Wednesday, 11 December 2019

අබූත

Posted On Sunday, 01 January 2017 07:51

මොන දේ කළත් වරදින උපාලිට කොන්දොස්තර කොල්ලා, ඉතිරි සල්ලි ලෙස දී තිබුණේ, මුහුණත අපැහැදිලි, අවපැහැ ගැන්වුණු කාසියකි. බෝක්කුවේ හිඳගත් උපාලි එය  පිරිසිදු කරන්නට විය. එකෙනෙහි ඔහු ඉදිරිපිට ජටාවක් බැඳ, සරුවාලයක් හැඳි පුද්ගලයකු පහළ විය.

"මං තමයි මේ කාසියට අධිපති භූතයා." ජටාධාරියා හිස නමා පැවසීය. "ඔබයි මගේ ස්වාමියා."

"අම්මට සිරි!" උපාලිට කියවිණි.

"ඒක නරක වචනයක් නේද?" භූතයා ඇසීය.

"සිරි කියන්නෙ ශ්‍රී කියන එක. ආශීර්වාදාත්මක වචනයක්." උපාලි වැරැද්ද හදාගත්තේය.

"බොරු නේද?”

"ඒක පැත්තකට දානවකො. මොනවද බූතයෙකුට කරන්ඩ පුළුවන් ?"

"භූතයෙක්- මහප්‍රාණ භ යන්න." භූතයා නිවැරදි කළේය. "මොනවද වෙන්ඩ ඕනෙ."

"මාව ලෝකෙ ලොකුම පෝසතා කරනවකො."

"ඒකනම් අමාරුයි." භූතයා කණගාටුවෙන් පැවසීය. "මං ඉතින් සිල්ලර කාසියක භූතයෙක්නෙ."

උපාලි සිල්ලර අවශ්‍යතාවයක් මතක් කළේය.
"බත් පිඟානක් ?"

"එච්චරනං අමාරුයි..."

ඉක්මණින්ම උපාලි භූතයාගේ තරම වටහා ගත්තේය: අතුරුදහන් වීමත් අදහස් ප්‍රකාශ කිරීමත් හැර ඌට මෙලෝ වැඩක් බැරිය.


ඉන් නොසැළුණු උපාලි, උගෙන් ප්‍රයෝජනයක් ගැනීමට සිතුවේය.

"මට කීකරුව හිටියොත් මොණර කොළේක බූතයෙක් වුණහැකි."

"භූතයෙක්, මහප්‍රාණ භ යන්න. මං කාසියෙ අයිතිකාරයට කීකරුයි." භූතයා කීවේය.

“වැඩේ සරලයි.” උපාලි පැහැදිලි කළේය. "තමුසෙට තියෙන්නෙ, ඔය මට කිව්ව හරියම අනික් මිනිස්සුන්ටත් කියන්ඩ."

"එච්චරද?”

"එච්චරයි.  හැබැයි කොන්දේසි උඩ:
එක-  ප්‍රසිද්ධියෙ අතුරුදහන් වෙන්ඩ බෑ.
දෙක- මගෙ ළඟම ඉන්ඩ ඕන."

Read 732 times

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.