Wednesday, 08 June 2022 06:17

රුසියානු ගුවන් යානා සිද්ධියෙන් පාඩමක්

 

1958 වසරේ ආරම්භවූ ශ්‍රී ලංකා - රුසියා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව එරොෆ්ලොට් ගුවන් යානා සිද්ධියත් සමඟ බරපතළ දෙදරුම්කෑමකට ලක්විය. එදා මෙදාතුර ගතවූ 64 වසරක කාලය පුරාම රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පැවතියේ ඉතාමත් සුහද රාජ්‍ය තාන්ත්‍රික බැඳීමකි. සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය කාලයේ මෙන්ම ඉන් පසුවද මෙම සබඳතාවලින් වැඩි වාසි ලැබුවේ ශ්‍රී ලංකාවයි.

දැනට මෙරට නිෂ්පාදනය කරනතේ වලින් 15% ක් පමණ මිලට ගන්නේ රුසියාවයි. මේ හැර දෙරට අතර සංචාරක හුවමාරුව මෑතක සිට රුසියා ශ්‍රී ලංකා සබඳතාවල ප්‍රබල ඉසව්වක් වී තිබේ. සතිපතා ‘එරොෆ්ලොට්’ ගුවන් යානා තුනකින් කොළඹට රුසියානු සංචාරකයෝ 1000 ක් පමණ පැමිණියහ. එසේම එළඹෙන ශීත කාලයේ එරටින් සංචාරකයන් ලක්ෂ 4ක පමණ පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබූ බව ද වාර්තා විය. එහෙත් ‘එරොෆ්ලොට්’ ගුවන් යානා අලකලංචිය නිසා මෙම සියලු‍ ව්‍යාපාර අවස්ථා ඉදිරියේ රතු එළියක් දැල්විණි.

මෙම අර්බුදයට තුඩු දුන් ගුවන් යානය සාමාන්‍ය පරිදි කටුනායකට මගීන් ප්‍රවාහනය කරන යානයකි. එය මෙහි පැමිණි 7 වැනි වාරය මෙය බැව් ද වාර්තා විය. ගුවන් යානය රක්ෂණය කළ අයර්ලන්ත රක්ෂණ සමාගමට ගෙවිය යුතු වාරික හිඟ තබා ඇතැයි කියමින් එම රක්ෂණ සමාගම කොළඹට පැමිණි රුසියානු යානයට එරෙහිව නඩු කටයුත්තක් මෙරටදී ආරම්භ කළේය. ඊට අදාළව වාණිජ මහාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ නිසා ගුවන් යානය දින 5ක් පමණ ගුවන්ගත කළ නොහැකිව කොළඹ රඳවා තැබිණි. මේ සම්බන්ධයෙන් සිදුවූ නීති කටයුතු මෙන්ම ඒවා භාරව ක්‍රියා කළ නීතිඥයාගේ සහ පිස්කල් නිලධරයාගේ අධිවේගී ක්‍රියා කලාපයද මාධ්‍ය විසින් දැඩි ලෙස ප්‍රශ්න කරනු ලැබ තිබේ.

‘එරොෆ්ලොට්’ ගුවන් යානය මෙරට රඳවා ගැනීමට නියෝග කළේ වාණිජ මහාධිකරණය නිසා ගුවන් තොටුපොළ බලධාරීන් යානය රඳවාගත් නමුත් රජය පසුව ප්‍රකාශ කළේ උසාවිය විසින් නිකුත් කරන ලද තහනම් නියෝගය ශ්‍රී ලංකා රජයට හෝ ගුවන් තොටුපොළ අධිකාරියට එරෙහි එකක් නොවන වගය. එය අදාළ ගුවන් සමාගම්වලට පමණක් බලපවත්වන්නේ යැයිද ප්‍රකාශ විය. එවිට මෙය හතරබීරි කතාවක් බවට පත්වූ අතර ආණ්ඩුව වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කළ විෂය භාර අමාත්‍යවරයා මෙන්ම අගමැතිවරයාද සඳහන් කර තිබුණේ යානය රඳවා ගැනීම ආණ්ඩුවේ ක්‍රියාවක් නොවන බවය. එය එකී සමාගම් අතර හටගත් නෛතික අර්බුදයක ප්‍රතිඵලයක් බව එම නිවේදන මගින් කියැවිණි.

