Friday, 26 April 2024

ජනවාරි 24 දා යෙදෙන ''සාරධර්ම දිනය''ට සමගාමීව සියලු පාසල්වල වැඩසටහන් රැසක්

Posted On Thursday, 23 January 2020 07:14

සදාචාර සම්පන්න යහපත් දරු පරපුරක් බිහිකරලීම සඳහා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මූලික කරගත් සාරධර්ම වැඩසටහන් පාසල් තුළ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් සෑම වර්ෂයකම ජනවාරි මස 24 වනදා “සාරධර්ම දිනය” ලෙස නම් කර ඇත.



පුර්ණකාලීනව වර්ෂය පුරා සිසුන් ද ඇතුලුව පාසල් පද්ධතියට අයත් සියලු ප්‍රජාව සම්බන්ධ කර ගෙන සුදුසු වැඩසටහන් පාසල් තුළ ක්‍රියාත්මක කිරීමට මේ අනුව පියවර ගෙන ඇත.

සාරධර්ම දිනය යෙදී ඇති ජනවාරි 24 වනදා පෙ.ව. 7.30 සිට පෙ.ව. 8.00 දක්වා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා දෙමව්පියන්ගේ සහභාගිත්වයෙන් මේ සම්බන්ධව විශේෂ හඳුන්වාදීමේ මූලික වැඩසටහනකින් ආරම්භ කර යෝජිත ආදර්ශ සාරධර්ම වැඩසටහන් කීපයක් ද එදිනට ක්‍රියාත්මක කළ යුතුය.

යෝජිත ආදර්ශ සාරධර්ම වැඩසටහන් අතර මාපිය, ගුරු, වැඩිහිටි සම්භාවනා වැඩසටහන්, සදාචාරවත් මාධ්‍ය භාවිතය, පරිසර සංරක්ෂණය, දෛනිකව ක්‍රියාත්මක කළයුතු සදාචාර සංවර්ධන වැඩසටහන්, යහපත් මිතුරන් ආශ්‍රය තුළින් ජීවිතය සාර්ථක කර ගැනීම, අසරණයන්ට පිහිටවීම සහ ගිලානෝපස්ථානය වැනි වැඩසටහන් අතරින් කිහිපයක් ද එදිනට සංවිධානය කර ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මගින් සියලුම පාසල් විදුහල්පතිවරුන්, සියලු පරිවේනාධිපතිවරුන්, විද්‍යාපීඨ කොමසාරිස්වරුන් ඇතුලු සියලු අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩල දැනුවත් කර ඇත.