතික ආණ්ඩුවෙන් නිදහසක් ලබාගත යුත්තේ සිංහල ජාතියක් උදෙසා පමණක් නොවන බවද දෙමළ ජාතිකයන් සඳහා පමණක් නොවන බවද, මුස්ලිම් ජාතිකයන් උදෙසා පමණක් නොවන බවද අන් සුළු ජාතිකයන් උදෙසා පමණක් නොවන බවද මුල සිටම තේරුම් ගෙන සිටියහ.
අප නිදහසක් ලබාගත යුත්තේ මේ රටේ සිටින මේ රටේ ඉපදුණ සියලූම ජාතිකයන් වෙනුවෙන්ම බව මෙසේ කලින්ම තේරුම් ගත් එතුමෝ තමනට කොතරම් අවස්ථාව ලැබුණද පක්‍ෂයක් පිහිටුවා එහි නායකත්වයක් දරන්නට උත්සාහ නොකළහ. එවැනි අවස්ථාවන් කොතෙකුත් එළැඹියද එවන් කටයුත්තකට නොපෙළඹුණාහ.
එතුමෝ සියලූම ජාතික නායකයන් අගනුවරට කැඳවා දේශපාලන පක්‍ෂයක් නිර්මාණය කරවූවේ එංගලන්තයේ යටත් විජිත ලේකම්වරයාගෙන් නියත වශයෙන්ම ලංකාවට නිදහස ලබා ගන්නට හැකිකම. ලැබේය යන විශ්වාසය තහවුරු වීමෙන් පසුව ඒ සඳහා ඉදිරි කාලයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වීමේ අවශ්‍යතාව අනුවය.
මේ අනුව වර්ෂ 1946 සැප්තැම්බර් 6 වැනිදා කොළඹ හතේ ‘ෆාම්කෝට්’ මන්දිරයට එක්රැුස් වූ රටේ විවිධ ජාතික නායකයන් එක්ව ‘එක්සත් ජාතික පක්‍ෂය’ පිහිටුවා ගෙන මේ වන විට හැට දෙවැනි වියේ සිටි ඞී. ඇස්. සේනානායක ගොවිකම් හා ඉඩම් අමාත්‍යතුමන් පක්‍ෂයේ සභාපති පදවියට පත්කර ගත්හ. මේ අවස්ථාවේදී වර්ෂ 1935 දී වේයන්ගොඩ රාජ්‍ය මන්ත‍්‍රීවරයා ලෙස සිටියදී ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මැතිතුමා විසින් පිහිටුවා ගන්නා ලද ‘සිංහල මහා සභාවේ’ ප‍්‍රමුඛතම සාමාජිකයන් පිරිසක්ද මෙම පක්‍ෂයට එක්වූහ.
ඉන් අනතුරුව වර්ෂ 1947 තේ පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී වැඩි ආසන සංඛ්‍යාවක් ලද එක්සත් ජාතික පක්‍ෂය සෙසු පක්‍ෂ කීපයකම ජාතික නායකයන්ටද තැන දෙමින්ද ආණ්ඩුවක් පිහිටු වූහ. වර්ෂ 1948 පෙබරවාරි 4 වැනිදා එංගලන්තයේ රජු නියෝජනය කරමින් මෙහි පැමිණි එතුමාගේ බාල සහෝදර ග්ලෝස්ටර්හි ආදිපාදතුමාගේ ප‍්‍රධානත්වයෙන් අපට නිදහස ලැබීමේ උත්සවය පැවැත්විණි.
මේ වන විට ලෝකයටම බලපෑ දෙවැනි ලෝක මහා සංග‍්‍රාමයද කෙළවර වී තිබුණු බැවින් වැඩි දෙනකුට ලෝක සාමය අත්දකින්නට ඉඩ සැලසී තිබිණි.
