Sunday, 05 May 2024

මලාපවහන හා අප ජල කළමනාකරණය සම්බන්ධ ගැටලුවලින් කොළඹ වරාය නගරයට තර්ජන

Posted On Friday, 15 September 2023 12:02

මලාපවහන හා අප ජල කළමනාකරණය සම්බන්ධ ගැටලුවලින් කොළඹ වරාය නගරයට තර්ජන

 

ස්මාර්ට් සිටි සංකල්පය යටතේ වෙනම ගොඩබිමක් ලෙස වරාය නගරය ඉදිකෙරෙන බැවින්, අප ජල කළමනාකරණය, පුනර්ජනනීය බලශක්තිය සහ නිසි මලාපවහන යාන්ත්‍රණයන් වැනි ස්මාර්ට් නගර සංකල්ප තිබේදැයි කමිටුව පැමිණ සිටි කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සාමාජිකයින්ගෙන් රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව ප්‍රශ්න කළේය.

වරාය නගරය සංවර්ධනය කිරීමේදී රටේ අනෙකුත් ප්‍රදේශවල පවතින අවිධිමත් මලාපවහන හා අප ජල කළමනාකරණය සම්බන්ධ ගැටලු මඟහරවා ගත යුතු බව කමිටුවේ අදහස විය.

සන්නසට වාර්තාවන පරිදි කැළණි ගගට පවා කෙලින්ම වැසිකිලි නල මාර්ග හරවා ඇති අතර කොළඹ නගරයේ මලාපවාහන පද්ධති ගැඹුරු මුහුදට යොමු කරන නමුත් ඒවා දිරාපත්ව ඇති බව සමීක්ෂණවල දී හෙලිවී තිබේ. ජාත්‍යන්තර අවධානයට පත් වරාය නගරයේ පැවැත්ම සම්බන්ධයෙන් මෙය අනතුරුදායක තත්ත්වයකි.

මේ අතර කොළඹ වරාය නගරයේ පිහිටි ආහාර අලෙවිසැල් විවේක කටයුතු යටතට පත්වන බවත් 2027 මාර්තු වන විට ඒවා ඉවත් කරන බවත් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව නියෝජනය කරන සාමාජිකයින් ප්‍රකාශ කර ඇත. කොළඹ වරාය නගරය ප්‍රධාන වශයෙන් විදේශ ආයෝජන ඉලක්ක කර ගනිමින් නිර්මාණය කර තිබියදී මෙවැනි ආහාර අලෙවිසැල් පිහිටුවීමේ නීත්‍යානුකූලභාවය පිළිබඳව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළේය.

ඊට අදාළ සාකච්ඡාව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බදාදා පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේදී පැවැත්විණි.

එවැනි ආහාර අලෙවිසැල් පිහිටුවීමට අවසර දීමට ඔවුන් තීරණය කර ඇත්තේ කුමන නීත්‍යානුකූල පදනමක් මතද යන්න සහ 2027 වන විට ඒවා ඉවත් කරන්නේ කුමන හේතු මතද යන්න කමිටුව කොමිසමේ සාමාජිකයින්ගෙන් වැඩිදුරටත් විමසා සිටියේය.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අදහස් විමසා ඇත්දැයි කමිටුව වැඩිදුරටත් ප්‍රශ්න කළ අතර මේ සම්බන්ධයෙන් තොරතුරු කඩිනමින් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස එම කමිටුව කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට සහ නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

වරාය නගරයේ සිදුකෙරෙන කටයුතුවලින් රජයට ලැබෙන ආදායම පිළිබඳව කමිටුව වැඩිදුරටත් විමසා සිටියා. රෙගුලාසි සඳහා අනුමැතිය ලබා දීමට පෙර වඩා හොඳ අවබෝධයක් සඳහා මේ සම්බන්ධයෙන් සියලු විස්තර ඉදිරිපත් කරන ලෙස කමිටුව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.