Wednesday, 14 October 2020 09:11

බ‍්‍රැන්ඩික්ස් තියරිය සහ මැල්තස් තියරිය (පරිත්‍යාගශීලීන්ගේ ගබ්සා රාජ්‍යය)

 


garment146

ශ‍්‍රී ලංකාවේ වර්තමාන කොරෝනා වසංගත තත්ත්වය ගාමන්ට් ෆැක්ටරියකින් මතුවීමත් සමගම මේ රටේ ඇඟලූම් කර්මාන්තයේ වැඩි දෙනා විසින් කතා නොකරනු ලබන පැතිකඩක් ගැන සාකච්ඡා කිරීමට අපට අවස්ථාව ලැබී තිබේ. මේ පැතිකඩ වූ කලී ඇඟලූම් සේවිකාවන් සූරාකෑමට ලක්වීම පිළිබඳ කතාවය. ඒ කතාව ගැන සාකච්ඡා කිරීමට කලින් මතක් කළ යුතු අනෙක් වැදගත් කාරණාව වන්නේ මේ රටේ ඇඟලූම් සේවිකාවන්ට ගතකිරීමට සිදුවී ඇති අන්ත අසරණ ජරා ජීර්ණ ජීවිතයයි. කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ තිස්පන් දහසක ශ‍්‍රම බළකායක් වැඩ කරති. මේ තිස්පන්දහසෙන් සියයට හැත්තෑ පහක් පමණ තරුණියෝය. ඔවුන්ගෙන් වැඩිදෙනා කටුනායකට එන්නේ දුර පළාත්වලිනි. එවැනි ඇතැම් ඇඟලූම් සේවිකාවක් ඇගේ පවුලේ වැඩිමලා විය හැකි අතර ඇය කොළඹ රස්සාවකට යෑම එම පවුලේ අනාගතය විසඳන තීරණාත්මක සාධකයක් ලෙසට ගණනය කිරීම එම පවුලේ අය විසින්ම කරනු ලැබේ. මේ වූ කලී ලංකාවේ පහළ මධ්‍යම පන්තියේ සහ දුප්පත් පන්තියේ චින්තනයයි.

කොළඹින් දුර බැහැර පිටිසරබද ගමක දරුවකු රස්සාවකට කොළඹ ඒම ඉහත සඳහන් පන්තීන් දෙක විසින් මීට අවුරුදු සියයකට පෙර සලකන ලද්දේත් නිධානයක් ලැබුණාක් මෙනි; අද සලකන්නේත් නිධානයක් ලැබුණාක් මෙනි. නිධානයේ තරම දන්නේ කොළඹ එන එකාය. එය කිසි කලෙකත් ගොඩගැනීමට බැරි නිධානයකි. ගාර්මන්ට් ෆැක්ටරිවල වැඩට එන පිටිසරබද ගැමි ළමයින් මනසින් දුටු ලෝකය ෆැක්ටරි තුළ නැත. ඔවුහු රුපියල් දහහත් දහස් පන්සියයක හෝ රුපියල් විසි දහසක මූලික පඩියකට ජීවිත පටන් ගනිති. ඔවුන්ට නවතින්නට සිදුවන්නේ බෝඩිමකය. ඒ සඳහා එක් තරුණියකට අවම වශයෙන් බෝඩින් කුලිය ලෙස රුපියල් හත්දහස් පන්සියයක්වත් ගෙවීමට සිදුවේ. ඇය සිටින බෝඩින් කාමරය තුළ තවත් ගාමන්ට් සේවිකාවෝ හතක් හෝ අටක් සිටිති. බෝඩින් අයිතිකාරයා හෝ අයිතිකාරිය මෙය හඳුන්වන්නේ ”හත්දහස් පන්සියයේ කෑලි” හතක් අටක් ලෙසය. බෝඩින් ගාස්තුව ගෙවීමෙන් පසු රුපියල් දස දහසක් හෝ දොළොස් දහස් පන්සියයක් ගමේ සිටින තම පවුලේ අයට යැවීමට මේ තරුණියට පුළුවන. එවිට ඇගේ වියදමට තඹ සල්ලියක්වත් ඉතිරි වන්නේ නැත. එසේ නම් ඊළඟ මාසයේ සිට ඇය ඕ. ටී. කළ යුතුය. ඕ. ටී. වලින් ද ගොඩ ඒමක් නැති ඇය දරිද්‍රතාවයේ පතුලටම වැටෙන්නීය.

