Friday, 16 October 2020 09:33

වෙළෙඳ විජ්ජා කපා හැරීම

 

logoරටක ආර්ථිකය හැසිරවීම අතිශය දුෂ්කර හා සංකීර්ණ ක්‍රියාවලියකි. පාරිභෝගිකයාට සහන ලැබෙන විට ගොවියා අඬන්න පටන් ගනී. ගොවියාට සහන සලසන විට පාරිභෝගිකයා අඬන්න පටන් ගනී. මේ අතර සමාගම්වල ක්‍රියාකාරිත්වය වෙනම පවතී. අතරමැදියන්ගේ ක්‍රියාකාරිත්වය ද වෙනම පවතී. මේ සියල්ලම තෘප්තිමත් කරන ආර්ථික වැඩපිළිවෙළක් කිසිවකුට නිර්මාණය කළ නොහැකිය. අවම ලෙස පාරිභෝගිකයා හා ගොවියා යම් පමණකින් හෝ තෘප්තිමත් වන ආර්ථික ක්‍රියාවලියක් සැකසිය හැකි නම් අවුලකින් තොරව ආර්ථිකය ගලා යනු ඇත. නැත හොත් ක්‍රියාත්මක වනු ඇත. නිදහස් වෙළෙඳපොළක් පවතින රාජ්‍යයක එවැන්නක් සිදු කිරීම ද ඉතා අපහසුය. එහෙත් එය කළ යුතුය.

ජීවන වියදම් කමිටුවේ රැස්වීමකදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ගොවියා හා පාරිභෝගිකයා තෘප්තිමත් වන ආර්ථික ක්‍රියාවලියක් කෙසේ හෝ ආරම්භ කළ යුතු බවය. ඒ සඳහා ආදර්ශයක් පෙන්වා දුන් ජනාධිපතිවරයා ගොවියා ගසා කන අතරමැදියන්ගේ ක්‍රියාවලිය නවතා දැමීම වැදගත් බව කියා සිටියේය. එය කළ හැක්කේ කෙසේ ද මාර්ග දෙකක් ඇත. පළමු මාර්ගය වන්නේ රජය මැදිහත් වී ගොවියාගේ අස්වැන්න මිලට ගැනීමය. දෙවන මාර්ගය වන්නේ ගොවියාට කෙළින්ම වෙළෙඳපොළ හා සම්බන්ධ විය හැකි අවස්ථාවක් ඇති කිරීමය. දෙවන මාර්ගය වඩාත් ප්‍රායෝගික බව පෙනී යයි. ඊට ගොවි ජනතාව ද එකඟ වනු ඇත.

අතරමැදියන්ගේ ගසා කෑම අපේ වෙළෙඳපොළ තුළ ජයටම සිදු වෙයි. ගොවි බිමට එන අතරමැදියා ඉතා අඩු මිලකට අස්වැන්න කොල්ල කා ගනී. ගොවියා එම මොහොතේ පහසුව තකා අතරමැදියාට හසුවන ආකාරය දැක ගත හැකිය. ඒ හැරත් දුප්පත් ගොවියාට ප්‍රවාහන පහසුකම් නැත. වෙළෙඳපොළ සම්බන්ධතා නැත. මෙහි වාසිය අතරමැදියාට ලැබෙයි. ගොවි බිමට යන අතරමැදියා වට්ටක්කා කිලෝව රුපියලකට දෙකකට මිලට ගනී. එය වෙළෙඳපොළ වෙත එන්නේ ගත් මිලට වඩා දහ ගුණයකින්වත් මිල වැඩි කිරීමෙන් පසුවය. මේ ක්‍රමය නිසා එක අතකින් ගොවියා සූරාකෑමට ලක් වෙයි. තව අතකින් පාරිභෝගිකයා සූරාකෑමට ලක් වෙයි.

මේ දිනවල කහ හිඟයක් පවතී. කහ කුඩු ග්‍රෑම් සියයක් රුපියල් හයසියයට අලෙවි කළ අවස්ථා ද වාර්තා වී තිබිණි. කහ හිඟය ඇති වූයේ කහ ආනයනය නවතා දැමීම නිසාය. රටට අවශ්‍ය තරම් කහ කුඩු සැපයිය හැකි යැයි ගොවියා කියනමුත් එය ඉටු වී නැත. කහ ඇතුළු තවත් පාරිභෝගික භාණ්ඩ රැසක් ආනයනය කිරීම නවතා ඇත්තේ දේශීය ගොවීන්ගේ ඉල්ලීම මතය. එහෙත් ඉන් පාරිභෝගිකයා අමාරුවේ වැටී ඇත. මේ නිසා කළු කඩයක් ද බිහි වී ඇත. පොල් සම්බන්ධයෙන් ඇත්තේ තවත් ගැටලුවකි. වාර්ෂික පරිභෝජනයට අවශ්‍ය පොල් ප්‍රමාණය ඇතත් එය වෙළෙඳපොළට එන්නේ නැත.