මෙසේ කටයුතු සිදුවෙමින් තිබියදී එංගලන්තයේ බකිංහැම් මාලිගය මංගල්‍යශ‍්‍රීයෙන් ඉපිලී ගියේ ඔටුන්න හිමි එලිසබත් කුමාරිතොමෝ ග‍්‍රීසියේ පිලිප් කුමාරයා හා සමග සරණ බන්ධනය උදෙසා සූදානම් වීම නිසාය.
මෙම රාජකීය විවාහ මංගලෝත්සවය උදෙසා සිලෝන් රටේ - ලංකාවේ අග‍්‍රාමාත්‍ය මහාමාන්‍ය ඞී. ඇස්. සේනානායක මැතිතුමා සහ එම මැතිිනිියටද සුවිශේෂ ආරාධනයක් ලැබිණ. තමන් හා මැතිනිය මීට කලින්ද එංගලන්තයේ බකිංහැම් මාලිගයට හෝ හය වැනි ජෝර්ජ් මහ රජතුමා හා එලිසබත් මව් බිසව මෙන්ම ඔවුන්ගේ දූවරුන් දෙදෙනා වූ එලිසබත් හා මාග‍්‍රට් කුමාරියද දැක දැන හඳුනාගෙන තිබෙන නිසාමද මෙම ආරාධනය සුවිශේෂ ආරාධනයක් ලෙසද ගණන් ගැනිණ.
රාජකීය මංගල ගමනට ලක ලෑස්ති වූ ඞී. ඇස්. අගමැතිතුමා කල්පනා කළේ නව මනාල යුවළට කිසියම් මතක හිටින අන්දමේ දේශීය ලක්‍ෂණ විදහා පාන අන්දමේ තෑග්ගක් දිය යුතු බවය. ඒ ගැන කල්පනාකාරී වීමෙන් පසුව එතුමාගේ සිහියට ආවේ අපේ ඉපැරැණි කැටයමක් කළුවර ලීයෙන් කප්පවාගෙන එය තමන්ට අතේ ගෙන යන්නට කටයුතු යෙදිය යුතු බවය.
ඒ අනුව දොන් කරෝලිස් හේවාවිතාරණ සහ සමාගමේ ප‍්‍රධාන කැටයම් ශිල්පියකුට අරලියගහ වලව්වට පැමිණ තමන් හමුවන ලෙස සේනානායක අගමැතිතුමෝ පණිවුඩයක් යැවූහ.
අගමැතිතුමාගේ ආරාධනය අනුව දොන් කරෝලිස් පුත‍්‍ර සමාගමේ ප‍්‍රධානියකු වූ බී. කුමාරදාස පෙරේරා මහතා අරලියගහ මන්දිරයට ගොස් එතුමා හමුවූයේය. සාකච්ඡාව සාර්ථකව නිම කෙරිණි.
පැරැණි සිංහල කැටයම් කලාව මුර්තිමත් කෙරෙන අයුරින් කළුවර ලීයෙන් අඩි එකකුත් අඟල් අටක් දිගටත්, අඩියක් පළලටත් සිටින සේ ‘නව නාරි හස්ති කුංජරය’’ නම් කැටයම සම්පාදනය කිරීමට අණ කෙරිණි. තරුණ කාන්තාවන් නවදෙනකු විසින් ඇතෙකු නිර්මාණය කෙරෙන ලෙස පෙනී සිටීම මෙම සූක්ෂම කැටයම් නිර්මාණය මගින් විවරණය කෙරෙන හෙයින් එයින් මේ මංගල ජෝඩුවගේ මෙන්ම එහි පැමිණෙන සුවිශේෂ අමුත්තන් තුළ ද බලවත් හැඟීමක් මතු කරමින් තැබිය හැකි යැයි ගරු අගමැතිතුමෝ සිතා ගත්හ.
