Friday, 26 April 2024

විදෙස් රැකියා මවා මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු හෙළි වේ

Posted On Thursday, 23 July 2020 09:49

තායිලන්තයේ රැකියා ලබා දෙන බව පවසා අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකරමින් මුදල් වංචාකළ ජාවාරමක් පිළිබඳව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට තොරතුරු අනාවරණය වී තිබෙන එම කාර්යාංශය පවසයි.

 

තායිලන්තයේ ආරක්ෂක සේවයේ රැකියා අවස්ථාවන් සදහා පුද්ගලයින් තෝරා ගෙන, එම රැකියා සඳහා මුදල් ලබාදුන් පසු පොරොන්දු වූ පරිදි රැකියා ලබා නොදෙන බවට පුද්ගලයින් පිරිසක් පැමිණිලි කර තිබේ. මේ පිළිබඳව තායිලන්තයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයෙන් කරුණු සොයා බැලූ අතර, ශ්‍රි ලාංකිකයින්ට තායිලන්තයේ එවැනි රැකියා අවස්ථාවන් නොමැති බව තානාපති කාර්යාලය විසින්ද තහවුරු කරන ලදී.

මෙම ජාවාරම මෙහෙය වූ අයවලුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කාර්යාංශය විසින් මෙම පැමිණිල්ල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබේ.

විදේශ රැකියා සඳහා බඳවාගන්නා බව සඳහන් කරමින් ඇතැම් වංචාකරුවන් දිවයිනේ ප්‍රසිද්ධ මාධ්‍යයන්හි දැන්වීම් පළකරන අතර, ඒ සඳහා මුදල් ලබාදී බලාපොරොත්තු වූ රැකියාව හිමි නොවූ පිරිස් විටින් විට වාර්තා වෙයි. වාර්තා වෙන එවැනි විදේශ රැකියා ජාවාරම්කරුවන්ට එරෙහිව කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් වැටලීම් මෙහෙයවා නීතිය ක්‍රියාත්මක කරනු ලබයි.

කිසියම් රැකියා නියෝජිතායතනයක් විදේශ රැකියා ලබාදීම වෙනුවෙන් ප්‍රසිද්ධ මාධ්‍යයන්හි දැන්වීම් පළකරන්නේ නම්, 2009 අංක 56 පනතින් සංශෝධිත 1985 අංක 21 දරණ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ 37 සහ 37 (අ) වගන්ති විධිවිධාන අනුව ලිඛිත පුර්ව අනුමැතිය කාර්යාංශය වෙතින් ලබා ගත යුතුය.

යම් අයෙකු විදේශ රැකියාවක් සඳහා යොමුවීමට බලාපොරොත්තු වන්නේ නම් 1989 ක්ෂණික දුරකථන අංකය මගින් කාර්යාංශයේ පැය 24 තොරතුරු මධ්‍යස්ථානය අමතා රැකියාව ලබාදෙන නියෝජිත ආයතනය කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතනයක්ද යන වග තහවුරු කරගන්නා ලෙසත්, එම ආයතනය ඔබ හදුනාගත් රැකියාවන්ට පුද්ගලයින් බඳවා ගැනීමට අනුමැතියක් ලබාගෙන තිබේද යන්න තහවුරු කරගන්නා මෙන් කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි. එසේ නොමැතිව ව්‍යාජ රැකියා නියෝජිතයින්ට මුදල් ගෙවීමෙන් වංචාකරුවන්ට ගොදුරු නොවන ලෙසත් වැඩිදුරටත් කාර්යාංශය ඉල්ලා සිටියි.