Saturday, 18 November 2017

වදනින් දෙන බෙහෙත්

Posted On Saturday, 31 December 2016 08:04

තද නින්දකින් පසු දෙනෙත් විවර කළ ශ්‍රියන්තිගේ දසුනට හසුවූයේ සිවිලිමේ කරකැවෙන විදුලි පංකාවය.

නිතරම හැම අත දුව යන හිත නිශ්චලය. කිසිම සිතුවිල්ලක් නැති මොහොතක් ඇය රස වින්දාය. ඒ නිදිමතෙන් පිබිදෙන මොහොත පමණි. විදුලි පංකාවේ රැදුන දෙනෙත් හරවා ඇය වටපිටාව දෙස බැලුවාය.


කොහෙද මම මේ ඉන්නෙ? මේ මොන නගරයද? මොන රටද? මොන මහාද්වීපයද? වායු සමනය කරන ලද හෝටල් කාමරයට විදුලි පංකාවක් කුමකටද?

අනෙක් සෑම තරු පහේ සුපිරි හෝටල් කාමරයක ඇති අංගයන් සියල්ලම මෙහිද ඇත. ඇතුලත ස්වරූපයෙන් තමා ඉන්නේ කොහේදැයි නිශ්චය කළ නොහැක. සිවිලිමේ සිට බිම හෙළා ඇති ඔරියෙන්ටල් පලසේ ගෑවෙන සේ එල්ලා ඇති දිග ඝන ජනෙල් රෙදි වලින් පිටත නොපෙනේ. ශ්‍රියන්ති ඇදෙන් බැස ගොස් ජනෙල් තිර ඇරියාය.

හරියාකාරව කොළ හා නිල් අතර වෙනසක් කිය නොහැකි පාටින් යුත් සංසුන් මුහුදත්, සීනි සුදු වැල්ලත්, අතරින් පතර ඇති මුහුද පැත්තට බරව වැඩුනු සශ්‍රීක පොල් ගස් ඇයගේ දසුනට හසුවුනි. හෝටලයේ සදලු තලයේ කිරි සුදු ගරාදි වැට අයිනේ රතු ගඩොල් පැහැති මල් පෝච්චි වල ඇති පාට පාට බෝගන්විලා පැළ කොළ වලට වඩා මල් වලින් පිරී ඇත.

හිරු රැස් වැටෙන විලාසයෙන් තමා ඉන්නේ පෘතුවියේ කුමන ස්ථානයේ දැයි කියන්නට පුලුවන්ද? එහෙම දක්ෂතාවයක් තියෙනේ ජාත්‍යන්තර රහස් ඔත්තුකරුවන්ටත් රට රටවල සංචාරයේ යෙදී ඇති ගෘහ නිර්මාණ ශිල්පියන්ටත් පමණයි කියල කොහෙද තැනක ලියවිලා තියෙන්නක් කියෙවිවා ශ්‍රියන්තිට මතකයි.

“ට්‍ර්ලි..ට්‍ර්ලි…ට්‍ර්ලි……ට්‍ර්ලි…ට්‍ර්ලි…ට්‍ර්ලි..”

නිදි යහන අසල ඇති ඇයගේ බ්ලැක්බෙරි 8800 මුදු හඩින් නද දෙයි.

“හලෝ!”

“ඔයා මෙහෙ? නැඟිටලාද?”

“ඔවි. සුබ උදෑසනක්!”

“දැන් හමුවෙන්න පුලුවන් ද?”

“මට මිනිත්තු දහයක් දෙන්න කරුණාකර.”

අනිත් පැත්තෙන් සම්බන්ධය විසන්ධි වුනි.

තමා ඉන්නේ කොහේද? මෙහි ආවේ කුමකටද යනාදියට පිළිතුරු සපයන්නට කතාව අවසන් වන්නට පෙර ශ්‍රියන්තිගේ මතකය ඇයට උපකාරී වූවාය.

ස්ථානය දකුණු ඇමෙරිකා මහා ද්වීපයේ උතුරින්ම ඇති ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ශාන්ත ජෝන්ස් දූපතයි. කැනීල් බොක්කේ මෙම සුපිරි වෙස්ටින් රිසෝටි හෝටලය පිහිටා ඇත. සඳලුතලයෙන් එහා ඇය දුටුවේ දළුකොළ පැහැයට ළංවන නිල් පාටින් වූ කැරීබියන් මුහුදයි.

“ජෙටි එක වෙලාවට ආවද?”