විශේෂයෙන්ම කුමාරදාස පෙරේරා මහතා විසින් ගෙනැවිත් තිබූ කැටයම් රූපසටහන් අනුව මෙම ‘නව නාරි හස්ති කුංජරය’ අගමැතිතුමාගේ සිත බලවත් ලෙස පැහැරගෙන තිබිණි. එහි කාන්තාවන් නවදෙනකුගෙන් හස්තියා නිර්මාණය වී තිබුණු බව පෙනිණි.
දින සතරකින් පසුව කුමාරදාස පෙරේරා මහතා විසින් අරලියගහ වලව්වට ගෙනැවිත් ඞී. ඇස්. සේනානායක අගමැතිතුමා වෙත එම කළුවර කැටයම දක්වාලන ලද අවස්ථාවේදී එතුමෝ එය සූක්‍ෂ්ම ලෙස කැටයම් කර තිබෙන අන්දම දැකබලා අතිශයින්ම සතුටට පත් වූහ. එහෙයින් එවේලේ එතුමා අතින් මුදල් ත්‍යාගයක් ද තවත් තෑගි කිහිපයක් ද කුමාරදාස මහතා වෙත පිරිනැමිණ. මොලී සේනානායක මැතිනියද මේ සුවිශේෂ කැටයම දැකබලා අතිශයින්ම සතුටට පත් වූවාය.
තමන් ඇතුළු ජාතික නායකයන් පිරිස දසක ගණනාවක් තිස්සේ දරන ලද ප‍්‍රයත්නයෙන් ජයග‍්‍රහණය ලබා රටට නිදහස ලබා ගැනීමෙන් පසුව මහ මැතිවරණයෙන් ලද ජය අනුව ආණ්ඩුවක් පිහිටුවා එහි අග‍්‍රාමාත්‍ය ධුරය තමනට ලබන්නට හැකිවීමත් සමගම මේ රාජකීය විවාහය උදෙසා ආරාධිත නිමන්ත‍්‍රණය ලැබීමද සේනානායක අගමැතිතුමන් සැලකුවේ මහත් වූ ගෞරවයක් හැටියටය.
තවත් යුරෝපීය කලිසම් කබා ඇඳුම අනුගමනය කළ නමුදු ඔවුන්ගේ පාලනයට නතුව ස්ව රට වෙනුවෙන් රටේ හැම ජාතිකයන් වෙනුවෙන්ම පූර්ණ නිදහස ලබාගත් නමුදු වාමාංශික විරුද්ධ පාක්‍ෂිකයන් කවදත් මෙම ජාති මාමක දේශ මාමක සේනානායක ජන නේතෘවරයාණන්ගේ ප‍්‍රයත්නය හෑල්ලූ කොට සලකන්නට හුරු පුරුදු වී සිටියහ. එහෙත් කවදත් විරුද්ධ පාක්‍ෂිකයන්ට ද ගරු කිරීමේ ප‍්‍රතිපත්තියක සිටි එතුමෝ ඒවා ගණනකට නොගෙන තම ප‍්‍රතිපත්ති රටට, ජාතියට මෙහෙය පිණිසම කි‍්‍රයාවෙහි යෙදවූහ.
කරුණු මෙසේ යෙදී තිබියදී සේනානායක අගමැතිතුමෝ තම මැතිනිය සමග එංගලන්තයට ගොස් එළිසබත් කුමාරියත් පිලිප් කුමාරයාගේත් විවාහ මංගල්‍යට සහභාගි වූහ.
එහිදී තමන් ලංකාවේ සිට සුරක්‍ෂිතව තම අතේම ගෙන ආ කළුවර ලීයේ කැටයම් කළ ‘නව නාරි හස්ති කුංජරය’ සුදුසු වේලාවක් බලා සේනානායක යුවළ විසින් නව යුවළ වෙත පිළිගන්වන ලදහ. කවර තරමේ කලබල මධ්‍යයේ වුවද ලංකා අගමැතිතුමාගේ මෙම අපූරු හෙළ කැටයම් තෑග්ගට රාජකීය මනාල යුවළගේම අවධානය යොමු වූ බව පෙනුණේය. එම කැටයම් එම අවස්ථාවේදීම මහා බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි එළිසබැත් මනාලිය මෙන්ම මේ අවස්ථාවේ එතුමියව හිමිකරගෙන සිටි පිලිප් කුමරා ද සේනානායක අගමැතිතුමාගෙන් මෙම සුවිශේෂ කැටයම පිළිබඳව තොරතුරු හාරා අවුස්සා ඇසූහ.
