Friday, 10 May 2024

ගර්භණී මව්වරුන්ට හා දරුවන්ට අවශ්‍ය ඖෂධ ප්‍රදානය කෙරේ

Posted On Saturday, 17 December 2022 11:36

ගර්භණී මව්වරුන්ට හා දරුවන්ට අවශ්‍ය ඖෂධ ප්‍රදානය කෙරේ

 

ජාත්‍යන්තර රොටරි සමාජය විසින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙල යටතේ රුපියල් මිලියන 60 ක් පමණ වටිනා ඖෂධ තොගයක් (15) ප්‍රදානය කරනු ලැබීය.

රොටරි සමාජයේ ජාත්‍යන්තර සභාපතිනී ජෙනිෆර් ජෝන්ස් මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එම ආධාර තොගය නිල වශයෙන් භාර දුන්නාය. UNICEF සංවිධානයේ සම්බන්ධීකරණයෙන් ජාත්‍යන්තර රොටරි සමාජය විසින් මෙලෙස ශ්‍රී ලංකාවට ලබාදුන් ආධාර අතර ගර්භණී මව්වරුන්ගේ අධිරුධිර පීඩනය සඳහා වන ඖෂධ, ප්‍රසූතියේදී අවශ්‍ය වන ඖෂධ සහ කුඩා දරුවන්ගේ චර්ම රෝග සඳහා වන ඖෂධ තොගයක් වේ.

ජාත්‍යන්තර රොටරි සමාජය විසින් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ හඳුනාගනිමින් ඒවා ලබාදීමේ වැඩපිළිවෙලේ ප්‍රථම පියවර මෙය වන අතර ඉදිරියටත් එලෙස ඖෂධ ආධාර ලබාදීමට පියවර ගැනේ.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය ‍කෙහෙලිය රඹුක්වැල්ල මහතා,

ජාත්‍යන්තර රොටරි සමාජය සහ UNICEF සංවිධානය සමඟ ශ්‍රී ලංකාව අතර ඇත්තේ දිගු කාලීන බැඳීමක් බවත් එම සහයෝගීතාවය මෙම අර්බුදකාරී තත්ත්වයෙන් අත්මිදීමට මහත් පිටිවහලක් වන බවත් පැවසීය. ආධාර අවශ්‍ය ඕනෑම මොහොතක රොටරි සමාජය රටෙහි සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් මෙරටට සහය ලබාදෙන බවද මෙරටින් පෝලියෝ රෝගය තුරන් කිරීම සඳහා ඔවුන්ගේ මැදිහත්වීම ස්තූති පූර්වකව සිහිපත් කරන බවද කීය. මේ ගත කරන කාලයට වඩා අසීරු කාලයක් මෙයට පෙර නොතිබුණු බවත් පාලනය කර ගැනීමට නොහැකි වෙමින් තිබූ තත්ත්වය මේ වන විට පාලනය කරගත හැකිවෙමින් පවතින බවත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ රොටරි සමාජයේ ජාත්‍යන්තර සභාපතිනී ජෙනිෆර් ජෝන්ස් මහත්මිය,

රොටරි සාමාජිකයින් විසින් ලබාදුන් මෙම ආධාර තොගය ඖෂධ හිඟයකට මුහුණපා සිටින ශ්‍රී ලංකාවේ ඖෂධ අවශ්‍යතාවන් හඳුනාගෙන අවශ්‍ය වේලාවට ලබා දීමට හැකිවීම පිළිබඳ සතුටු වෙනවා. ඉතාම විනිවිද භාවයකින් කටයුතු කිරීම උදෙසා UNICEF සංවිධානය හරහා මෙම ආධාර තොගය ලබා දීමට කටයුතු කර තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ UNICEF සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත Christian Skoog මහතා,

UNICEF සංවිධානය හරහා ශ්‍රී ලංකාවට අප නිතරම ආධාර ලබාදීම සිදු කරනවා. විශේෂයෙන් ආර්ථික අර්බුදය හමුවේ කුඩා දරුවන්ගේ හා ගර්භණී මව්වරුන්ගේ පෝෂණය වෙනුවෙන් සහ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් වැඩසටහන් රැසක් රටවල් රැසක ක්‍රියාත්මක වෙනවා.රොටරි සමාජය හා එක්ව මෙම ඖෂධ ආධාර තොගය ලබාදීමේ අවස්ථාවට එකතු වීමට ලැබීම ගැන සතුටු වෙනවා.

මෙම ආධාර UNICEF ආයතනය හරහා ක්‍රියාත්මක වන Life Line Sri Lanka online platform හරහා වන මුදල් බැර කිරීමක් තුළිනුයි ලබාදීම සිදු වන්නේ. එම නිසා විනිවිදභාවය ගැන දැඩි විශ්වාසයකින් කටයුතු කළ හැකියි.

මෙහිදී අදහස් දැක්වූ රොටරි සමාජයේ ශ්‍රී ලංකා හා මාලදිවයින් දිස්ත්‍රික් අධිපතිනි පුබුදු ද සොයිසා මහත්මිය,

රොටරි සමාජයේ ප්‍රථම ජාත්‍යන්තර කාන්තා සභාපතිනිය වන ජෙනිෆර් ජෝන්ස් මහත්මිය මෙරටට පැමිණීමත් ඇයගේ සහභාගිත්වයෙන් මෙම ආධාර තොගය ලබා දීමට හැකිවීමත් පිළිබඳව සතුටු වනවා. මෙම අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට තම ස්තූතිය පිරිනමනවා.

මෙම අවස්ථාව සඳහා UNICEF සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත Christian Skoog මහතා ඇතුළු එම සංවිධානයේ නිලධාරීන් පිරිසක්ද , ජාත්‍යන්තර රොටරි සමාජයේ ශ්‍රී ලංකා මාලදිවයින් දිස්ත්‍රික් අධිපතිනී පුබුදු ද සොයිසා මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත , සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් -19 සහ ඖෂධ ප්‍රදාන පිළිබඳ සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි යන මහත්වරුන්ද එක්ව සිටියහ.