රන්වන් දේහයෙන් යුතු සුන්දරිය මුහුණ වැසෙන සේ අගනා අවි කණ්ණාඩි යුගලක් පැළද සිටියි. එය හර්මේස් නිම කළ ජැකී ඔනාසීස් අවි කණ්ණාඩියයි. හිම ක්‍රීඩා සදහා මෙය විලාසිතා ලෝකයට ඉදිරිපත් කෙරුනේ පසුගිය සීත සමයේය. එදා යූරෝ 650 ක් පමණැති වූ මෙය අද මෙවැනි සමාජ පසුතලයක ඉන්නා කාන්තාවක් ඉක්ම ගිය විලාසිතාවක් යයි කියා පළදින්නේවත් නැත. එයින්ම තමා ඉදිරියේ ඉන්නා කාන්තාවගේ බිද වැටී ඇති මානසිකත්වය හැදින ගන්නට ශ්‍රියන්තිට තත්පරයක්වත් ගියේ නැත.

අවි කණ්ණාඩියෙන් සඟවනු බැරි මුහුණේ ඉතිරිය රූමතිය විසල් පන් තොප්පියකින් වසාගෙන. ඇය හා ශ්‍රියන්ති තෙපලන්නේ ඉංග්‍රීසි බසයි.

“දැන් ආරක්ෂක නීති වැඩි නිසා ගුවන් තොටුපලේ පුද්ගලික ජෙට් යානා කියපු වෙලාවටම අහසට නග්ගන්න ඕන.”

සුරූපියට එය ඇසුනාදැයි සැක සහිතය. ඇයගේ නෙත් කොළ නිල් පැහැති මුහුදේ තැනින් තැන බි‍ෙඳන සුදු පෙණ රැළි දෙසට ආකර්ශනය වී ඇත්තා සේය. දෙදෙනාම නිසංසල පරිසරයේ රස වින්දහ.

“අහන්නේ නැද්ද ඇයි එන්න කිව්වෙ කියල.”

“මම දැක්ක නිව් යෝර්ක් ටයිම්ස් පත්තරේ.”

ඇමෙරිකාවේ ඊසාන දිග මුහුදු තීරයේ ඇති නිවි යෝර්ක් නුවර මුද්‍රණය කෙරෙන ජනප්‍රිය පුවත්පත රෑ එළිවන්නට පෙරතුව නිරිත දිග මුහුදු තීරයේ හොලිවුඩි නගරය දක්වාම ගෙන යන්නට ඔවුන් දක්ෂය. තමා ඉදිරියේ අසුන් ගත් තැනැත්තියගේ නවතම පෙම්වතාගේ අතින් එල්ලී ගත් දහහතක්වත් නොපිරි යෞවනියකගේ ඡායාරූපයක් අද දින පත්‍රයේ පිටුවකින් අරික්කාලක්ම පිරී යන සේ පළව ඇත.

“ඇය මට මෙහෙම වුනේ?”

බිඳුනු හඩින් නිළිය අසයි.

“ඇයි ඔයාට ඔස්කා සම්මානය ලැබුනේ?” ශ්‍රියන්ති ඇසුවාය.

“මොකක්ද?….මොකක්ද ඔයා කිව්වෙ?”

කණට ඇහුණ ද තමා බලාපොරොත්තු නොවූවක් ඇසෙන අයෙකු ඊට සවන් දෙන්නට සූදානම් නැත. තිගැස්සුන ඇය මුහුදින් නෙත් මෑත් කර ශ්‍රියන්ති දෙස බැලුවාය. අවි කණ්ණාඩි තුලින් ඇයගේ ඇස් නොපෙනේ. අනුමානයෙන් ඇයගේ ඇස් ඇති ස්ථානය නිශ්චය කරගත් ශ්‍රියන්ති එක එල්ලේ ඒ දිහා බලාගෙන සිටියාය.

“ඔයා තමයි ලෝකෙ ඉන්න හොදම මනෝචිකිත්සකවරිය කියන්නෙ පුදුමයක් නොවේ.”

මුලින්ම පෙනුනේ දෙතොලේ මුදුන් වූ සිනහවයි. හොදම නිළිය සම්මානයෙන් පිදුම් ලත් තැනැත්තිය අවි කණ්ණාඩි කුට්ටම ගැලෙව්වාය. අතට ගැල වූ අවි කණ්ණාඩිය දිහා ඇය බැලුවේ කුතුහ‍ලයෙන්. ඒත් නළල රැලි නොකර. හරියට ඒක වෙන කෙනෙක් එයාගෙ දෙනෙතේ රඳවලා තිබුණ වගේ. සුපිරි සුන්දරියන් මුහුණේ රැළි ගැන නිතරම කල්පනාවෙන් සිටිති. මනා පුහුණුව ඇති ඔවුන් වෙන දේවල් සියල්ල අමතක වුවත් මුහුණේ රැලි ඇතිවන ඉරියවි ඉබේටවත් නොකරති. පන් තොප්පිය ද ඉවත් කර ඈ දෑතින් රන්වන් කෙස් කළඹ සකස් කරගත්තාය. ඇයගේ මුහුණ දැකුම්කලුය. ඇමෙරිකානු ඩොලර් මිලියන වලින් ඇය ආදායම උපයන්නේ ඒ ලස්සන මුහුණ නිසාවෙනි.

