Friday, 08 July 2022 10:13

රුසියන් සහයෝගය

අසුබවාදී බොහෝ දේවල් අතර සුබවාදී දේවල් ද සිදු වෙයි. එහෙත් ඒවා ඉස්මතු වන්නේ නැත. ඒවා පිළිබඳ සංවාද ආරම්භ වන්නේ ද නැත. අර්බුදයකදී නිෂේධනීය දේවල් කෙරෙහි නැඹුරුව වැඩිය. සාධනීය දේවල් කෙරෙහි නැඹුරුව අඩුය. අපේ ආර්ථික අර්බුදය තුළ මහජනයා කුලප්පු කරන ප්‍රචාර වැඩිය. මහජනයාට සැනසිල්ල දෙන ප්‍රචාර ඉතා අඩුය. ලෝකයේ රාජ්‍යයන් ගණනාවක්ම මේ වන විට බරපතළ ආර්ථික අර්බුදවලට මුහුණ දෙයි. පාකිස්තානය, ලෙබනනය, වෙනිසියුලාව නිදසුන් ලෙස දැක්විය හැකිය. ඇෆ්ගනිස්ථානය වැනි රාජ්‍යයක් එම අර්බුදයේ උපරිම තලයට පැමිණ ඇතැයි කිව හැකිය. මේ අර්බුද ජය ගැනීමේ මාර්ගය ඇත්තේ රටේ පාලකයන් හා මහජනයා තුළය. ඒ සඳහා වුවමනාවක් හා සැලසුමක් දෙපාර්ශ්වයටම තිබිය යුතුය.

 

 

මේ වන විට අපගේ ආර්ථික අර්බුදයේ සංකීර්ණ ගැටලුව බවට පත්ව ඇත්තේ ඉන්ධන හිඟයයි. රජය ඉතා අමාරුවෙන් සැලසුම් කරන ඇතැම් වැඩසටහන් අන්තිම මොහොතේ අසාර්ථක වන අවස්ථා තිබේ. එවිට මහජනයා නැවත කලහ කරන්නට පටන් ගනී. එක අතකින් තෙල් සමාගම් ශ්‍රී ලංකාව කෙරෙහි පවත්වාගෙන ගිය විශ්වාසය බිඳ වැටී ඇත. ඒ අපගේ විදේශ විනිමය පිළිබඳ ගැටලුව නිසාය. තව අතකින් රුසියා - යුක්රේන යුද්ධය මත ගොඩනැඟී ඇති තෙල් මිල ඉහළ යෑම හා තරගය අපට ඔරොත්තු නොදෙන තරම්ය. තෙල් සඳහා ශ්‍රී ලංකාව වැය කරන මුදල අතිවිශාල එකකි. එය ඩොලර්වලින් සපයා ගැනීම සඳහා බලවත් පරිශ්‍රමයක යෙදීමට රජයට සිදුවී ඇත.

තෙල් අර්බුදය සම්බන්ධයෙන් මෙතෙක් පැවැති සංවාදවලදී යෝජනා කිහිපයක් ඉදිරිපත් වී ඇත. රුසියාවෙන් තෙල් ලබා ගැනීම සඳහා නව ගිවිසුමක් ඇති කර ගැනීම, ඉරානය සමඟ යළි සාකච්ඡා ආරම්භ කිරීම, අලුත් තෙල් සමාගම් වෙත යොමු වීම ඉන් කිහිපයකි. රුසියාව සමඟ තෙල් ගනුදෙනු ආරම්භ කිරීම කාගේත් අවධානයට ලක් වූ කාරණයකි. රුසියාව තෙල් අපනයනය කරන ප්‍රධාන රටක් වන අතර යුක්රේන යුද්ධය මත යුරෝපීය තෙල් වෙළෙඳපොළ රුසියාවට අහිමි වී ඇත. ඒ අනුව රුසියාව සමඟ ගිවිසුම් ගත වීම වාසි සහගත යැයි බොහෝ දෙනා උපකල්පනය කරති. එහෙත් රුසියාව තෙල් අපනයනයේදී පරිස්සම්කාරී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙනෙයි. හිතන තරම් පහසුවෙන් රුසියන් තෙල් ලබා ගත හැකි නොවේ.

