Monday, 12 October 2020 10:36

තීරණාත්මක උසස් පෙළ

logo

 

දරුවන් විභාගයකට සූදානම් වන්නේ දීර්ඝ කාලයක සිටය. ඒ සඳහා දරුවන් හා මව්පියන් සිදු කරන කැප වීම අති මහත්ය. අප අමතක කරන්නේ වුව රජයක් ද විභාග වෙනුවෙන් අතිමහත් වියදමක් දරයි. මේ සියල්ලෙහි ඉලක්කය වන්නේ නිසි කලට විභාග පවත්වා දරුවන්ගේ ඉදිරි ගමනට අවශ්‍ය පදනම සකස් කර දීමය. එහෙත් විවිධ හේතු සාධක නිසා විභාග නිසි කල පැවැත්වීමට නොහැකි වන අවස්ථා තිබේ. ඒවා නොවැළැක්විය හැකි හේතු ලෙස දැක්විය හැකිය. කොවිඩ් 19 වසංගතය ද එවැනි නොවැළැක්විය හැකි සාධකයකි. මේ වසංගතය නිසා බොහෝ විභාග කල් ගියේය. එහෙත් දෙවන වරටත් විභාග කල් යෑම නවතා දැමීමට රජය සමත් වී ඇත. එය සතුටුදායක තත්ත්වයකි.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය අවුලකින් තොරව පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමත් විය. ඊයේ එම විභාගය පැවැත්විණි. කොවිඩ් 19 වසංගත තත්ත්වය මැද ජාතික තලයේ විභාගයක් පැවැත්වීම අතිශය දුෂ්කර කටයුත්තකි. ඒ හැරත් මිනුවන්ගොඩ ‘බ්‍රැන්ඩික්ස්’ කොවිඩ් රැල්ල නිසා අලුත් අර්බුදයක් මතු වී තිබිණි. මෙය ගම්පහ දිස්ත්‍රික්කයෙන් තවත් දිස්ත්‍රික්ක කිහිපයක් කරා කාන්දු වෙමින් පැවැති අවස්ථාවක අතිශය පරිස්සම් සහගත ලෙසින් විභාගය පැවැත්විණි. ඒ ගැන බොහෝ දෙනකුගේ සතුට පළ වී ඇත. දරුවන්ගේ අපේක්ෂාවන් හා විශ්වාසයන් දැල්වීම යහපත් කාර්යයකි. එය අනාගතය කෙරෙහි සාධනීය ලෙස බලපානු ඇත. ශිෂ්‍යත්ව විභාගය තවදුරටත් කල් ගියේ නම් එය නිත්‍ය ලෙසම ප්‍රාථමික අධ්‍යාපනයේ බලවත් අවුලකට හේතුවක් වනු ඇත.

උසස් පෙළ විභාගය අද ආරම්භ වෙයි. අගෝස්තුවේ පැවැත්වීමට නියමිත වූ විභාගය ආරම්භ වන්නේ මාසයකුත් දින ගණනාවක් ගෙවී ගිය පසුය. අගෝස්තුවේ විභාගය පැවැත්විය යුතු ද? නැති ද? යන්න ගැන දීර්ඝ සාකච්ඡාවක් පැවැත්විණි. අවසන් ලෙස රජය කල්පනා කළේ දරුවන්ගේ මතයට ඉඩ දීම වැදගත් බවය. දරුවන්ගේ ඉල්ලීම වූයේ විභාගය සති කිහිපයකින් කල් තැබීම සුදුසු බවය. ඉහළින් තීන්දු ගැනීම හා ඒවා නිත්‍ය ලෙස ක්‍රියාත්මක කිරීම මීට පෙර සිදු වුව ද රජය එහි වෙනසක් ඇති කර තිබේ. එය සැලකිය හැක්කේ පොදු ජනයාගේ හඬට හා ඉල්ලීමට ඇහුම්කන් දීමක් හැටියටය. විභාගය කල් තැබීම ශිෂ්‍ය ප්‍රජාවගේ පැත්තෙන් ගත් කල වාසියක් ලෙස සැලකිය හැකිය. එහෙත් රජය පැත්තෙන් ගත හොත් එය අමතර වියදමක් සේ සැලකිය හැකිය.

