Friday, 26 April 2024

ගාල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරින් 12500ක්

Posted On Friday, 31 July 2020 16:09

පාර්ලිමේන්තු මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරින් 12500ක් සහ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරින් 4000ක් පමණ යෙදවීමට කටයුතු යොදා ඇතැයි ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.

 

මෙවර මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කය තුළ ඡන්ද දායකයින් 867709ක් ලියාපදිංචි වී ඇති අතර ඡන්ද මධ්‍යස්ථාන 712කදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.

මහ මැතිවරණය 2020 සඳහා ගාල්ල දිස්ත්‍රික්කයෙන් තැපැල් ඡන්ද දායකයන් 40770ක් සුදුසුකම ලබා තිබු අතර මේ වන විට ඔවුන් සිය ඡන්දය ප්‍රකාශ කර ඇති බවද පසුගිය ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද දායකයන් 38045ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලද අතර මෙවර තැපැල් ඡන්ද දායකයන් 2725ක වැඩිවීමක් සිදු වී ඇතැයිද මෙවර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම මධ්‍යස්ථාන 346 කදී සිදු කළ බවද ඒ මහතා පැවසීය.

ගාල්ල දිස්ත්‍රික්කය තුළ ජනාධිපතිවරණයට වඩා මෙවර මහා මැතිවරණයේ දි ජන්ද ගණන 8960 ක් වැඩිවෙද්දි දිස්ත්‍රික්කයට හිමි වි තිබු මන්ත්‍රි ආසන ගණන 10 සිට 09 දක්වා මෙවර අඩුවි ඇත.

ගාල්ල දිසාවට මෙසේ මන්ත්‍රි ආසන සංඛ්‍යාව අඩු වි ඇත්තේ දෙවන වතාවට වන අතර 1989 දි ද, ගාල්ල දිසාවට ආසන 11 ක් තිබු අතර එය පසුව ආසන 10 දක්වා අඩු වි ඇත.

මෙවර ඡන්ද ගණන් කිරීම සඳහා සවුත්ලන්ඩ් විද්‍යාලය , ඇලෝසියස් විද්‍යාලය සහ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය යොදා ගෙන ඇති අතර මෙම පරිශ්‍රයන් තුළ ඡන්ද ගණන් කිරීමේ ස්ථාන 161ක් සකස් කර ඇති බවත් ප්‍රතිඵල නිකුත් කිරීම සවුත්ලන්ඩ් විද්‍යාලය තුළදී සිදු කරන බවද වැඩි දුරටත් ඒ මහතා පැවසීය

මෙවර ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමට කණ්ඩායම් 27ක් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා වෙත නාමයෝජනා බාර දී තිබු අතර ඉන් එක් නාමයෝජනා පත්‍රයක් ප්‍රතික්සේප වී ඇති අතර . පිළිගත් දේශපාලන පක්ෂ 13ක් හා ස්වාධින කණ්ඩායම් 13ක් තරඟයට සුදුසුකම් ලබා ඇති බවත් . පිළිගත් දේශපාලන පක්ෂ 13ක අපේක්ෂකයන් 156ක් පමණ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වී ඇති අතර ස්වාධින කණ්ඩායම් 13ක අපේක්ෂකයන් 156ක් සමග සමස්ත අපේක්ෂකයන් සංඛ්‍යාව 312ක් බව ඒ මහතා පවසයි.

පාර්ලිමේන්තු මැතිවරණයේ පක්ෂ වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය ,ජාතික ජන බලවේගය, පෙරටුගාමී සමාජවාදි පක්ෂය, ජනසෙත පෙරමුණ ,ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය ,ලිබරල් පක්ෂය ,ජාතික ජනතා පක්ෂය, ,එක්සත් වාමාංෂික පෙරමුණ, සිංහලදීප ජාතික පෙරමුණ , අපේ ජන බල පක්ෂය ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ ඇතුළු පිළිගත් පක්ෂ මෙසේ නාමයෝජනා බාර දී තිබේ

මෙවර පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා 2019 ඡන්ද හිමි නාමලේඛනය උපයෝගි කොට ගත් බවත් වැඩිම ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව වූ 105293 හිනිඳුම ආසනයේ වී ඇති බවත් අඩුම ඡන්ද දායක සංඛ්‍යාව වන 55396 බලපිටිය ආසනයෙන් වන බවත් ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේයූ චන්ද්‍රලාල් මහතා පවසයි.

අනෙකුත් ආසනවල ලියාපදිංචි ජන්ද දායක සංඛ්‍යාවන් වශයෙන් අම්බලන්ගොඩ 80275 ක්, කරන්දෙනිය 77443 ක්, බෙන්තර ඇල්පිටිය 93866ක්, බද්දේගම 101161 ක්, රත්ගම 81826ක්, ගාල්ල 84685ක් , අක්මීමන 102419ක් සහ හබරාදුව 85345ක් ලියාපදිංචි වී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය