Sunday, 28 April 2024

ලංගම පොදු ප්‍රවාහනයට එරෙහි මාර්ග ත්‍රස්තවාදය පරාජය කළ යුතුයි

Posted On Wednesday, 28 February 2024 06:51

ලංගම පොදු ප්‍රවාහනයට එරෙහි මාර්ග ත්‍රස්තවාදය පරාජය කළ යුතුයි

 

සියලු දෙනාගේ දායකත්වයෙන් ලංගම පොදු ප්‍රවාහනයට එරෙහි මාර්ග ත්‍රස්තවාදය පරාජය කළ යුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට පෞද්ගලික බස් රථවල සේවකයන් විසින් සිදු කරන පහරදීම් සහ හිරිහැර කිරීම් හේතුවෙන් මුහුණ දෙන ගැටලු පිළිබඳ අවධානය යොමුකරමින් ලංගම සේවකයන් පිරිසක් විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට ඊයේ (27) පැවැති උද්ඝෝෂණය අතරට පැමිණි අමාත්‍යවරයා මේ බව සඳහන් කරනු ලැබීය.

අනතුරුව ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා උද්ඝෝෂණයේ නිරත පිරිස් සමඟ සාකච්ඡා කරමින් ඔවුන්ගේ ගැටලු පිළිබඳ විමසා බැලීය.

ඔවුන් ඉදිරිපත් කළ ඉල්ලීම් පිළිබඳ ද සිය අවධානය යොමු කරමින්, මේ වන විටත් එම ගැටලු නිරාකරණය සඳහා ඇමැතිවරයා ලෙස තමන් මැදිහත් වී ඇති බවත් මීට පෙර කිසිදු ඇමැතිවරයකු සිදු නොකළ ආකාරයෙන් සේවකයන් මුහුණ දෙන ගැටලු පිළිබඳ තමන් සෘජුව මැදිහත්වීමට පසුබට නොවන බවත් ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඇමැතිවරයාගේ දැනුම් දීම පරිදි ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිත පිරිසක් විශේෂ සාකච්ඡාවකට එක්විය.

මේ තත්ත්වයට ආසන්නම සිදුවීම ලෙස පසුගියදා නුගේගොඩ සිට හෝමාගම පිටිපන දක්වා ධාවනය වූ ලංගම බස් රථයක රියැදුරුට සහ කොන්දොස්තරවරයාට පෞද්ගලික බස් රථ සේවකයන් පිරිසක් විසින් පහර දීම වෘත්තිය සමිති නියෝජිතයන් විසින් පෙන්වා දෙන ලදි. එමෙන්ම දිවයින පුරා විවිධ ස්ථානවල දුර ගමන් සේවා සහ අනෙකුත් මගී ප්‍රවාහන සේවාවන් හී නිරත වන ලංගම බස් රථවලට, සේවකයන්ට පහරදීම සහ හිරිහැර කිරීම දිගින් දිගටම සිදුවන බැවින් මේ පිළිබඳ කරුණු පරික්ෂා කර කඩිනම් පියවර ගන්නා ලෙස වෘත්තිය සමිති නියෝජිතයන් ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

විවිධ හේතූන් මත ජනතාවගේ විශ්වාසය ලංගම කෙරෙහි බිඳ වැටී තිබුණු මොහොතක ක්ෂේත්‍රයේ මනා පලපුරුද්දක් සහිත වෘත්තිකයකු වන නව සභාපතිවරයකු පත්කර ලංකා ගමනාගමන මණ්ඩලය යළි නිවැරදි මාවතකට යොමු කිරීමට තමා පියවර ගත් බවත්, පැවැති මිලට වඩා අඩු මුදලකට ටයර් මිල දී ගැනීමේ ටෙන්ඩරය ඇතුළු කරුණු මත අධිකරණය ඉදිරියට පවා යෑමට සිදුව තිබෙන බවත් ඇමැතිවරයා මෙහි දී පෙන්වා දුන්නේය. ආයතනයේ පවතින සොරකම, කොමිස් ගැනීම වැනි වංචාවන් නතර කිරීමට උත්සාහ කිරීමේ දී නඩු පැවරීම්වලට මුහුණ දීමට පාව තමාට සිදුව තිබෙන බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. මේ සියලු ක්‍රියාමාර්ගයන්හි අරමුණ මේ ආයතනය නැවත ගොඩනැ‍ඟීම බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

කැබිනට් මණ්ඩලය ඇතුළු අනිකුත් කමිටුවලදීද තමා මෙම ආයතන වෙනුවෙන් සෑම විටම පෙනී සිටිමින් කටයුතු කළ බවත් පුද්ගලික බස් රථ සමඟ මෙවැනි ගැටුම් ඇතිවීම සමථයකට පත් කිරීම සම්බන්ධව දිගින් දිගටම කටයුතු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම එවැනි පහර දීමක් හෝ හිංසා කිරීමක් සිදුවූ සෑම අවස්ථාවකම ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් පොලිසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන අංශ සමඟ සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය මැදිහත්වීම ඇමැතිවරයා ලෙස සිදුකළ බවත් ප්‍රකාශ කළේය.

