Thursday, 16 May 2024

උත්සව සමයේ අනතුරු වළක්වාගමු - විශේෂඥ ශල්‍ය වෛද්‍ය රේණුකා මහානාම

Posted On Thursday, 22 December 2022 09:02

උත්සව සමයේ අනතුරු වළක්වාගමු - විශේෂඥ ශල්‍ය වෛද්‍ය රේණුකා මහානාම

 

හදිසි අනතුරු හේතුවෙන් ශ්‍රී ලංකාවේ වසරකට 12,000ක් පමණ මියයන බවද උත්සව සමයේ අනතුරු වළක්වාගැනීමට කටයුතු කරන ලෙස කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රේණුකා මහානාම මහත්මිය පැවසුවාය.

ඇය මේ බව කියා සිටියේ, ඊයේ (21) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී ''විමසිලිමත් වෙමු- අනතුරු වලින් ආරක්ෂා වෙමු ''යන මැයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්මිනි.

උත්සව සමයේ නත්තල් සහ අලුත් අවුරුදු ආසන්නයේදී හදිසි අනතුරු අංශයට බොහෝ විට වැඩි රෝගීන් ප්‍රමාණයක් පැමිණෙන බවද, වැඩි මරණ සංඛ්‍යාවක් දක්නට ලැබෙන බවද විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය පැවසීය.

2019 වසරේ දත්ත අනූව හදිසි අනතුරු හේතුවෙන් වසරකට මෙරට 12,000ක් මියයන බවද, මින් 6000ක් එනම් 50%ක් පමණ අනතුරු සිදුවූ ස්ථානයේම මියයන බවද කියාසිටි විශේෂඥ ශල්‍ය වෛද්‍ය රේණුකා මහානාම මහත්මිය, තවත් 3000ක් රෝහල තුළදී ප්‍රතිකාර ලබාගනිමින් මියයන බවද, ඉතිරි 3000ක ප්‍රමාණය අනතුර සිදුවූ ස්ථානයේ සිට රෝහල වෙත ප්‍රවාහනය කිරීමේදී මියයන බවද පැවසුවාය.

අනතුර සිදුවූ ස්ථානයේ අවශ්‍ය ප්‍රථමාධාර සහ අවශ්‍ය දේ නොලැබුණහොත් රෝගීන් රෝහලට රැගෙනඒමට පෙර මියයන බවද අනතුරක් සිදුවූ වේලාවේ සිට රෝගියා පැයක් ඇතුළත රෝහලට රැගෙන ඒමේ හැකියාවක් පවතී නම් ඔහුගේ ජීවිතය බේරාගත හැකි බවද එයිනුත් මුල් විනාඩි 10ක කාලය තුළ රැගෙන ආ හැකිනම් රෝගියාගේ ජීවිතය බේරාගැනීමට ඉතා වැඩි හැකියාවක් පවතින බවද අවධාරණය කළාය.

2021 සහ 2022 වසර වල මෙරට අනතුරු සංඛ්‍යාව කොවිඩ් හේතුවෙන් යම්තාක් දුරකට අඩුවූ බවද කියාසිටි වෛද්‍යවරිය දිනකට හදිසි අනතුරු හේතුවෙන් 32ක් පමණ මිය යන බවද, සෑම පැයකටම එක් පුද්ගලයෙකු හෝ දෙදෙනෙකු මියයන බවද කියා සිටියාය.

මාර්ග අනතුරු හේතුවෙන් මියයන පුද්ගලයින්ගේ ප්‍රතිශතය 36%ක් පමණ බවද, එනම් තුනෙන් එකක් පමණ බවද ඉදිරි තුනෙන් දෙක වෙනත් හදිසි අනතුරු හේතුවෙන් මියයන බවද සදහන්කළාය. 26%ක් පමණ තමන්ගේ ජීවිතය නැතිකරගැනීම් බවද හදිසි අනතුරු වලින් වැටීම් හේතුවන් රෝහල්ගත වන ප්‍රමාණය ඉතා ඉහල බවද කියා සිටියාය.

නිවාඩු සමයේ බොහෝ පිරිස් මුහුදේ සහ ජලාශ වල නෑමට යාමෙන් දියේ ගිලී සිදුවන මරණ ප්‍රමාණය 6%ක් පමණ වන බව කියා සිටි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය මත්පැන් මත්ද්‍රව්‍ය හෙරොයින් ගංජා ආදිය භාවිතය නිසා ගෘහස්ථ හිංසනය, පිහි ඇනුම්, වෙඩි තබාගැනීම් ආදී ප්‍රචණ්ඩත්වය නිසාද බොහෝ අනතුරු සිදුවන බව අවධාරණය කළාය.

මෙම වසරේ දෙසැම්බර් මාසයේ මුල් සතිය තුළ කොළඹ මහ රෝහලේ දත්ත අනූව 200 – 250 අතර දිනකට අනතුරු හේතුවෙන් බාහිර රෝගී අංශයට පැමිණෙන බවද මෙයින් 100 - 125ක් පමණ රෝහල්ගත වන බවද මෙම තත්ත්වය මෙම මස අවසාන සතියේ එනම් වසර අග නත්තල් සහ අවුරුදු සමග වැඩිවීමක් පැහැදිලිව දක්නට ලැබන බවද කියා සිටියාය.

මෙම තත්ත්වය සෑම විනාඩියකටම 08 දෙනෙකු වුවහොත් වසරකට මිලියන 04ක් පමණ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන බවද පැවසුවාය. වැඩිපුරම හදිසි අනතුරු සිදුවන්නේ නිවෙස් වල බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් සොයාගෙන ඇතැයිද 25%ක් පමණ මාර්ග අනතුරු බවද, ගෘහස්ථ සහ මාර්ග අනතුරු වල එකතුව 75%ක් පමණ බවද අවධාරණය කළාය.