 පොල් ගැටලුව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන රජය අලුතින් හෙක්ටයාර් ගණනාවක පොල් වගා කිරීමට යයි. එය පොල් ගැටලුවට හොඳ උත්තරයකි. පොල් සංවර්ධන අධිකාරිය හා පොල් වගාකරුවන්ගේ සංගමය ඒකාබද්ධ වී වෙළෙඳපොළ වෙත පොල් ලබා දීමේ අලුත් වැඩසටහනක් ආරම්භ කර ඇත. එයත් හොඳ උත්තරයක් ලෙස සැලකිය හැකිය. පොල් මිල ඉහළ නංවා ඇත්තේ කෘත්‍රිම ලෙස යැයි සිතන්නට කරුණු තිබේ. එය තනිකරම ව්‍යාපාරික උප්පරවැට්ටියකි. මේවා සම්බන්ධයෙන් දැඩි නීති - රීති අනුගමනය කළත් ඊට මහජන විරෝධයක් එල්ල වන්නේ නැත. මේ වන විට පොල් ගැටලුව යම් පමණකට විසඳී ඇති බව පෙනෙයි. කහ පිළිබඳ ගැටලුවට ද එබඳු විසඳුමක් ක්‍රියාත්මක විය යුතුය.

කොවිඩ් අර්බුදය ද සැලැකිල්ලට ගත් රජය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හතරක ආනයන බදු කපාහැරීමට පියවර ගත්තේය. එය රටේ සමස්ත ජනතාවට ලබා දුන් සහනයකි. ඒ අනුව ටින් මාළු, පරිප්පු, ලොකු ලූනු හා සීනි අඩු මිලට ගත හැකි විය යුතුය. පාරිභෝගික ජනතාව බදු කපා හැරීම ගැන ප්‍රසාදය පළ කරන අතර, ව්‍යාපාරිකයා පසු වන්නේ වෙනත් මතයකය. රජය කියන පිළිවෙළට ව්‍යාපාර ගෙන යා නොහැකි බවට ඔවුහු තර්කයක් ඉදිරිපත් කරති. බදු කපාහරින්නේ නම් අඩු මිලට භාණ්ඩ අලෙවි කරන්නට බැරිකමක් තිබෙන්නට බැරිය. බදු මුදල අහෝසි වූ පසු ව්‍යාපාරිකයාට අඩු මුදලකට භාණ්ඩ ගැනීමට හැකි වෙයි. එහි වාසිය පාරිභෝගිකයා වෙත ද කාන්දු විය යුතුය.

නිදහස් ආර්ථිකයක් තුළ වෙළෙඳපොළ හැසිරවීම සම්බන්ධයෙන් ආණ්ඩුවකට කළ හැක්කේ සොච්චම් ක්‍රියා මාර්ගයකි. අපි ඊයේ ද මේ තීරුව ඔස්සේ ඒ කරුණ පැහැදිලි කළෙමු. එහෙත් සොච්චම් බලපෑම උපායශීලි ලෙස යොදා ගත හොත් වෙළෙඳපොළ හැසිරීම පිළිබඳ යම් බලයක් රජය වෙත ලබා ගත හැකිය. ජනාධිපතිවරයා පෙන්වා දෙන අන්දමට එම බලපෑම මඟින් ගොවියාට හා පාරිභෝගිකයාට යන දෙදෙනාටම සහන ලබා දිය හැකිය. ගොවිතැන ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජීවනෝපායකි. ඒ හැරත් රටේ මුළු ජනගහනයෙන් වැඩි පිරිස කුමන හෝ අංශයකින් කෘෂිකර්මයට දායකත්වයක් සපයති. ඒ අනුව ආර්ථිකයේ ප්‍රධාන තැනක් ගොවියාට හිමි විය යුතුය. ඉන් අර්ථවත් වන්නේ ගොවියාගේ ද අත මිට සරු විය යුතු බවය.

අපට ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් නැතිකමේ පාඩුව මෙබඳු අවස්ථාවලදී හොඳින් පෙනී යයි. ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ ආර්ථික ක්‍රියාවලියේ නිත්‍යතාවක් ඇති කිරීම වැදගත්ය. එබඳු පසුබිමකදී ආර්ථික වැඩසටහන් වරින්වර වෙනස් කිරීමට අවශ්‍ය වන්නේ නැත. මේ ආපදා අවස්ථාවේ ගොවියා හා පාරිභෝගිකයා යන දෙදෙනාටම සහන අවශ්‍ය වෙයි.

Read 512 times