සේනානායක අගමැතිතුමාගෙන් එයට නියම ලෙස පිළිතුරු ලැබිණි. ඒ වන විටද තම පිය මහරජතුමාගෙන් ‘මහාමාන්‍ය’ නම් වූ එංගලන්තයේ සාමි මන්ත‍්‍රණ මණ්ඩලයේ සභික සම්මානය ද ලබා සිටි මේ සේනානායකයාණන් පිළිබඳව ප‍්‍රසාදයෙන් යුතුව කතාබහ කිරීමට මනාල යුවළම පෙළඹුණු බවද දක්නට ලැබිණී.
මෙම සිද්ධියේ අලගිය මුලගිය තැන්ද සොයා දැනගෙන මෙසේ පාඨකයන් වෙත ලියා දක්වන්නට අප අදහස් කළේ ඉන් දසක ගණනකට පසුව එම ත්‍යාගය පිළිබඳව තවත් තොරතුරක් ද දැනගන්නට අපට අවස්ථාව ලැබුණු නිසාය.
නවසිය අනූ ගණන්වල අග භාගයේ සිට අපට දැන හඳුනා ගන්නට ලැබුණු ආර්. ජී. සේනානායක මැතිනිය (එරින් සුබසිංහ සේනානායක මැතිනිය) ඇමැතිතුමාත් සමගම එක් කලෙක එංගලන්තයට ගිය අවස්ථාවක එහි ලංකා තානාපති මන්දිරයේ බිත්තියක මෙම ඓතිහාසික රාජකීය කැටයම් කුංජරය ගෞරවයෙන් යුතුව එල්ලා තිබෙනු දැක එහි තානාපතිවරයාටත් නිලධරයන්ටත් එහි ඉතිහාසය කියා පැහැදිලි කර දුන් අන්දම අප සමග පැවසුවාය. එහි සිටි පැරණි නිලධරයන් පවා එහි අතීත කතාව දැනගත්තේ එවිටය. එළිසබත් කුමරිය පසුව බි‍්‍රතාන්‍ය මහ රැජින වූවාට පසුව දිනෙක මේ රාජකීය කෘතිය වඩාත් සුදුසු ලංකා තානාපති මන්දිරයට බව පවසා එය වෙත ප‍්‍රදානය කර තිබිණි.
සමහර විට මේ දුර්ලභ ත්‍යාගය තවමත් එංගලන්තයේ ලංකා තානාපති මන්දිරයේ බිත්තියක රැඳී තිබෙන්නට ද පුළුවන.
සෝමසිරි කස්තුරිආරච්චි
-Divaina-
දීපවාලී උත්සව දිනය සැමරිය යුතු ආකාරය පිළිබද හින්දු ආගමික නායකයින් සහ ප්‍රජා නායකයින් දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පියවර
අනාගත අභියෝගයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව වැදගත් සංධිස්ථානයකට අවතීර්ණ වෙමින් යුද හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව අද දින ( 12) ආරම්භ කරන ලදි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් යුද හමුදා මූලස්ථානයෙදී මෙහි සමාරම්භය සනිටුහන් කරන ලදි.