දෙරටේ රාජ්‍ය නායකයන් අතර දුරකථන සංවාදයක් ඇති වූ බවද එය බෙහෙවින් මිත්‍රශීලි හා සාර්ථක සාකච්ඡාවක් බවද වාර්තා වී ඇත. රුසියන් තානාපති කාර්යාලය නිකුත් කර ඇති නිල නිවේදනවලින් ද ඒ බව සනාථ වෙයි. මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා අපේ තෙල් ගැටලුව විසඳා ගැනීම සඳහා ආර්ථික සහයෝගයක් දෙන්නැ’යි රුසියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. පුටින් මහතා එය පිළිගෙන සාර්ථක ප්‍රතිචාරයක් දක්වා ඇති බවද සඳහන්ය. මෙයට අමතරව ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීමට රුසියානු තෙල් සමාගම් නියෝජිතයෝ කීප පොලක් ඊයේ (7 වැනිදා) අලුයම දිවයිනට පැමිණියහ. මේ හැරෙන්නට දෙරටේ වෙළෙඳ, සංචාරක හා සංස්කෘතික කටයුතු වැඩි දියුණු කිරීමට ද රාජ්‍ය නායකයන් සාකච්ඡා කර ඇත. මෙය සුබවාදී සිදුවීමක් ලෙස හුවා දැක්විය හැකිය. 

 

රුසියාව යනු ශ්‍රී ලංකාවේ පරණ මිත්‍ර‍ෙයකි. සෝවියට් සමූහාණ්ඩුව පවතින සමයේ ආරම්භ වූ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අඛණ්ඩව පවත්වා ගැනීමට රාජ්‍යයන් දෙකම උත්සුක වී ඇත. ශ්‍රී ලංකාවේ තේ අපනයනයෙන් 17%ක් 20% අතර ප්‍රමාණයක් රුසියාව මිලට ගනී. රුසියාවේ තේ වෙළෙඳපොළෙහි 30%ක තේ ශ්‍රී ලංකා තේ ලෙස හැඳින්වේ. බණ්ඩාරනායක පාලන සමය තුළ සෝවියට් දේශය ශ්‍රී ලංකාවට වඩාත් සමීප වී ඇති බවද සඳහන් කළ යුතුය. සෝවියට් දේශය ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දී ඇති ආධාර හා ණය ප්‍රමාණය ඉතා විශාලය. අපේ සංචාරක කර්මාන්තයට වත්මන් රුසියාවෙන් ලැබෙන සහයෝගය ද ඉමහත්ය. වසරකට පනස්දහසකට ආසන්න රුසියන් සංචාරකයෝ අපේ දිවයිනට පැමිණෙති. කොවිඩ් සමය තුළ පවා රුසියන් සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණි බව ගෞරවයෙන් සඳහන් කළ යුතුය.

අපේ විදේශ ප්‍රතිපත්තිය පවතින්නේ නොබැඳි ජාතීන්ගේ ප්‍රතිපත්තිවලට එකඟවය. ඒ අනුව ඕනෑම රාජ්‍යයකින්, ඕනෑම ජගත් සංවිධානයකින් ආධාර හා ණය ගැනීමේ හැකියාව අපට තිබේ. ජනාධිපතිවරයා බලයට පත් වූ පසු නිතර කියා සිටියේ අපට ඇත්තේ ස්වාධීන හා නිදහස් විදේශ ප්‍රතිපත්තියක් බවය. නොබැඳි ජාතීන්ගේ පිළිවෙත එය වෙයි. රුසියාවෙන්, අමෙරිකාවෙන්, ජපානයෙන්, චීනයෙන්, ඉන්දියාවෙන් කියා වෙනසක් නැත. ඕනෑම රාජ්‍යයකින් ආර්ථික සහයෝගය ගැනීමේ හැකියාව හා අයිතිය අපට තිබේ. එය හොඳින් කළමනාකරණය කර ගත හොත් අපට මේ අර්බුදයෙන් ගොඩයා හැකිය. ඒ අනුව ජනාධිපතිවරයා රුසියන් නායකයා සමඟ ඍජු සාකච්ඡාවක් පැවැත්වීම ඉතා වැදගත්ය.

අපේ ආර්ථික අර්බුදයේ සංකීර්ණ තත්ත්වය නිර්මාණය කර ඇත්තේ තෙල් ගැටලුවයි. පාසල් වසා දැමීමට, රාජ්‍ය සේවය අඩපණ කිරීමට හා වෙළෙඳපොළ අවුල් කිරීමට තෙල් ගැටලුව සමත් වී ඇත. ඒ සඳහා ස්ථාවර විසඳුමක් ද තවම ඉදිරිපත් වී නැත. රුසියාව මේ මොහොතේ අපට විශේෂ සහයෝගයක් දැක්වුවහොත් ගැටලුව නිරාකරණය කරගත හැකිව තිබේ. රුසියාවේ සහයෝගය පිළිබඳ සුබවාදී බලාපොරොත්තුවක් තබා ගත හැකි යැයි අපට සිතේ.

Read 116 times