“හරියට හරි. අපිට තිබුන යමක් නැති වුනාම අපි අහනවා ඇයි මට මෙහෙම වුනේ කියල. ඒත් අපිට සුවිශේෂ දෙයක් ලැබුනම අපි අහන්නේ නෑ ඇයි මට මෙහෙම වුනේ කියල.” රූමත් නිළිය කියන්නේ ආයුබෝවන් කියන්නට මෙන් එකතු කරගත් ඇඟිලි තුඩු උඩ නිකට රඳවමිනි.

“ඇමෙරිකන් ටෙනිස් ශූර ආතර් ඈශ් එහෙම කිව්වෙ.” ශ්‍රියන්ති පිළිතුරු වශයෙන් කිව්වාය.

මෙතෙක් මුහුණ අදුරු කළ කළු වලාකුලු ඇයගේ පියකරු මුහුණින් පහව ගොස් හමාරය. ඉතා ඉක්මණින් චිත්ත ආවේගයන් වෙනස් කර ගන්නට ඇති හැකියාවත් රංගනයේ දක්ෂතාවයක්දැයි ශ්‍රියන්තිට සිතිණ.

“ඔයා හරි බුද්ධිමත් තැනැත්තියක්.” නිළිය කියයි.

“ඔයා ශක්තිමත් කාන්තාවක්. ඔයාට ලස්සනත් එක්ක ලැබිල තියෙන ඒ පෞරුෂයත් අමතක කරන්න එපා.” ශ්‍රියන්ති හිනාවෙමින් පැවසුවාය.

“මම සතියකට ඉන්න බොන්ගො බොන්ගො බංගලාව ගත්තෙ. කදුළු බිබී හිතේ පෑරුණු තුවාල ලෙවකන්න.”

“නිවාඩුවක් ගන්න එහෙනම්.”

“නිවි යෝර්ක් වල සමාජසේවා කටයුත්තක සාදයක් අද රෑට තියෙන්නෙ. මම දැන් යනවා. මට ආයෙත් ‍ලෝකෙට මුහුණ දෙන්න පුලුවන් ඔයා නිසා. මගේ පෞරුෂයට ශක්තිය දෙන්නෙ ඔයා.”

හොලිවුඩ් නළුවෙක් හා සමාන කඩවසම් දේහයකින් යුතු තරුණ වේටර්වරයා පැමිණ දෙදෙනා ඉදිරියේ උදෑසන ආහාරය පිළිගැන්වීය.

“මාත් එක්ක ආපහු යනවා ද? නැත්නම් මම ගිහින් ජෙට් එක ආපහු එවන්න ද? බොන්ගො බොන්ගො විලා එකේ කැමති දවසක් මා ගානේ ඉන්න.”

ඇය තැඹිලි පැහැති දොඩම් යුෂ වීදුරුවෙන් බිව්වේ එක උගුරකි. පළතුරු බඳුනෙන් කටට ගත්තේ ඉදුණු හතරැස් දාදු කැටයක් ලෙසට කපන ලද පුංචි අඹ කෑල්ලක් පමණි. පළතුරු, ජෑම්, සිරප්, පෑන් කෙ‍්ක්, බේකන්, සොසෙජස් සමඟින් මේසය අංග සම්පූර්ණ උදේ ආහාර වේලක සිරිය ගති. ශ්‍රියන්ති බිත්තර ඔම්ලට් සහ රොස් කරන ලද පාන් පෙති බෙදා ගනිද්දී නිළිය අනිකුත් කෑම කිසිවක් නොදුටුවා සේ සිටියාය. ශ්‍රියන්ති ආහාර ගෙන හමාර කරන තෙක් නිළිය හේසල් නැමති ඇට වර්ගයෙන් පෙරාගත් සිරප් එකතු කළ සීනි නොමැති ගුවාතමාලා රටෙන් ආ කෝපි කෝප්ප ගණනාවක් පානය කළාය.

