Friday, 26 April 2024

2019 වර්ෂයේදී නීතිවිරෝධී සංක්‍රමණිකයන් 175 කට වඩා වැඩි පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට

Posted On Monday, 06 January 2020 09:09

2019 වර්ෂයේදී ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය බලා සංක්‍රමණය වූ ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගේ සිදු වූ වැඩිවීමත් සමඟ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ඕස්ට්‍රේලියානු මෙහෙයුම් ස්වෛරී දේශසීමා සහාය ඇතිව ශ්‍රී ලංකා නාවික හමුදාව සිය සෝදිසි මෙහෙයුම් වඩාත් ශක්තිමත් කර ඇතැයි නාවික හමුදාව පවසයි.



ශ්‍රී ලාංකිකයින් 64 ක පමණ සංඛ්‍යාවක් 2016, 2017 සහ 2018 යන වර්ෂවලදී නීතිවිරෝධී ලෙස මෙරටින් පිටව යාමට උත්සාහ කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව කියයි.

ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කොමාණ්ඩර් ඉසුරු සුරියබණ්ඩාර අද (ජනවාරි 02) දින මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේ ප්‍රධාන වශයෙන් හලාවත , මඩකළපුව , දෙවුන්දරතුඩුව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් පසුගිය වසරේදී ශ්‍රී ලාංකිකයින් 175 ක් නීතිවිරෝධී ලෙස මෙරටින් පිටව ගොස් ඇති බවයි.

ලුතිනන් කොමාණ්ඩර් ඉසුරු සුරියබණ්ඩාර පවසන ආකාරයට රටින් පලා යාමට උත්සාහ කරමින් සිටි පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන් රටින් පලා යාමට සූදානම් වෙමින් සිටියදී වන අතර නාවික බුද්ධි තොරතුරු අනුව බහුතර ප්‍රමාණයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රිකුණාමලයේ පුද්ගලයන් හතර දෙනෙකු මෙරටින් පලා යාමට තැත් කිරීම පිළිබඳව මෑතකදී ඇතිවන ලද සිදුවීම පදනම් කර ගනිමින් ඕස්ට්‍රේලියානු ස්වෛරී දේශසීමා මෙහෙයුම් අණ දෙන නිලධාරී මේජර් ජෙනරාල් ක්‍රේග් ෆුරිනි මෑතකදී ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා සහ ඕස්ට්‍රේලියානු රජයන් අතර ශක්තිමත් සබදතාවයක් ඇති බවත් මිනිස් ජාවාරම් මැඩපැවැත්වීම වැළැක්වීම සඳහාත්, මුහුදේදී සිදුවන මිනිස් ජීවිත අවදානමට ලක්වීම වැළැක්වීම සඳහාත් අඛණ්ඩව එක්ව කටයුතු කරන බවයි.

මේජර් ජෙනරාල් ෆුරිනි ප්‍රකාශ කර තිබුණේ “ඔබ ඔබේ ජීවිතය පරදුවට තබන නමුත් එමගින් ඔබට සාර්ථක වීමට කිසිදු අවස්ථාවක් නොමැත”. “ඕස්ට්‍රේලියාවේ දැඩි දේශසීමා ප්‍රතිපත්තිවලින් අදහස් කරන්නේ නීතිවිරෝධී සංක්‍රමණිකයින් කිසිවෙකුට ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමට හෝ රැකියා කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවයි”.

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත තොරතුරු ලබා දී නීතිවිරෝධී මිනිස් ජාවාරම් මැඩපැවැත්වීම සඳහා සහාය වන ලෙස ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා දේශීය ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින ලදී.

නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිළිබඳ තොරතුරු ලබා දෙන පුද්ගලයින් සම්බන්ධයෙන් රහස්‍යභාවය පවත්වා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහතික වන බව ඔහු පැවසීය.