යුද්ධයෙන් මියගිය පුද්ගලයන් සිහිපත් කිරීම සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් එම විශ්වවිද්‍යාල පරිශ‍්‍රයේ ඉදිකර තිබුණු මුල්ලිවයික්කාල් ස්මාරකය උපකුලපතිවරයාගේ නියෝගය අනුව ඩෝසර් කර කඩා ඉවත් කිරීමට විරෝධය පළ කරමින් එම විශ්වවිද්‍යාලයෙහි සිසුන් පස් දෙනෙක් උපවාසයක් ආරම්භ කර ඇත්තේ පෙරේදා දිනයේය. මේ පස්දෙනාගෙන් එක අයෙක් මාරාන්තික උපවාසයක යෙදෙන බව පවසා ඇත. උපවාසකරුවන්ගේ ඉල්ලීම වන්නේ එම ස්මාරකය නැවතත් පෙර පරිදිම ඉදිකර දෙන ලෙසය. ඇත්තෙන්ම මෙම ස්මාරකය ලැබුවේ 2018 වසරේය. මෙම ඉදිකිරීම නීති විරෝධී බව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ප‍්‍රකාශ කර තිබුණද මෙය ගලවා දැමීමට හිටපු බලධරයින් උනන්දු නොවීය.
නමුත් වත්මන් උපකුලපති ශ‍්‍රී සර්ගුණ රාජා මහතා නිවැරදි තීන්දුවක් ගනිමින් මෙය ඉවත් කිරීමට පියවර ගෙන ඇත. ඇත්තෙන්ම මෙම ත‍්‍රස්ත ස්මාරකය ඉවත් කිරීම අගය කළ යුතුය. තවදුරටත් බෙදුම්වාදය ප‍්‍රකට කිරීමට හෝ සැමරීමට ඉඩ දිය යුතු නැත. ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්ත සටනින් දෙමළ ජනයාට ලැබුණේ මිනී කඳු මිස අන්දෙයක් නොවේ. වසර ගණනාවක් යාපනය සරසවිය වසා දමා තිබිණි. දැන් සියලූ සිසුන්ට නිදහසේ අධ්‍යාපනය ලැබිය හැක. වෙඩි හඬ නොඇසේ. එසේනම් මියගිය ත‍්‍රස්තයන්ට පහන් දල්වා යළිත් අඳුරු ලේ වැකි යුගයක් ප‍්‍රාර්ථනා කරන සුළු පිරිසකගේ ක‍්‍රියාවන්ට බලධාරීන් විසින් වැට බැඳීම අගය කළ යුතුය. වත්මන් සමාජයට අවශ්‍ය වන්නේ යුද ස්මාරක නොව සාමයේ හා එක්සත්භාවයේ ස්මාරක බව යාපනය උපකුලපතිවරයා නිවේදනය කර ඇත. සැබවින්ම මෙය ඉහළින්ම අගය කළ යුතු ප‍්‍රකාශයකි.
මානුෂීය ගුණාංග විශ්වවිද්‍යාල සිසුන් තුළ ප‍්‍රචලිත විය යුතු වුවත් ත‍්‍රස්ත සිතිවිලි හෝ යුද මානසිකත්වය ප‍්‍රකට විය යුතු නැත. තිලීපන් අනුව යමින් ජීවිතය ජය ගැනීමට නොහැකි බව උපවාස කරන සරසවි සිසුන් අවබෝධ කර ගත යුතුය. යාපන සරසවි සිසුවෙකු වූ තිලීපන් 1987 සැප්තැම්බර් 15 වැනිදා අරඹන ලද මාරාන්තික උපවාසය අවසන් වූයේ සැප්තැම්බර් 26 වැනිදා සිදු වූ ඔහුගේ මරණයෙනි. එදා තිලීපන්ගේ උපවාසය ප‍්‍රභාකරන් යොදා ගත්තේ තම ත‍්‍රස්ත අරමුණු ජය ගැනීම වෙනුවෙනි. එයින් සරසවි සිසුන්ට ලැබුණු ජය කුමක්ද? ගඩොල් ස්මාරකය වෙනුවෙන් අද මාරාන්තික උපවාස කරන්නේ කවරෙකුගේ අරමුණු සඵල කිරීමටද? එය බටහිර වෙසෙන කොටි ඩයස්පෝරාවේ අරමුණු විය හැක. ස්මාරකය කඩා දැමීමත් සමග දෙමළ සන්ධානයටත් යළි ප‍්‍රාණයක් ලැබී ඇති සෙයකි.
එනිසාම යාපනය මහා ශිෂ්‍ය සංගමය සමග එක්ව අද උතුරු නැගෙනහිර හර්තාල් සංවිධානය කර ඇත්තේ යළි කෙසේ හෝ ජනයා අතරට ගොස් බෙදුම්වාදය පැතිරවීමටය. යාපනය නගරාධිපති ධුරය පවා රැකගැනීමට නොහැකි වූ දෙමළ සන්ධානය ගඩොල් ස්මාරක වෙනුවෙන් හර්තාල් සංවිධානය සැබවින්ම විහිළුවකි. ස්මාරක තැනිය යුත්තේ වීරයින් සැමරීමට මිස ත‍්‍රස්තයන් හෝ මරාගෙන මැරෙන බෝම්බකරුවන් සිහි කිරීමට නොවේ. ශ‍්‍රී සර්ගුණ රාජා මහතා යාපනය සරසවියට නිග‍්‍රහයක් වන ගඩොල් ගොඩ ඉවත් කර ඇත. එයට හමුදාව හෝ පොලිසිය සම්බන්ධ වූයේ නැත. පසුව පොලිසිය පැමිණිය කළහකාරීන් මෙල්ල කිරීමට පමණි. ගඩොල් ගොඩ හරහා නැවත බෙදුම්වාදය මතු කිරීමේ කූට අරමුණු පරාජය කිරීම යාපනයට පමණක් නොව රටටම යහපතකි. එසේම යාපනය සරසවියේ සිංහල සිසුන් 1500ක් අධ්‍යාපනය ලබන බවත් අප අමතක කළ යුතු නැත.