මුතුවන් දත් පෙන්නා ඇය දක්වන සිනහව නවීන දන්ත වෛද්‍ය කේෂ්ත්‍රයේ තවත් හපන්කමකි. අනෙකුත් කෑම බීම සියල්ලටම වඩා කෝපි හා සිගරැට්ටුවෙන් ජීවත්වෙන ඇයගේ දත්වල කිසිදු කහට පැල්ලමක් නැත.

“මාත් එන්නමි යන්න.”

“ඕන එකක්.”

තමා ගෙන්වා ගත් සුප්‍රසිද්ධ නිළියගේ අවශ්‍යතාවය සම්පූර්ණය. තමා සපයන්නේ වෛද්‍ය සේවයකි. ඊ‍ට ලැබෙන්නේ වේතනයකි. ලෙන්ගතුකම එහි කොටස්කාරයෙක් නොවන්නෙහිය. ලබා දෙන සේවය සදහා තමා යවන කුවින්තාසිය ගණන් නොබලාම ගෙවා දමන මෙම නිළිය නැවත නිව්‍ යෝර්ක් නගරයට ගිය පසු තමාට ජෙට් යානය එවන්න අමතක වන ඉඩකඩ ඉතා වැඩිය.

ශ්‍රියන්ති ලෝකයේ හොඳ ඉල්ලුමක් ඇති මනෝචිකිත්සකවරියකි. ලංකාවේ විශ්ව විද්‍යාලයෙන් මනෝවිද්‍යා විශේෂවේදී උපාධියක් හදාරා වැඩිදුර අධ්‍යාපනය සදහා ඇය ඇමෙරිකාවට පැමිණියාය. එහිදී පී.එච්.ඩී. උපාධිය අවසන් කරනවාත් සමඟ ඇයට අහම්බෙන් මුණ ගැසුණු සුප්‍රකට හොලිවුඩ් නිළියකගේ දුකින් තැවී සියදිවිනසා ගන්නට ගිය ජීවිතය බේරා ගැනීමට හැකිවුනි. ඉන් ලද නිහඬ ප්‍රසිද්ධියෙන් එක දිනෙකින් ශ්‍රියන්තිගේ ජීවිතය සදහටම වෙනස් වුනි.

නිළියන් හැරුණු කළ ඉහළ පෙලේ ධන කුවේරයන්ගේ භාර්යාවන් සේම කලබලකාරී දිවි ගෙවන විධායක තනතුරු උසුලන කාන්තාවන් ද ශ්‍රියන්තිගේ මනෝචිකිත්සක සේවය නිතර සොයති. ඔවුන්ට අවශ්‍ය වෙනත් කිසිවකුට කියාගත නොහැකි දේ ගැන ඇය හා කතාබහෙන් මනස සංසුන් කර ගැනීමටයි. චංචලකාරී සිත් වලට බෙහෙත් සීට්ටු ලියන්න ඉක්මන් නොවන ඇය කතාබහෙන්ම සිත් සුව කරන්න දන්නීය. ඇමෙරිකානුවන් අතර සමීප සබඳතා පවත්වන යහලු යෙහෙළියෝ ඉතා ස්වල්ප බව ශ්‍රියන්ති රටට පා තබනවාත් සමඟින් අවබෝධ කර ගත්තකි.

ඇයගේ බිලැක්බෙරි 8800 ට එස්.එම්.එස්. පණිවුඩයක් ලැබුණි.

“මට ඔයාව වහාම අවශ්‍යයයි.”

“කොහෙදීද?”

“මම ඉන්නෙ සෙන්ට් ජෝන්.”

“මාත් මෙහෙ.”

“කුරුඳු බොක්ක. දහවල් දෙකට.”

ශ්‍රියන්ති එහි සඳහන් වෙලාව දෙස බැලුවාය. පැයක් ඇතුලත ශාන්ත ‍ජෝන් දූපතෙන් පිටවන බත්තලකට නැඟ්ගෙ නැත්නම් ශාන්ත තෝමස් දූපතේ ෂාලට් අමාලි ගුවන් තොටුපලේ නවතා ඇති නිව්‍ යෝර්ක් යන නිළියගේ පුද්ගලික ජෙට් යානය මඟ හැරෙනු ඇත. තමාගේ සේවය සදහා ඇති හදිසි ඉල්ලීමකට බැහැ නොකියන ශ්‍රියන්ති නිව් යෝර්ක් ගමන අවලංගු කරන බවට නිළියගේ ජෙට් යානයේ ගුවන් නියමුවාට දැන්වූවාය. ආපහු යන හැටි ගැන පස්සෙ කල්පනා කරන්න ඉටාගත් ඇය හෝටල් මිදුලට ගියේ කුරුඳු බොක්කට යනු පිණිස ටැක්සියක් සොයාය.

