Thursday, 02 May 2024

දිවයිනේ ගංගා කිහිපයක ගංවතුර තත්ත්වයක්

Posted On Tuesday, 03 October 2023 08:34

දිවයිනේ ගංගා කිහිපයක ගංවතුර තත්ත්වයක්

 

දිවයිනේ බස්නාහිර පළාත,දකුණ පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයෙන් ගලා බසින ගංගා කිහිපයක මේ වන විටත් ගංවතුර තත්වයක් පවතින බවත් සමස්තයක් ලෙස සියලු ස්ථානවල ගංවතුර තත්වයන් සුළු වශයෙන් අඩු වෙමින් පවතින අතර ගංවතුර පවතින ප්‍රදේශවල අද දවස තුළද එම තත්වයන් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී.සුගීෂ්වර මහතා පවසයි.

නිල්වලා , ගිංගග, සහ අත්තනගලු ද්‍රෝණිවල පහළ ප්‍රදේශවල ජලයෙන් යටවී ඇති මාර්ග තවදුරටත් අද ද ජලයෙන් යටවී පවතී.

මෙම ගංගා ද්‍රෝණිවල පහළ ප්‍රදේශවල පදිංචි මහජනතාව මෙන්ම මෙම ප්‍රදේශ හරහා ගමන් කිරීමට බලාපොරොත්තු වන රියදුරු මහත්වරුන් ගංවතුර තත්වය පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දේ.
එසේම කැලණි ගඟේ ජලමට්ටම දින කිහියක් පුරා අවිස්සාවේල්ල දිස්ත්‍රික්කයෙන් පහළ තොටළඟ දක්වා අධික මට්ටමකින් පවතින බැවින් ඒ පිළීබඳව අවධානයෙන් පසු විය යුතු බවත් ඒ මහතා පවසයි.තවද කැලණි ගංගාවේ ජල ගලනය අධික බැවින් එම ගංගාවේ දෙපස ජීවත් වන ජනතාව විමසිල්ලෙන් පසුවන ලෙසද ඒ මහතා පවසයි.
ඉදිරියේදී නැවත මිලි මීටර 75ක වැසි තත්වයක් ඇති වුවහොත් හෝ වැසි තත්වයේ වර්ධනයක් සිදු වුවහොත් මෙම පවතින තත්වය නැවත වර්ධනය වීමේ ප්‍රවණතාවයකට පත්විය හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.මෙම සියලු ගංගාවල පසේ තෙතමනය අධික බැවින් පොළවට වැටෙන වර්ෂාපතනය සම්පූර්ණටයන්ම පාහේ ගංගාවට එකතු වී ජල ගැල්මට හේතුවන තත්වයක් ඇති විය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පවසයි.
විදුලි බලාගාර ජලාශවල තත්වය සැළකීමේදී කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ පිහිටි මාවුස්සාකැලේ සහ කාසල් රී ප්‍රධාන ජලාශ දෙක සහ උඩවලව ද්‍රෝණියේ ඉහළ පිහිටි සමනල වැව ජලාශයටත් සැළකිය යුතු ජල ගලනයක් පවතී.මෙම තත්වය විදුලිබලය සඳහා යහපත් වන බවත් ඒ මහතා පෙන්වා දේ.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශ සැළකීමේදී ඊයේ (01) වියළි කලාපයේ ඇතැම් ප්‍රදේශවලට සුළු වර්ෂාපතන තත්වයක් ඇති වී ඇති අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුහුදට ආසන්න පහළ ප්‍රදේශවලට සැළකියයුතු මට්ටමේ ඉහළ වර්ෂාපතනයක් ඇති වී තිබේ.මේ ප්‍රදේශවල පිහිටි වාරිමාර්ග ජලාශවලට සැළකිය යුතු මට්ටමේ ජල ප්‍රමාණයක් එකතු වී නොමැති බව සුගීෂ්වර මහතා පෙන්වා දේ.එබැවින් තවදුරටත් වාරිමාර්ග ජලාශවල ජල මට්ටම සමස්තයක් ලෙස සියයට විසිහයක පමණ මට්ටමක පවතී.එබැවින් මෙම ජලාශවල ජලය දැඩිලෙස අරපරිස්සමින් භාවිත කළ යුතු බවට ඒ මහතා අවධාරණය කරයි.