මේ මොහොතේ සිට නොවැම්බර් 15 දින මධ්‍යම රාත්‍රිය දක්වා කිසිදු පුද්ගලයෙකුට බස්නාහිර පළාතෙන් පිටතට සංචරණය කිරීම තහනම්
පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු විකල්ප ක්‍රමවේද භාවිතා කරමින් අඛණ්ඩව පවත්වාගෙන යෑමට අධ්‍යාපන වැඩසටහන් සම්පාදනය කරයි
පුංචි තිරයේ ආදරබර නිහතමානි චරිතයක් වන නයෝමි තක්ෂිලාට ස්වකීය රංගන දිවියේදී නිර්මාණ වෙනුවෙන් පුදකළා වූ සාධාරණත්වය හා වටිනාකමෙහි අස්වැන්න ඇයට හිමිවෙනවා. වසරේ වැඩිම පිරිසකගේ ආදරය දිනාගත් ටෙලි නාට්‍ය නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමෙන් පසුව නයෝමි තක්ෂිලා අප හා පැවැත්වූ සුහද පිළිසඳරයි මේ.
සම්මානය හිමිවීමේ මොහාතේ දැනුන සතුට කොතරම්ද?
මගේ ජීවිතයේ සතුටුදායක අවස්ථා මට ලැබිලා තියෙනව. හැබැයි ඒ සතුටුදායක අවස්ථාවලින් මම වැඩියෙන්ම සතුටු වුණ මොහොත තමයි මේ සම්මානය මගේ දෝතට ලැබුණ දවස.
මේ වසරේ නිර්මාණ වැඩි සංඛ්‍යාවකට දායක වෙමින් ජනප්‍රියම නිළිය වෙන්න හීන මැවුවාද?
ඕනම කෙනෙක් නිළියක් වුණාට පස්සෙ සම්මාන හා ඇගයීම් බලාපොරොත්තු වෙනව. එහෙම නැහැ කිව්වොත් ඒක බොරුවක්. හැබැයි මෙවර සම්මාන උළෙලේ ජනප්‍රිය නිළිය සම්මානයට මගේ නමත් නිර්දේශ වෙයි කියලා මම හිතුවෙ නැහැ. හැබැයි මගේ නම නිර්දේශ වෙලා අන්තිම දහයටත් ආවට පස්සෙ තමයි මට බලාපොරොත්තුවක් ආවේ මට මොකක් හරි අවස්ථාවක් ලැබෙයි කියලා.
සම්මානය හිමිකර ගැනීමෙන් පසු ඔබට දැනෙන්නේ අභියෝගයකට මුහුණ දීමෙන් පසු දැනෙන හැඟුමද?
සම්මානය ලැබෙයිද කියලා අභියෝගයක් තිබුණා. නමුත් මේ අවුරුද්දෙ මම රඟපාන ටෙලි නාට්‍ය හයක්ම විකාශනය වෙනව. මම මේ කාලය තුළ චරිත හයකින් ප්‍රේක්ෂකයන් අතර ඉන්නව. මා සමග නිර්දේශ වූ අනිත් රංගන ශිල්පිනියනුත් මට කලින් රංගනයට ආපු අය. මේ හැම දෙයක්ම ගැන බලද්දි ඒක එහෙම නොවෙයි කියලා කියන්නත් බැහැ.
ජනප්‍රියත්වයේ සම්මානයෙන් ක්ෂේත්‍රයේ ඔබව වෙනස් මානයකට යොමු කළාද?
රංගන ශිල්පිනියක් විදිහට සම්මානයක් ලැබීම ලොකු ශක්තියක්. නමුත් මම ඒ මතම ඉන්නෙ නැහැ. සාමාන්‍ය විදිහට මම කරගෙන ආපු වැඩටික කරගෙන යනවා.
මේ සම්මානය බොහොම කෙටි කලකින් පහසුවෙන් හිමිවූ දෙයක්ද?
නැහැ. නැහැ. ඇත්තම කිව්වොත් මං සම්මානය ගත්ත මොහොතෙත් මේ ගැන මතක් කළා. මම 2013 අවුරුද්දෙ කොළඹට ආපු දා ඉඳන් කළ කැපවීම මහන්සිය මේ තරම් කාලයක් මම ක්ෂේත්‍රයේ කටයුතු කළ ආකාරය මගේ නිහතමානීකම මේ හැම දෙයකම ප්‍රතිඵලයක් විදිහටයි මට මේ සම්මානය ලැබුණෙ.