එමෙන්ම ඉදිරියේ දී මෙවැනි පහරදීම් හෝ හිංසා කිරීම් සිදු කරන අවස්ථාවක දී ඊට සම්බන්ධ වන පෞද්ගලික බස් රථවල ධාවන බලපත්‍ර තාවකාලිකව අහෝසි කළ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය. සියලු දෙනාගේ දායකත්වයෙන් ලංගම පොදු ප්‍රවාහනයට එරෙහි මාර්ග ත්‍රස්තවාදය පරාජය කළ යුතු බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය. පොලිසිය ඒ සඳහා වන නීතිමය කාර්යභාරයන් නිසි ආකාරයෙන් සිදුකරන බැවින් එම පරීක්ෂණවලට ඉඩ ලබාදෙමින් වර්ජන ක්‍රියාමාර්ගවලට යොමු නොවී රාජකාරි කටයුතු නිසි ආකාරයෙන් ඉටු කරන ලෙස ඇමැතිවරයා වෘත්තීය සමිති නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඕනෑම ගැටලුවක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විෂය භාර ඇමැතිවරයා ලෙස තමන් සූදානම් බව ද වෘත්තීය සමිති නිලධාරීන් වෙත දැනුම් දුන්නේය. ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ඒකාබද්ධ කාල සටහන් ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ තුළට පෞද්ගලික බස් රථද ඇතුළු කිරීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවත් නමුත් මෙවැනි පහරදීම් වැනි රජයේ දේපළට හානි කරන ක්‍රියාමාර්ග හේතුවෙන් කිසිසේත්ම රජයේ මධ්‍යම බස් නැවතුම්පොළට පුද්ගලික බස් රථ ඇතුළු කිරීමට විෂය භාර ඇමැතිවරයා ලෙස තමා ඉඩ ලබා නොදෙන බව අවධාරණය කළේය. නමුත් නියමිත පරිදි ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය ක්‍රියාත්මක කරන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ක්‍රමවත් ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා ලංගම සේවකයන් සහ වෘත්තීය සමිතිවල සහයෝගය ඒ සඳහා ලබා දෙන ලෙසත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම නීතිය නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක වන බැවත් සෑම විටම විෂය භාර ඇමැතිවරයා ලෙස තමන් සෑම විටම ලංගම සහ එහි කාර්ය මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටින බවත් එබැවින් නීතිය අතට ගෙන කටයුතු නොකර සාමකාමීව කටයුතු කරන ලෙස ලංගම සියලුම කාර්ය මණ්ඩලවලින් ඉල්ලා සිටියේය. එමෙන්ම සේවකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය වෙනුවෙන් විශේෂ රක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බැවින් සේවකයන්ගේ සුරක්ෂිත භාවය තහවුරු කිරීමට සෑම විටම අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මෙහි දී අදහස් දැක් වූ ලංගම වෘත්තිය සමිති නායකයන් ප්‍රකාශ කළේ ඇමැතිවරයා විෂය භාර ඇමැතිවරයා ලෙස කටයුතු කිරීම ආරම්භ කිරීමත් සමඟ මේ වන විට ආයතන තුළ විශාල වෙනසක් සිදුවෙමින් ක්‍රමවත් වැඩපිළිවෙළක් යටතේ ක්‍රියාත්මක වන බවත් ඊට සියලු දෙනාගේම සහයෝගය ලබාදෙන බවයි. එසේම තවදුරටත් වෘත්තිය සමිති සහ සේවකයන්ගේ සාධාරණ ඉල්ලීම් පිළිබඳ සැලකිල්ල යොමු කරමින් ආයතනයේ දියුණුව වෙනුවෙන් කටයුතු කිරීමට සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන බවත් ආයතනය වෙනුවෙන් ඇමැතිවරයාගේ සක්‍රීය මැදිහත්වීම සහ දායකත්වය අගය කරන බවත් වෘත්තීය සමිති නිලධාරීන් ප්‍රකාශ කළේය.

ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති මෙම සාකච්ඡාව සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට මහතා, සහකාර පොලිස් අධිකාරී අනිල් ජයන්ත මහතා හා අංශ රැසක වෘත්තිය සමිති නියෝජිත පිරිසක් එක්ව සිටියහ.