Friday, 18 September 2020 03:38

මුඛවාඩම සාක්කුවේ!

අපේ ඇත්තන්ගේ හැසිරීම නිරීක්ෂණය කරන විට හැඟී යන්නේ ‘කොරෝනා’ නමින් වසංගතයක් මෙරටෙහි කිසි කලෙක නොතිබුණු බවකි. මුඛ ආවරණ නැත. දෑත් සේදීම අමතකය. මීටරයක දුර තබා ගැනීම කිසිසේත්ම සිදු නොවේ. කොවිඩ්19 වයිරසයට පැවැති බිය එහෙම පිටින්ම තුරන් වී ගොස් තිබේ. උපන් දින සාද, සංවත්සර උත්සව, මංගල උත්සව පෙර පරිදිම සිදු වෙයි. කිසිදු ආරක්ෂාවක් නැත. පරිස්සමක් නැත. ජනමාධ්‍ය ඔස්සේ විකාශය වන උපදේශන පමණක් සිදු වෙයි. ඒවා දෙස අවධානයකින් බලන කෙනෙක් ද නැත. කොරෝනා භීතිකාවක් නැති එක හොඳ දෙයක් වුව පරිස්සමක් නැති එක හොඳ දෙයක් නොවේ. සමාජ චර්යා රටාව මේ අයුරින් ම පැවැතුණ හොත් තුන් වන කොරෝනා රැල්ලක් ඇතිවන්නට ඉඩ තිබේ.

අසල්වැසි ඉන්දියාව දෙස බලන්න! කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. දිනකට හමු වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන ලක්ෂයේ සීමාවට පැමිණ තිබේ. ඉන්දියාව වසාගෙන කොරෝනා වසංගතය ව්‍යාප්ත වන බවක් පෙනෙයි. ලෝක බලවතා වූ අමෙරිකාව කොරෝනා වසංගතය සමඟ බලවත් සටනක යෙදෙයි. අමෙරිකන් ජනාධිපතිවරයා පවා පසුවන්නේ නොසන්සුන් තත්ත්වයක යැයි කීම නිවැරැදිය. ඉරානය ‘ලොක් ඩවුන්’ කිරීම ආරම්භ කර තිබේ. ලෝකයේ බලවත්ම රාජ්‍යයන් පවා වසංගතයෙන් හොඳටම හෙම්බත් වී ඇති බව දැකගත හැකිය. ලෝක තත්ත්වය දෙස බලන විට අප වාසනාවන්ත යැයි කිව හැකි’මුත් සිදුවීම් දෙක තුනකින් මේ තත්ත්වය වෙනස් විය හැකි බව වටහාගත යුතුය.

දකුණේ මිනිසුන් සතියකින් සියල්ල අමතක කරන බව කියා සිටියේ වේළුපිල්ලේ ප්‍රභාකරන්ය. ඔහු යහපත් පුද්ගලයකු නොවන්නේ වුව අදහස් ක‍ළ දේ නිවැරැදිය. ප්‍රභාකරන් අපේ මිනිසුන්ගේ දුර්වලතාවෙන් හොඳ හැටි ප්‍රයෝජන ගත්තේය. එදත් අපට අපේ ආරක්ෂාව ගැන ගැඹුරු හැඟීමක් නොතිබිණි. අදත් එය එසේමය. කොරෝනා ලෝක අර්බුදයකි. එහි අවදානම තවත් වසර දෙක තුනක් යනතුරු පහව නොයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනතුරු හැඟවීම් කර තිබේ. වයිරසය මරා දැමිය හැකි නිත්‍ය එන්නතක් හෝ ඖෂධයක් හෝ තවම සොයා ගෙන නැත. සියල්ල පවතින්නේ පර්යේෂණ මට්ටමේය.