එහෙත් ලොව පංච මහා බලවතුන්ගෙන් කෙනකු වන රුසියාව අපේ පිළිතුරුවලින් සෑහීමට පත්වූ බවක් නොපෙනිණි. ඔවුන් මොස්කව්හි සිටින ශ්‍රී ලංකා තානාපතිනිය එරට විදේශ අමාත්‍යංශයට කැඳවා මෙම සිද්ධිය ගැන සිය දැඩි විරෝධය මෙන්ම අප්‍රසාදය පළ කළේය. වහාම මෙම ප්‍රශ්නය විසඳන ලෙස ශ්‍රී ලංකාවට අවවාදාත්මක ස්වරයෙන් දැනුම් දී තිබිණි. ශ්‍රී ලංකාව තමන්ගේ අභිමානයට මදිපුංචිකමක් කර ඇති බව රුසියාවේ ප්‍රකාශයෙන් ගම්‍ය විය.

කෙසේ වෙතත් මෙම අර්බුදයේ දී ශ්‍රී ලංකා ආණ්ඩුව ක්‍රියා කළ ආකාරයේ කිසියම් මන්දගාමී බවක් සහ අලස බවක් පැවති බව පිළිගත යුතුය. සාමාන්‍යයෙන් අපට හිතවත් ප්‍රබල රටක් රජයට පාලනය කළ නොහැකි ක්‍රියාකාරකමක් නිසා පීඩාවට හෝ අවමානයට ලක්වන්නේ නම් දෙරට අතර සුහද බව රැකගන්නට පිළිගත් රාජ්‍ය තාන්ත්‍රික සම්මතයන් ඕනෑ තරම් ඇත. ශ්‍රී ලංකා ජනාධිපති රුසියානු ජනාධිපතිට දුරකතනයෙන් අමතා කරුණු දැක්වීම එක් ක්‍රමයකි. එසේත් නැතිනම් මෙරට විදේශ අමාත්‍යවරයා රුසියාවට ගොස් එරට බලධරයන්ට කරුණු පැහැදිලි කිරීම තවත් ක්‍රමයකි. වත්මන් රජය මේ කිසිවකට උනන්දු වූ බවක් නොපෙනිණි. ගුවන් යානයට අදාළ වාරණ නියෝගය උසාවිය ඉවත් කරන ලද දවසේ අධිකරණ අමාත්‍යවරයා රුසියානු තානාපතිට තත්ත්වය පැහැදිලි කළ බව පසුව ප්‍රකාශ විය. එය සිදුවූයේද බෙහෙවින් පමා වී ය.

එහෙත් මෙහිදී රජය අමතක නොකළ යුතු කරුණු ගණනාවක් තිබේ. පසුගිය ජිනීවා මානව හිමිකම් සමුළුවේදී බටහිර රටවල් ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනාවලින් දමාගසද්දී අපේ පිහිටට ආවේ රුසියාව සහ චීනයයි. රුසියාව මෙරටින් කරන මිලදී ගැනීම්වලට අමතරව ශ්‍රී ලාංකික දරු දැරියන් දහස් ගණනකට උසස් අධ්‍යාපන අවස්ථා ලබා දී තිබේ. එසේම පසුගිය කොවිඩ් වසංගත කාලයේ ශ්‍රී ලංකාවට ‘ස්පුට්නික්’ එන්නත සපයා දීමෙන් කරන ලද උපකාරය ද අමතක කළ නොහැක.

ශ්‍රී ලංකාව හා රුසියාව අතර ඉතාමත් හොඳ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවතියේ හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ පාලන සමයේය. එවකට පැවති සෝවියට් පාලනය මෙරටට දැවැන්ත කම්හල් ගණනාවක් තෑගි කළේය. තවත් සංවර්ධන ව්‍යාපෘති රැසකට උදව් පදව් කළේය. ජාත්‍යන්තර ප්‍රශ්නවල දී සැමවිටම ශ්‍රී ලංකාව රුසියාවටත් රුසියාව ශ්‍රී ලංකාවටත් සහාය විය. මේ නිසා දෙරට අතර ඉතා ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනැගිණි. මෑතක ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට නතුවෙමින් තිබියදී වත්මන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එරට වැසියන්ට ශ්‍රී ලංකාව සංචාරයට සුදුසු රටක් ලෙස නිර්දේශ කළේය.

එවන් යහපත් සබඳතා තිබූ අප දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙවැනි සංවේදී සිදුවීම් මගින් අඩාල නොවන තැනට කටයුතු කිරීම බලධරයන්ගේ වගකීමය. මෙරට රඳවාගෙන තිබූ ගුවන් යානය නිදහස් කළ සැණින් රුසියානු විදේශ අමාත්‍යංශය අපට ස්තූති කරමින් ප්‍රකාශයක් ද නිකුත් කර ඇති බැවින් දෙදරා ගිය සබඳතා ඉදිරි කාලයේදී හෝ යහපත් ලෙස නඩත්තු කොට මිතුරන් පසමිතුරන් කර නොගෙන ඔවුන් රැකගැනීම රජයේ බලධරයන්ගේ යුතුකම හා වගකීම බව සනිටුහන් කරමි.

Read 83 times