ඔබ පැමිණි ගමනේ මතක සටහන් සිහිපත් කර තබන්න මේ අනගි මොහොතක් කියා හැඟෙනවා
මම අනුරාධපුරයෙ නෙල්ලිකුලම ගමේ ඉඳන් කොළඹට එන්නෙ ටවර් හෝල් පදනමේ නාට්‍ය හා රංගකලා උපාධිය හදාරන්න. උපාධිය හදාරල අවසන් වුණාට පස්සෙ මට අකලංක සපුමල්ගෙ හිනාවෙලා හේතුවක් වේදිකා නාට්‍යයේ රඟපාන්න ලැබුණා. එම රංගනය වෙනුවෙන් 2015 මම යෞවන සම්මාන උළෙලේ හොඳම නිළියගේ සම්මානය මට ලැබුණා. එතැනින් තමයි මම මගේ රංගන දිවිය ආරම්භ කරන්නෙ. ඊට පස්සෙ 2016 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළියට මගේ නම නිර්දේශ වුණා. ඊට පස්සෙ තමයි මම ටෙළිනාට්‍ය වලට යොමුවුණේ.
නයෝමි පටන් ගන්නෙ ප්‍රධාන නිළියගේ චරිතයෙන්ද?
මට මුලින් ප්‍රධාන චරිත ලැබුණෙ නැහැ. මම ඕන තරම් පොඩි පොඩි චරිත කරල තියෙනව. උදාහරණයක් විදිහට මුළු නාට්‍යයේම එක දර්ශනයක පමණක් රඟපාන චරිත කරලා තියෙනව. පොඩි තැනකින් ආවහම තමයි මේ වගේ දිනුමකදී ලොකු වටිනාකමක් දැනෙන්නෙ.
ඔබ පවසන්නෙ දුෂ්කර ගමනක ප්‍රතිඵලයක් ලෙස අද ඔබ ජනප්‍රියත්වයේ සම්මානය හිමිකරගත් බවද?
අනේ ඔව්. අපි අවුරුදු දෙකක් ඉගෙනගන්න කාලෙ ඉතා දුෂ්කර ජීවිතයක් ගත කළා. අපි කොළඹ ජීවත්වුණේ. ගෙදරින් දෙන මුදල් ටිකෙන් සල්ලි ඉවර වුණහම මෙහෙ සල්ලි ඉල්ලගන්න කෙනෙක් නැහැ. බස් එකේ යන්න සල්ලි නැතිව පයින් ගිහින් තියෙනව. රෑට බෝඩිම්වල බත් කන්න ව්‍යංජන නැතිවුණාම රෑට පවා කිරිබත් හදාගෙන කාල තියෙනව. එහෙම කට්ටක් කාල තමයි මෙතැනට ආවෙ. දැන් මට හැමදේම ලැබිලා තිබුණත් ඉස්සර ගතකරපු සරළ ජීවිතයට තමයි මම කැමති. අදටත් මට එදා උන්න ඒ සරළකමේ ඉන්න පුළුවන්.
පාසල් සමය නයෝමිට නිළියක් විමේ මංපෙත හෙළි පෙහෙළි කර දුන්නද?
පුංචි කාලෙනම් මම කියල තියෙනව මම හින්දි නිළියක් වෙන්න කැමතියි කියලා. ඒත් මම ඉගෙනගත්ත අපේ ගමේ නෙල්ලිකුලම පාසලේ නාට්‍ය හා රංගකලාව කියල විෂයක් තිබුණෙ නැහැ. ඒ නිසා පාසලේ සාමන්‍ය පෙළ දක්වා මට කලාව ටිකක් මග හැරුණ. සාමන්‍ය පෙළට නම් නැටුම් ඉගෙන ගත්තා උස්සපෙළ කරන්න. අනුරාධපුර ස්වර්ණපාලි බාලකා විද්‍යාලයට ඇතුළු වුණාට පස්සෙ මට නාට්‍ය හා රංගකලාව හදාරන්න ලැබුණා.
