Wednesday, 01 May 2024

අපනයනය ඉළක්ක කර ගත් කෙසෙල් සැකසුම් කලාප දෙකක්

Posted On Tuesday, 02 May 2023 05:15

අපනයනය ඉළක්ක කර ගත් කෙසෙල් සැකසුම් කලාප දෙකක්

 

ඇඹිලිපිටිය හා සෙවණගල ප්‍රදේශ දෙක ආශ්‍රිතව දැනට පුළුල් ලෙස කෙසෙල් වගාව සිදුකෙරෙන බැවින් අපනයනය ඉළක්ක කර ගත් කෙසෙල් සැකසුම් කලාප දෙකක් එම ප්‍රදේශවල ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් දැනට රාජාංගනය හා යාපනය කෙසෙල් අපනයන ආදර්ශ ගම්මාන දෙකක් ස්ථාපිත කර ඇත. ඊට අමතරව සෙවණගල හා ඇඹිළිපිටිය කෙසෙල් වගා කරන ගොවි මහතුන්ගේ ඉල්ලීම පරිදි මෙම කෙසෙල් අපනයන ආදර්ශ ගම්මාන ව්‍යාපෘති දෙක ස්ථාපිත කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබේ.

ඒ අනුව සෙවනගල ප්‍රදේශයේ කැවෙන්ඩිෂ් නැමැති කෙසෙල් විශේෂයත්, ඇඹිලිපිටිය හා හම්බන්තොට ප්‍රදේශ ආශ්‍රිතව ඇඹුල් කෙසෙල් විශේෂයත් වගා කිරීමට සැළසුම් කර ඇත. මෙම වගාවන් දෙකම ආරම්භයේ දී අක්කර 200 බැගින් අක්කර 400ක වගා කෙරෙන අතර ඉන්පසුව එය අක්කර 800ක් දක්වා ව්‍යාප්ත කිරීමට කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය සැළසුම් කර තිබේ.

මේ යටතේ වගාව සඳහා තෝරාගන්නා ගොවීන්ට කෙසෙල් වගාව විද්‍යානුකූලව හා ජාත්‍යන්තර වෙළෙඳපොල ප්‍රමිතීන්ට අනුකූලව වගා කිරීමට අවශ්‍ය කෘෂි තාක්ෂණය හා නවීකරණ වැඩපිළිවෙල මෙන්ම අලෙවි කර ගැනීමට අවශ්‍ය විදේශ වෙළෙඳපොල ද කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය ගොවීන්ට සපයනු ලබයි. මීට අමතරව එම ව්‍යාපෘතිය මගින් ගොවීන්ට වගාව සඳහා අවශ්‍ය මුල්‍ය ආධාර සපයන බව එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතා සඳහන් කරයි.

 මේ අතර යාපනය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය කාබනික වගාවක් ලෙස ප්‍රවර්ධනය කිරීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ පළමු කාබනික ඇඹුල් කෙසෙල් අස්වැන්න ඉදිරි දින කිහිපය තුළ ඩුබායි වෙළෙඳපොළට අපනයනය කිරීමට නියමිතය.

එහි අස්වනු නෙලීම් හා සැකසුම් කටයුතු හෙට (03) ආරම්භ කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව රාජංගනය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතියෙන් සෑම සෙනසුරාදා දිනකම ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500ක් ඩුබායි වෙළෙද පොළට අපනයනය කෙරේ. ඊට සමගාමීව යාපනයේ කාබනික ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 25,000ක් බැගින් සතිපතා අපනයනය කිරීමට ද කටයුතු යොදා ඇත.
දැනට අපනයනය සඳහා ඇඹුල් කෙසෙල් සැකසුම් මධ්‍යස්ථාන දෙකක් රාජංගනය හා යාපනයේ ස්ථාපිත කර තිබේ. එමෙන්ම ඇඹිලිපිටිය හා සෙවණගල ඇඹුල් කෙසෙල් හා කැවෙන්ඩිෂ් කෙසෙල් ව්‍යාපෘති ආරම්භ වූ පසු බරවකුඹුක හෝ ඒ ආසන්න ප්‍රදේශයක කෙසෙල් අපනයන සැකසුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියට උපදෙස් ලබා දී ඇත.