කොවිඩ් 19 වයිරසය ලොව පුරා ව්‍යාප්ත වෙමින් පැවැති මුල් අවදියේම රට ඊට සූදානම් කිරීමට ජනාධිපතිවරයා සමත් විය. රෝග ව්‍යාප්තිය වැළකිණි. මහජනයා ඉතා හොඳ සෞඛ්‍ය පිළිවෙත් ගණනාවක් පවත්වා ගෙන යෑමට සමත් විය. ජනජීවිතය යථා පරිදි ගෙන යෑමට ද මැතිවරණ පැවැත්වීමට ද අවස්ථාව එළැඹිණි. කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාව පරාජිත වූයේ නැතැ’යි කිව හැකිය. මේ තත්ත්වය දිගටම පවත්ව­ාගෙන යා හැක්කේ සෞඛ්‍ය පිළිවෙත් නිසි ලෙස ආරක්ෂා කර ගත හොත් පමණි. කොරෝනා තෙවන රැල්ලක් ඇති වුව හොත් බරපතළ අර්බුදයකට මුහුණ දෙන්නට සිදු වනු ඇත. එය රටේ අනාගතයට ඉතා අහිතකර ලෙස බලපාන්නට පුළුවන.

 

කොරෝනා වසංගතය ශ්‍රී ලංකාවට කඩාවැදුණු මුල් අවස්ථාව තුළ අපේ ජනතාවගේ හැසිරීම ඉතා බුද්ධිමත් විය. කිසිවකු මුඛ ආවරණ නැතිව ගෙයින් එළියට ගියේ නැත. සංචාර නැවතිණි. උත්සව නැවැතිණි. වෛද්‍ය උපදේශන අකුරටම පිළිපැදීමට සියල්ලෝම එකඟ වී සිටියහ. එහෙත් මේ වන විට ඒ කිසිවක් දැකගන්නට නැත. කාර්යාල ඉදිරිපිට ඇති වතුර බේසම් හා විෂබීජ නාශක කිසිවකු පාවිච්චි කරන්නේ නැත. මුඛ ආවරණ ඇත්තේ සාක්කුවලය. නැත හොත් බෑග්වලය. දුම්රිය මැදිරි තුළ මගීන් කිටිකිටියේ හිර වී සිටිනු දකින්නට පුළුවන. බස්රථවල තත්ත්වය ද ඊට වෙනස් නැත. මේ සියල්ල නිරීක්ෂණය කරන කල අනාගතය පිළිබඳ භයානක චිත්‍රයක් ඇඳී යයි.

වසංගතයෙන් පසු අප මුහුණ දෙන බරපතළ අභියෝගය වන්නේ ආර්ථිකය යථාවත් කිරීමය. පවතින තත්ත්වය යටතේ ලෝක ආර්ථික ගනුදෙනු සීමා වී ඇත. ණය හා ආධාර වැඩසටහන් ඇනහිට ඇත. මේ අනුව ස්ව - ශක්තිය කෙරෙහි විශ්වාසය තබමින් ආර්ථිකය ගොඩනැඟීමට සිදු වී ඇත. ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ඒ සඳහා බලවත් පරිශ්‍රමයක යෙදී සිටිති. බිඳවැටුණු ව්‍යාපාර යළි සක්‍රිය කරමින් ද: ආයතන කාර්යක්ෂම තත්ත්වයට ගනිමින් ද නව ව්‍යාපෘති ආරම්භ කරමින් ද ආර්ථික යුද්ධයක නිරත වීමට රජයට සිදු වී ඇත. මේ අභියෝගය ජය ගත හැක්කේ ජනතාවගේ පාර්ශ්වයෙන් ද උපරිම සහයෝගයක් හා කැපවීමක් ලැබුණ හොත් පමණි. එම කැප වීම සිදු කිරීමට නම් පොදු ජනයා නීරෝගි විය යුතුය.

කොවිඩ් 19 සමඟ ජීවත් වන්න; ආරක්ෂාව හා පරිස්සම තබා ගන්න! විශේෂඥයන්ගේ උපදේශනය එය වී තිබේ. වසංගතයට බියෙන් ජන ජීවිතය අත්හළ යුතු නැත. ස්වකීය වගකීම් හා යුතුකම් මඟහැරිය යුතු නැත. එහෙත් ආරක්ෂාව හා පරිස්සම උපරිමයෙන් පවත්වාගත යුතුය. එසේ නොවුණ හොත් සියල්ල කඩා වැටීමට ලක් වනු ඇත. අප දැන් කළ යුත්තේ කොරෝනා තෙවන රැල්ලකට එරෙහිව ශක්තිමත්ව සටන් වැදීමය.

Read 429 times