වාහන දෙකකට පමණක් එකවර යා හැකි පටු පාරවල් පිරි ශාන්ත ජෝන් දූපතේ ටැක්සි රථ නිමැව ඇත්තේ පිකප් කැබ් රථයකට යා කරන ලද බංකු ගැසූ ආසන සහ රවුම් වහලකින් මුදුන පමණක් ආවරණය වූ පිටුපස කොටසක් සමඟිනි. දේදුන්නේ පාට වලින් හා රමණීය තීන්ත රටාවෙන් වර්ණවත් වන මෙම ටැක්සි රථ දූපත වටා නිතර එහා මෙහා යති. වෙස්ටින් හෝටලයේ සිට කුරුඳු බොක්කට යන වියදම වූ ඩොලර් අට අතේ රඳවා ගත් ඇය පාරට පියමන් මැන්නාය.

නොවැම්බර් සිට මැයි දක්වා මෙහි සංචාරකයෝ පිරී පවතී. සුපිරි සුඛෝපභෝගී මහා මන්දිර වැනි නෞකාවන්ගෙන් පැමිණෙන ඔවුන් ඇමෙරිකානු මෙන්ම බ්‍ර්තාන්‍ය දූපත්වල ද සැරි සරිති. ශාන්ත ජෝන් දූපතේ ගුවන් පථයක් නැත. ඊට පැමිණිය හැක්කේ මඟීන් හා වාහන ප්‍රවාහනය කරන බත්තලකින්, තමාගේම පුද්ගලික බෝට්ටුවකින් හෝ මුහුදු ගුවන් යානයකින් පමණි.

ශ්‍රියන්තිට පරිහරණය කරන්න කියූ බො‍න්ගො බොන්ගො විලා නැමති බංගලාව නිදන කාමර දෙකක් පමණක් ඇති පුද්ගලික සංචාරක මැදුරකි. එහි ශාන්ත ජෝන් දූපතේ ඇති ලොකුම පිහිනුම් තටාකය ද වෙයි. කෲස් බොක්ක ආසන්නව පිහිටි එය ඇත්තේ ධනපතියන් වසනා උතුරු චොක්ලට් බිලය නැමති ‍පෙදෙසේය. ශ්‍රියන්ති නවාතැන් ගත් වෙස්ටින් සංචාරක හෝටලය ද මෙම කාලයේ දී මාස හයකට හතකට කළින් වෙන් කරගත යුත්තකි. සුප්‍රකට නිළියකට නමි එහි කාමරයක් ගැනීම ලෙහෙසි යයි ශ්‍රියන්ති දනී.

කුරුඳු බොක්ක ආශ්‍රිතව සංචාරකයන් සඳහා වූ කෑම්ප් ග්‍රවුන්ඩ් එකකි. තමන්ගේම කූඩාරමක් ගෙනැවිත් එහි වැල්ලේ නිදියන්නටත් මුදල් අය කෙරෙයි. කුඩා ටකරම් මඩු වැනි වැසිකිළි නොමැති නිදන කාමරයක් වුවද රාත්‍රියකට ඇමෙරිකානු ඩොලර් දෙසියයකට වඩා අධික මුදලකින් යුතුය. පුරුෂයන්ට හා කාන්තාවන්ට වෙන් කරන ලද පොදු වැසිකිළි හා ස්නාන ස්ථාන මෙම සංචාරක‍යන්ගේ පාවිච්චිය සදහා කූඩාරම් භූමියේ තැනින් තැන ඉදිකර ඇත. කෙසේ වෙතත් දූපතට හිමි ඉතාමත්ම දර්ශනීය මුහුදු වෙරළ ඇත්තේ එහි බව සංචාරකයෝ මෙන්ම දූපත් වැසියෝ ද අවිවාදයෙන් පිළිගනිති.

පිකප් කැබ් රථයේ සංචාරක හෝටල් වල වැඩට යන කළු හම ඇති තරබාරු සිරුරු හිමි වර්ජීනියානු දූපත් වැසියන් අමුතු ඉංග්‍රීසියකින් කතා බහේ. සුදු හම ඇත්තේ දූපතේ වාසය නොකරන සංචාරකයන්ටය. මුහුදු සුළ‍ෙඟන් කොණ්ඩය හැම අතම පියාඹද්දී වටපිටාවේ ඇති ගස්ලබු ගස්, කෙසෙල්, අන්නාසි පඳුරු හා පොල් ගස් අතරින් වැලි ආතා ගසක් ද ශ්‍රියන්ති දැක්කාය. සරුව‍ට වැඩුණු රුක් අත්තන ගස්, විවිධ කැනාස් වර්ග, මලින් පිරි අරලිය ගස්, අත් දෙකම එකතු කෙරුවත් වසනු නොහැකි දැවැන්ත වදමල් ද වටපිටාව සුන්දර කරයි. ශ්‍රියන්ති මුහුදු වෙරළ වෙත පා තැබුවේ සිතේ කුතුහලයකින් නොවෙයි. හදිසියේම තමා කැඳවන මෙවැනි අය කරන කියන කිසිවකින් පුදුම නොවන්නට ඉතා සුලු කාලයකින් ශ්‍රියන්ති පුරුදුව සිටින්නීය.

