Friday, 26 April 2024

නව පාර්ලිමේන්තු සභා වාරය ජනාධිපති ප්‍රධානත්වයෙන් ජනවාරි 03 වැනිදා

Posted On Tuesday, 31 December 2019 09:34

අට වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම ජනවාරි 03 වැනිදා පෙ.ව 10.00 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) අනුව පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමට අතිගරු ජනාධිපතිතුමාට බලය හිමි වන අතර, ඒ අනුව පසුගිය දෙසැම්බර් මස 02 වැනිදා අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

ජනවාරි 03 වැනිදා නව සභා වාරය විවෘත කිරීමේ කටයුතු පෙ.ව 09 .00 ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීමත් සමග ආරම්භ වන අතර, එහිදී පළමුවෙන්  පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සම්ප්‍රාප්තිය සිදු වීමට නියමිතයි.අනතුරුව
කථානායක  කරූ ජයසූරිය මහතාගේ පැමිණීමෙන් පසු, අග්‍රාමාත්‍ය   මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම සිදු වන අතර, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වන්නේ ඉන් අනතුරුව‍ය.
එහි දී කථානායක කරූ ජයසූරිය මහතා හා පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට
නියමිත අතර. ජනාධිපති ධජය උඩුකුඹූ කිරීම හා ජනාධිපතිතුමා වෙනුවෙන් සම්මාන වෙඩි මුර 21 ක් සමග උත්තමාචාර පිරිනැමීම ඉන් අනතුරුව සිදු කිරීමට නියමිතය.


වේත්‍රධාරි,නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරි පෙරටු කරගත් ගරු
කථානායකතුමා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමා විසින් අතිගරු
ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැදවා ගෙන යනු ලැබීමෙන් අනතුරුව සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කෙරේ. පෙ.ව 10.00 ට ජනාධිපතිතුමා මංගල රැස්වීමේ මුලසුන ගැනීමට නියමිත අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) මගින් විධිවිධාන සළසනු ලැබ ඇති පරිදි, නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ද එතුමා විසින් සිදු කෙරේ. එය ඉදිරිපත් කිරීමෙන් පසු ජනාධිතුමා විසින් පාර්ලිමේන්තු රැස්වීම කල් තැබේ.

1947 වර්ෂයේ සිට 50 වරකට අධික ප්‍රමාණයක් පාර්ලිමේන්තුව වාරාවසාන කර තිබේ.1978 වසරින් පසුව පමණක් පාර්ලිමේන්තු සැසිවාර 25 ක් පවත්වා ඇත. පළමුවන පාර්ලිමේන්තුවේ පළමුවන සැසිවාරය 1947 ඔක්තෝබර් මස 14 වන දින පැවැත්වීය. එය උත්සවශ්‍රීයෙන් විවෘත කොට මුලසුන දරන ලද්දේ ආණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි මොන්ක් මේසන් මුවර් මැතිතුමා වන අතර, එතුමා විසින් රාජාසන කථාව පවත්වන ලදී.

දෙවන පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරය විවෘත කරන ලද්දේ දෙවන එලිසබත් රැජිණ විසිනි . 1954 අප්‍රේල් 12 දින එතුමිය විසින් උත්සවාකාරයෙන් සැසිවාරය අරඹන ලද අතර, රාජාසන කථාව රැජිණ විසින් කියවන ලදී. පසු කාලීනව පාර්ලිමේන්තුවේ නව සැසිවාර උත්සවශ්‍රීයෙන් හෝ කිසිදු උත්සවයකින් තොරව ආරම්භ කරන ලද අවස්ථා බොහෝමයකි. 1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමග, නව සැසිවාර ආරම්භයේදී රාජාසන කථාව වෙනුවට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කිරීම ඇරඹුණි.