එකම වකවානුවක ටෙළි නාට්‍ය හයක රඟපෑම පහසු කාර්යයක්ද ?
මේ දවස්වල මම රඟපාන නාට්‍ය හයක් විකාශනය වෙනව. ඒ සඳහා කාලය වෙන්කරගන්න එක පවා හරිම සූක්ෂම විදිහට කරන්න වෙනව. උදාහරණයක් විදිහට විශේෂයෙන් අද මම යන්නෙ නීල පබළු ටෙළි නාට්‍යයේ රඟපාන්න නම් මම උදේ ඉඳන් ඒ චරිතය ගැන විතරමයි හිතන්නෙ. නැත්නම් මම ඒ තැනට ගිහින් ඔළුව හදාගන්න කැමතියි.
නිළියක් විදිහට චරිතයක් වෙනුවෙන් ඕනෑම ආකරයක කැපවීමක් කරන්න ඔබ සූදානම්ද?
ඒක මම තීරණය කරන්නෙ නිර්මාණයේ පිටපතත් එක්ක.
නයෝමිගේ මීළඟ ඉලක්කය කුමක්ද ?
මගේ හීනය වුණේ කවද හරි හොඳම නිළිය වෙන්න ඕන කියන එකයි. හැබැයි ඊට කලින් මට ජනප්‍රියම නිළිය සම්මානය ලැබුණා. මට හොඳම නිළියගේ සම්මානය ලැබෙන දවසත් එයි කියලා හිතනව.
ගමේ ඉඳන් කොළඹ ආපු නයෝමි මේ හැම දෙයටකටම මුහුණ දෙන්නෙ තනියමද?
මම තනියම තීරණ ගන්න අවස්ථා තියෙනව. නමුත් මගේ දෙමවුපියන්ගෙ අනුදැනුම ඇතිව තමයි මම වැඩ කරන්නෙ. මම නතර වෙලා තියෙන්නෙ කොළඹ මගේ පුංචි අම්මගෙ ගෙදර. මගේ අම්මත් නිතරම කොළඹ ඇවිත් මාත් එකක් ඉන්නව.
මේ අවස්ථාවේ ඔබ හැරුණම ඔබත් සමග සතුටුවෙන අය අතර ඉන්නෙ?
වැඩියෙන්ම සතුටු වුණේ අම්මයි තාත්තයි.
ඇයි ඔබගේ පෙම්වතා
නැහැ. එහෙම නැහැ. මගේ අම්මයි තාත්තයි තමයි මේ මොහොතේ මාත් එක්ක සතුටු වෙන්නෙ. මම බැඳී සිටින්නෙ මගේ දෙමව්පියන් සමගයි.
උපුටා ගැනීම - අරුණ පුවත්පත
ප්‍රධාන ධාරාවේ සියළුම ගෝලීය මාධ්‍ය විසින් ඊයේ වාර්තා කරන ලද කෝවිඩ් 19 සඳහා සාර්ථක ලෙස අත්හදා බලමින් යන එන්නත පිටුපස සිටිනා විද්‍යාඥ දෙපල ගැන ඩෙලි මේල් වෙබ් අඩවිය අද පුවතක් රැගෙන එනවා. කෝවිඩ් 19 සඳහා Pfizer සහ BioNTech සමාගම් විසින් අත්හදා බලමින් තිබෙන මේ එන්නත ගැන මුල්ම උණුසුම් පුවත රැගෙන ආවේද ඩේලි මේල් ඔන්ලයින් පුවත් පතයි ( ඒ ගැන මම මගේ පිටුවේ මීට කලින් සටහනක් තබා තිබෙනවා). ඇමෙරිකානු ජනාධිපති වරණය අවසන් වූ අල්ල පනල්ලේම මේ එන්නත පිළිබද පුවත එළියට පැමිණීම ගැන කුමන්ත්‍රණ න්‍යාය කරුවන් ද සැක පළකරනවා.