පෙනෙන මානයක ඇත්තේ පා කර හරින ලද මුතු ඇට සේ අව්වට දිළිසෙන මුහුදේ වෙරළ‍ට ආසන්නව නැංගුරම් ලා ඇති සුඛෝපභෝගී රුවල් බෝට්ටුවකි. බෝට්ටුවේ හිස වෙරළට යොමු කර නැංගුරම් දමා ඇති නිසා එහි නම කියවත නොහැකිය. බෝට්ටුවේ පුමාණයෙන්ම එහි කාමර හතරක් පහක්, නාන කාමර දෙක තුනක්, සාලයක් හා නවීන පන්නයේ මුළුතැන්ගෙයක් යනාදිය ඇතිබව ශ්‍රියන්ති දන්නීය.

සුදු සීනි ඇතිරූ ලෙසින් ඇති වෙරළේ කිසිවකු නැත. වෙරළින් ඔබ්බෙහි පන් පඳුරු හා පොල් ගස් අසලින් ඇති සෙවනේ නිදා ඉන්නා වල් බූරුවන් රැළකි. ලේනුන් මෙන් හැම අත දිවයන මුගටියෝ ශ්‍රියන්තිව ගණන් නොගත්හ. උක් වගාව දියුණු කිරීම සදහා යටත් විජිත පාලකයෝ මේ දූපතට මුගටියෝ හඳුන්වා දුන්නේ සර්පයින් සහමුලින්ම වඳ කරන්නටය. අද මෙහි සර්පයෝ කිසිවෙක් නැත.

පොල් ගසකින් හිටි අඩියේ වැටෙන පොල් ගෙඩියක සද්දයකින් ටකරම් මඩු සංචාරක කාමරයකින් දිව එන ඉන්දියානු කාන්තාවක් පොල් ගෙඩිය අසුලා ගෙන ආපසු කාමරයට රිංගා ගනියි. ඒ හැම වතාවකම දොර අඩවන් කරන්නට පෙර ශ්‍රියන්ති දිහා කුතුහලයෙන් බැල්මක් හෙලන්නට ද ඉන්දියානු කාන්තාව අමතක නොකළාය. බටහිර වාසීන් තුල නැති අනුන් ගැන ඇති කුතුහලය ආසියානුවන්ගේ ජානුගත සිරිතක්දැයි ශ්‍රියන්තිට සිතිණ.

“ශ්‍රී..”

කෑලි දෙකේ නාන ඇඳුමකින් නමට පමණක් විලිවසා ගත් සුද්දී වෙරළේ පය වැදෙද්දී පිහිනීම නතර කළාය. තෙත බේරෙන රන්වන් දේහයේ තැනින් තැන වතුර බිංදු හිරු රැස් වලිනි දිළිසෙයි. රූමතිය ආරාබිකරයේ තෙල් ධන කුවේරයෙකුගේ ඇමෙරිකන් බිරින්දෑය. ඔවුන් අවුරුද්දෙන් භාගයක් වාසය කරන්නේ ප්‍රංශ්‍රයේය. ඉතිරිය ඉරානයේ ගත කරති. ඉරානයේ වසනා කාලය ඇමෙරිකන් බිරිඳ ගත කරන්නේ ඉතා අපහසුවෙනි. තමනට රිසි සේ ඇද පැලැඳ ගෙන තනිවම ගමන් බිමන් සදහා ඇති තහංචිය ඇය සිත කාන්සියෙන් පුරවයි.

“මම අබ්දුල්ලාට කිව්වෙ නැහැ. ඒත් දැන් මට ඉරානය එපා වෙලා. මාස හයක් කොහොම ඉන්නද? ගෝනියක් මිස හරියට ඇඳුමක් ඇඳන් යන්න තැනක් නැහැ. හැමදාම එකම අය මුණ ගැහෙන්නෙ.”