මෙසේ දුක් විඳින තරුණියන්ට මුදලෙන් උපකාර කිරීම සඳහා ඉදිරිපත් වන පරිත්‍යාගශීලී තරුණයන් බොහෝය. පුණ්‍ය කටයුතු සඳහා මුදල් පරිත්‍යාග කළ හැකි ධනවත් අය ලංකාවේ මෙපමණ සිටින බව දන්නේ නම් ලෝක බැංකුව හෝ ආසියානු සංවර්ධන බැංකුව මේ රටට ණය දීමට කවදාවත් ඉදිරිපත් නොවනු ඇත. මේ පරිත්‍යාගශීලීන් වැඩිදෙනා අත මේ අසරණ තරුණියෝ ලිංගික කෙළි බඩු බවට පත්වෙති. තමන් කරන ත්‍යාගශීලී උපකාර වෙනුවෙන් මේ නරුම නීච කාලකණ්ණි පිරිමි පෙර කී තරුණියන්ගේ කන්‍යාභාවය ලබා ගනිති. එසේ කන්‍යාභාවය ඉල්ලා සිටින අවස්ථාවේදී මේ තරුණියන් එම ඉල්ලීම බැහැර කිරීමට නොහැකි තරමට කායිකව හා මානසිකව පේ‍්‍රම උගුලේ සිරවෙලාය. ඊළඟ පියවරේදී මේ නීච පිරිමින් වෙතින් එම තරුණියන්ට දීමනා දෙකක් ලැබේ. ඉන් පළමුවැන්න වූ කලී දරු ගැබකි. දෙවැන්න බෙහෙත් නැති සමාජ රෝගයකි. පළමුවැනි ප‍්‍රශ්නය විසඳීමට ගබ්සා කඩවල සිටින හොර දොස්තරවරුන්ට පුළුවන. දෙවැනි ප‍්‍රශ්නයට උත්තරය කොළඹ මහ රෝහලේ තිස් තුනේ කාමරේය. මේ කාමරේ තුළදී වුව ඇතැම් සමාජ රෝග සුව කළ නොහැක. ඒ අතින් බලන විට කොරෝනා යනු සුළු උණකි. කටුනායක නිදහස් වෙළෙඳ කලාපය ආශ‍්‍රිත බෝඩින් කාමර වැඩි හරියක් තුළ විවිධ ගාමන්ට්වල සේවිකාවෝ ලැගුම්ගෙන සිටිති. ඒ අනුව එක් කෙනකුට කොරෝනා හැදුනොත් මුළු කාමරයටම කොරෝනා වැළඳෙයි. බ‍්‍රැන්ඩික්ස් ටේලර් සාප්පුවට හැදුණු කොරෝනා රෝගය නෙක්ස්ට් ගාමන්ට් එකටත්, හෙළ ක්ලෝදින්ග් ගාමන්ට් එකටත් පැතිර ගියේ මෙකී න්‍යායට අනුව විය යුතුය.

ශ‍්‍රී ලංකාව යනු කම්කරු නීති රීතීන් ඉහළින්ම තිබෙන රටකි. කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් පැළ කරන ලද විශාල එන්. ජී. ඕ. ගස් මේ රටේ ඇත. අවාසනාවකට මෙන් මේ එන්. ජී. ඕ. ගස් වලින් ඇඟලූම් සේවිකාවන්ට කිසිම හෙවණක් ලැබී නැති අතර එන්. ජී. ඕ. කට්ටියගේ සේවක අයිතිවාසිකම් පමණක් ඉහළින්ම සුරැකී ඇත. කවර ගාමන්ට් ෆැක්ටරිය කවර බයිලාව කිව්වත් මෙය තමයි සැබෑ තත්ත්වය. ශ‍්‍රී ලංකාවේ ගාමන්ට් ව්‍යාපාරය පටන් ගත්තේම මේ පරිහානිගත තත්ත්වය තුළ සිටය. එය අදටත් එසේමය. වෙනිවැල්ගැට සහ පැරසිටමෝල් පොවා කුණුහරුපයෙන් බැණ තරුණියන්ගෙන් වැඩ ගැනීම ගාමන්ට් ක්ෂේත‍්‍රය තුළ එදත් සිදු විය. අදත් සිදු වෙයි. ආණ්ඩුව කළ යුත්තේ මෙය හෙටත් සිදු නොවීමට වගබලා ගැනීමය. එහෙත් කිසිදු ආණ්ඩුවක් ඒ වෙනුවෙන් කිසිම මඟුලක් කර නැත. ඒ නිසා බ‍්‍රැන්ඩික්ස් තියරිය ඒ ආකාරයෙන්ම පවතින අතර මැල්තස් තියරිය කවදාවත් ගොඩයන්නේ නැත.

Read 16 times