කෙසේ වුවත් Pfizer සහ BioNTech සමාගම් විසින් හඳුන්වා දී ඇති මෙම තීරණාත්මක සහ දෛවෝපගත එන්නතේ සමාරම්භකයින් ලෙස සැලකෙන්නේ උගුර් ෂහින් (Ugur Sahin) සහ ඔයිස්ලම් ටියුරේසි (Oezlem Tuereci) නම් දෙපළක්. උගූර් තුර්කි ජාතිකයෙක් වන අතර පසුව ඔහු ජර්මනියට සංක්‍රමණ වී තිබෙනවා. ඔහුගේ බිරිඳ වන ටියුරේසි ද එසේම තුර්කි පසුබිමක් සහිත වෛද්‍යවරයෙක් ගේ දියණියක් වන අතර ඇය ද පසුව ජර්මනියට සංක්‍රමණය වී තිබෙනවා. ටියුරේසි BioNTech සමාගමේ අධ්‍යක්ෂිකාවක් වන අතර තම වෛද්‍ය වෘත්තීය තුළ මිනිස් ප්‍රතිශක්තිය (human immunity) පිලිබඳ විශේෂඥ බවක් අත් කරගෙන තිබෙනවා. කෝවිඩ් වෛරසය පැමිණීමට පෙර ඔවුන් විශාල වශයෙන් වෙහෙස වී ඇත්තේ පිලිකා රෝගය සඳහා ප්‍රතිජීවක ඖෂධයක් සොයා ගැනීම සඳහා වෙහෙස වීමටයි.
මෙම ගෝලීය වසංගතය වෙනුවෙන් එන්නත නිපදවීමේ සහ එය සාර්ථකව අත්හදා බැලීමේ තරඟයෙන් මේ අනුව Pfizer සහ BioNTech සමාගම් ඉදිරියට පැමිණ තිබෙනවා. දැනට එන්නත් කර ඇති විශාල පිරිසකට අතුරු අබාධ රහිතව මෙම එන්නත සාර්ථක ප්‍රථිපල අත්පත් කර දී ඇති අතර එම ශුභ ආරංචිය සමග යුරෝපයේ කොටස් වෙළඳ පළ මිළ ගණන් මේ අනුව ඉහල නගිමින් පවතිනවා.
උගූර් සහ ඔහුගේ බිරිඳ සතු මෙම වෛද්‍ය රසායනාගාර සමාගම් හේතුවෙන් ඔවුන් ජර්මනියේ පොහොසත්ම සිය දෙනා අතරට එකතු වෙනවා. කොතරම් මුදල් තිබුණද උගූර් අදටත් තම රැකියාව සඳහා පැමිණෙන්නේ තම මවුන්ටන් බයිසිකලයෙන් බව සඳහන් කරන්නත් ඩේලි මේල් වෙබ් අඩවිය අමතක කරන්නේ නැහැ.
කෙසේ වුවත් ගෝලීය වශයෙන් තවත් එන්නත් ගණනාවක් සඳහා මේ මොහොත වන විටත් මිනිස් බුද්ධිය වැය වෙමින් පවතිනවා. එහෙත් කුමන එන්නත පැමිණියත් තව යම් කාලයක් සඳහා දැන් අනුගමනය කරන නව සාමාන්‍ය පුරුදු දිගටම අනුගමනය කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මුළු ලෝක ප්‍රජාවෙන් ඉල්ලා සිටිනවා.
මුල් පුවත සඳහා https://www.dailymail.co.uk/news/article-8930359/The-husband-wife-covid-vaccine-change-worl.html