අසල වූ කපා දමා බිම හෙළන ලද පොල් බඳක ශ්‍රියන්ති වාඩිගත්තාය. රත්ව ඇති මුහු‍දු වෙරළේ උඩු බැලි අතට වැතිරුණ ධනවතිය ඇස් පියාගෙන අව්ව තපින්නීය. හිරු රැස් වලින් හමට වන හානිය ඇය නොදන්නවාද? සමකය ආශ්‍රිත දූපත්වල ජනතාව අව්වෙන් ආරක්ෂා වන්නට කුඩ ඉහළා ගෙන යති. ඒ ඔවුන්ගේ කළු හම හිරු රැස් වලට ඔරොත්තු දෙද්දීය. සැනෙකින් පිළිස්සෙන කිරිගරුඬ පැහැති සුදු හම ඇති අය මහදවාලේ අව්ව තපින්නේ පාට වෙනස් කර ගන්නටය.

ඇයට ඇති තරම් හිතේ දුක කියන්නට ඉඩ දී ශ්‍රියන්ති නිහඬය. වෙනස් කරන්නට නොහැකි පරිසරයක දී චෛතසිකයට මෙන්ම ශරිරයට ද දෙන බෙහෙත් ප්‍රතිඵල රහිතය. ‍හිතේ කකියන වේදනාව ද නොතේරෙන අයට කියා ඵලක් නැත. තද කරගත් ආවේග ඇයගෙන් වචන ලෙසින් පිටවෙන්නේ වෙරළේ හැපෙනා රළ පහරවල් හා හරි හරියටය.

“මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගන්න.”

“ඉගෙන ගන්න.” ඇය අහන්නේ හඳට යන්න යයි කවුරු හරි ඇයට කීවා සේය.

“කෑම උයන්න. වූල් ගොතන්න වගේ. උපාධියකට නෙමේ.”

“ඉගෙන ගන්න හිත දෙන්නෙ නැහැ.”

“ක්‍රීඩාවක්?” ශ්‍රියන්ති අසයි. ඒකාකරී ජීවිතයකින් ගැලවෙනු හැකි වන්නේ මෙතෙක් නොකළ දෙයක් කිරීමෙනි. ඇය ඒ පිළිබදව විස්තර කළාය. සමාජ සේවයක නිරත වීම හෝ වෙන අයෙක් වෙනුවෙන් කිසියම් වගකීමක් දැරීමෙන් තමාගේ පාලුව මකා ගතහැකි බව ශ්‍රියන්ති පහදා දුනි. විවාහයෙන් පසු මෙතෙක් කලක් දරුවකු ගැන හිතා නැද්දැයි ශ්‍රියන්ති ඇසුවාය.

“දරුවෙක්?” එම වචනය ඇයගේ කටෙන් පිටවුනේ මෙතෙක් සොයා නොගත් ග්‍රහ ලෝකයක් ගැන කෙනෙකු සඳහනක් කළා ලෙසිනි. ඇය වැලි ගසා දමා නැගිට්ටේ නව පණ ලද්දියක් ලෙසය.

“එතකොට මට වැඩ ගොඩක් තියෙයි. නැනී කෙනෙක් සොයා ගන්න. ව්‍යායාම් කරන්න පුද්ගලික පුහුණුකරුවෙක් සොයා ගන්න. මට පැරිස් යන්න පුළුවන් බබාගේ කාමරයට බඩු ගන්න.”

“සෑහෙන වගකීමක්.” ශ්‍රියන්ති මතක් කළාය.

“ඔව්. ඔව්.” ඇය හිස වනා එකඟ වන්නීය.

“මගදී අත අරින්න බැරි වැඩක්.”

“මටත් ඕනෑ එහෙම එකක් තමයි.”

“ඔය දෙන්නම ගන්න තීරණයක්.” ශ්‍රියන්ති කියයි.

“මමයි අබ්දුල්ලයි අද රෑට ඇසොලෙයාර් එකෙ කන්න යන්නයි හිටියෙ. අපේ මේසේ ඔයාට දෙන්න කියල මම දන්වන්නම්. ඔයාට කැමති දෙයක් කන්න බොන්න. කැමති කෙනෙක් එක්කන් යන්න. මගේ බිල එවන්න ඉරානයේ මාලිගාව‍ට.”

ශ්‍රියන්තිගෙ දෙකොපුල් අසලින් ඇති වායුව චුම්භනය කළ ඇය දිව ගොස් වතුරට පැන වෙරළට නුදුරෙන් නැංගුරම් ලා ඇති රුවල් බෝට්ටුවට පීනා ගියාය.