ලෝකයේ අද පවතින යථාර්ථය ගත හොත් කොවිඩ් -19 සමඟ සටන් කරමින් ජීවන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑමට සෑම රටකටම සිදු වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය එය නිතර අවධාරණය කරයි. ඔවුන්ගේ මතයට අනුව තවත් වසර දෙකක් හෝ තුනක් හෝ වසංගතය සමඟ ජීවත් වීමට අපට සිදු වනු ඇත. වසර තුනක් යනු ජීවිතයකින් සැලකිය යුතු කාලයකි. එය අත්හැර අනාගතය සැලසුම් කළ නොහැකිය. අපේ රාජ්‍ය නායකයා ශ්‍රී ලංකාව තුළ රෝගය ව්‍යාප්ත වීමටත් කලින් ඊට සූදානම් වූයේ මේ තත්ත්වය වටහා ගෙන යැයි කිව හැකිය. වසංගතයට මුහුණ දීමේ වගකීම භාර ගත යුත්තේ එකිනෙක රටවල නායකයන්ය. නායකයන්ගේ සැලසුම් හා වැඩසටහන් සාර්ථක නම්; කොවිඩ් 19 ඇති කරන හානිය අවම වෙයි.

මේ වන විට කොවිඩ් භීතිකාව යළි හිස ඔසවා ඇත. ඒ හැරෙන්නට ඉදිරි සතිය තීරණාත්මක බව ද ප්‍රකාශයට පත් වී ඇත. ජාතික වැදගත්කමකින් යුතු විභාග පැවැත්වෙන්නේ එබඳු පසුබිමකය. මේ මොහොතේ කිසිවකුට තමන්ගේ වගකීම් හා යුතුකම් පැහැර හැරීමට ඉඩක් නැත. නිදසුනක් ගත හොත් මෙබඳු අවස්ථාවක ප්‍රවාහන ක්ෂේත්‍රයේ වර්ජනයක් ඇති කළ හොත් එය ජාතික අපරාධයක් සේ සැලකිය හැකිය. ඊට එරෙහිව නෛතික පියවර ගැනීමේ හැකියාවක් ද පවතී.

උසස් පෙළ යනු ජාතික විභාග පද්ධතියේ වැදගත් හා තීරණාත්මක විභාගය වෙයි. එහි ඇති තරගකාරිත්වය වෙනත් විභාගවලට නැතැ’යි කිව හැකිය. උසස් අධ්‍යාපනය, රැකියා වෙළෙඳපොළ, වෘත්තීය අධ්‍යාපනය යන සියලු සාධකවලට බලපාන කඩඉමක් ලෙස උසස් පෙළ හැඳින්විය හැකිය. එය කෙනකුගේ ජීවිතයේ කඩඉමක් ලෙස ද පෙන්වා දිය හැකිය. රජය මෙවර විභාගය පැවැත්වීමට අවශ්‍ය සියලු විධි විධාන යොදා ඇත්තේ දුෂ්කර තත්ත්වයක් යටතේය. ඉන් පෙනී යන්නේ රජය අධ්‍යාපනය සඳහා ප්‍රමුඛ අවධානයක් යොමු කර ඇති බවය. ශිෂ්‍ය ප්‍රජාව ද මේ තත්ත්වය වටහා ගෙන විභාගයට හොඳින් මුහුණ දිය යුතුය. රටේ අනාගතය භාර ගත යුතු තරුණ ප්‍රජාව අභියෝග භාර ගැනීමට තරම් ශක්තියක් හා ධෛර්යයක් ඇති කර ගැනීම ඉතා වැදගත්ය.

උසස් පෙළට මුහුණ දෙන සියලු සිසු දරුවන්ට අපේ උණුසුම් සුබ පැතුම් මේ සමඟ තිළිණ කරන්නට කැමැත්තෙමු.

Read 446 times