Monday, 29 April 2024

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට අධිකරණයට අපහාස කිරීමේ නඩු තුනක්

Posted On Wednesday, 28 June 2023 14:15

අධිකරණයට අපහාස කළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන්

 

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට අධිකරණයට අපහාස කිරීමේ නඩු තුනක්

අධිකරණයට අපහාස කිරීමේ වරදට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට මහතාට දඬුවම් කරන ලෙස ඉල්ලා අධිකරණයට අපහාස කිරීමේ පෙත්සමක් ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSASL), දිවයිනේ සියලුම දිසා අධිකරණ විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන සංවිධානය සහ නීතීඥවරුන් දෙදෙනෙකු ගොනු කර තිබුණි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඩුවම් නොදිය යුත්තේ මන්දැයි කරුණු දක්වන ලෙසට අභියාචනාධිකරණය මීට පෙර සනත් නිශාන්ත මහතාට සිතාසි නිකුත් කර තිබුණා.

JSASL සභාපති මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්, එහි ලේකම් අතිරේක දිසා විනිසුරු පසන් මනෝජ් අමරසේන සහ නීතිඥවරුන් දෙදෙනෙකු වන විජිත කුමාර සහ ප්‍රියලාල් සිරිසේන යන මහත්වරුන් විසින් මෙම අයදුම්පත් ගොනු කරනු ලැබුවේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වගඋත්තරකරු ලෙස නම් කරමිනි.

2022 අගෝස්තු 23 වැනි දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සනත් නිශාන්ත මහතා යුක්තිය පසිඳලීමට සෘජුව මැදිහත්වීමක් වැනි ප්‍රකාශයක් කළ බව පෙත්සම්කරුවෝ ප්‍රකාශ කරති.