Friday, 26 April 2024

ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවේ සිට පැමිණෙන සියලු මගීන් නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙල ආරම්භ වෙයි

Posted On Tuesday, 10 March 2020 07:00

ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වෛරස (කෝවිඩ් 19) තත්ත්වය මෙරට ව්‍යාප්ත වීම පාලනය කිරීම ස‍ඳහා ඉතාලිය,ඉරානය සහ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණෙන සියලු මගීන් නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙළ අද (10) දිනයේ සිට ආරම්භ විය.


ඒ අනුව දකුණු කොරියාවේ ඉන්චියොන් ගුවන් තොටුපොළේ සිට කොරියානු ගුවන් සේවයට අයත් කේ.ඊ. 473 දරන ගුවන් යානයෙන් අද දිනයේ මෙරටට පැමිණෙන පිරිස මෙම නිරෝධායන ක්‍රියාවලියට යොමු වන පළමු කණ්ඩායම වෙයි.

මෙම පිරිස ආරාක්ෂාකාරී ලෙස සූදානම් කර ඇති විශේෂ බස්රථ කිහිපයක් මගින් ආරක්ෂිතව මඩකලපුව, බැටිකලෝ කැම්පස්හි පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබේ. එහිදී ඔවුන් දින 14 ක අධීක්ෂණ කාලයක් තුළ නිරෝධායනය කිරීමෙන් අනතුරුව සියලු දෙනා තම නිවෙස් වෙත යොමු කිරීමට කටයුතු සළසා තිබේ.

මේ පිළිබඳව මාධ්‍ය වෙත අඳහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා සඳහන් කළේ, පැමිණෙන මගීන්ට අවශ්‍ය පහසුකම් ලබා දී, විෂබීජහරණයකට  ලක් කොට බස් රථ මගින් මඩකළපුව නිරෝධායන මධ්‍යස්ථානයටත්, කන්දකාලු නිරෝධායන මධස්ථානයටත් රැගෙන යනු ලබනවා. පැමිණෙන දින අනුව වෙන් වෙන්  වශයෙන් නිරෝධායන මධස්ථානවල රදවනු ලබනවා. ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට කටයුතු කරනවා. මෙම පිරිස් දින 14 ක නිරෝධනයෙන් පසුව නිරෝධායන මධ්‍යස්ථානවලින් පිට  කරනු ලබනවා. මෙම පිරිස් වෙත අවශ්‍ය යම් සුළු සෞඛ්‍ය පහසුකම් එම පරිශ්‍රයෙත්, අවශ්‍ය කරන සියලු පහසුකම් රෝහල් මගින් ලබාදීම සදහාත් කටයුතු කරනු ලබනවා යැයි කීය.