ශාන්ත ජෝන් දූපතේ නෝර්ත්සයිඩ් පාරේ පිහිටා ඇති ඇසොලෙයාර් අවන්හලේ ආහාර අනුභවයට මාස හයකටවත් කලින් මේසයක් වෙන් කරගත යුතුය. අබ්දුල්ලා මහත්මියගේ ආසනය ලැබූ ශ්‍රියන්ති එහි ගියේ තනිවමය. ග්‍රීන් කරී පොල්කිරි හොද්දකින් රස ගැන්වුනු ඉස්සන් සුප් එක රස වින්දේ ඈත එපිට කෲස් බොක්කේ ගිලෙන හැන්දෑ අහස දිහා බලාගෙනය. තැඹිලි පාට, රෝස පාට හා ලා දම් පාට වතුර සායම් ගෑවාක් මෙන් අහසේ පාට වෙනස් වෙද්දී කෲස් බොක්කේ නැංගුරම් ලා ඇති අනේක මාදිලියන්ගේ නැව්, බෝට්ටු, රුවල් නැවි එකින් එකාට විහිළු කරගන්නා කුඩා දරුවන් මෙන් මුහුදු රැල්ලේ ඉහළ පහළ යති. අවුළුපස පිණිස ගෙන ආ සිලින්ඩාකාර චොකලට් මූස් මත රතුම රතු ‍ස්ට්‍රෝබෙර් ගෙඩියකි. පිඟාන මැද්දේ රැඳවූ පිට්ටු බම්බුවකින් එළියට ආවක් මෙන් හිටගැන් වූ එය වටා රතු පැහැති ගූස්බෙරි පැණි සෝස් එකකින් ර‍ටා ඇඳ ඇත. එහි තනියට මින්ට් කොළයක් හා සීනි කැටයමක් ද එක්වුණි.

ලංකාවේ ෆෝට්‍රස් සංචාරක හෝටලයේ අවුළුපසයක් ලොව මිල අධිකම අවුළුපස ලෙසින් කලකට පෙර දී ලෝකයේ සුපතල වූ ආකාරය ශ්‍රියන්තිගේ මතකයට නැඟුණි. රත්තරන් පැහැති සීනි කොළයකින් වටවුනු එය ඉතාලි කසාටා රසයෙන් වූවකි. පළතුරු වලින් මුදුන සැරසුන අතර අයිරිශ් ක්‍රීම් චොක්ලට් සහ රිටක හිටගෙන මාලු බාන්නකුගේ චොකලට් ප්‍රතිමාවක් ද ඊට එකතු වුනි. අවුළුපසට අය කල මුදල රුපියල් එක්ලක්ෂ හයසියදාහකට අධික වුණි. ඒ එම අවුළුපස ලස්සන කරන්නට ඒ සමඟින් තැබි කැරට් අසූවේ සුදු නිල් මැණික නිසාය. සංචාරක ලෝකයේ තරඟ වදින ලංකාවත් ලෝකේ කාටත් දෙවැනි වෙන්නෙ නැහැ යයි ශ්‍රියන්ති සිතුවාය.

ඇසොලෙයාර් අවන්හලෙන් පිකප් කැබ් ටැක්සියකට නැඟ්ග ඇය දූපතෙන් පිටවනු සඳහා කෲස් බොක්කෙන් හෙට උදෙන්ම යන බත්තල් ගැන මුගටි හන්දියට ගිහින් විපරම් කළාය. දූපත් වාසීන් පුංචි වරාය අසල තැනින් තැන එක්ව කැරීබියන් සිංදු කියති. ඒවා ලංකාවේ දී ඇහෙන බයිලා වැනි යයි ශ්‍රියන්තිට සිතිණ. ලද දෙයින් සැනසෙන දූපත් ජනතාව ලෝකේ හැම තැනම එක වගේද? ලස්සන පරිසරයකටත්, සශ්‍රීක භූමියකටත් හිමිකම් කියන ඔවුන් තුල ඇත්තේ ඉතා සතුටෙන් පිරි මානසික තත්වයකි. කන්න බොන්න අඳින්න හා ඔළුවට වහලයක් තිබේ නමි ඔවුන් ඉතිරි කාලය සතුටෙන් ඉන්න යොදා ගනිති.

ෂාලට් අමාලි ගුවන් තොටුපළෙන් යන්න පුළුවන් මාටිනීක් ජාත්‍යන්තර ගුවන් තොටුපළට. මාටිනීක් දූපතෙන් කෙළින්ම ප්‍රංශයේ චාල්ස් ඩි’ගෝල් ගුවන් තොටුපළ වෙත දිනපතා ගමන් ගන්නා ගුවන් යානා ගණනාවක් ඇත. ඩි’ගෝල් වලින් එයාර් ලංකා ගුවන් යානාවකට නැඟ්ගොත් බහින්න ඇහැකි ලංකාවෙන්. ගිය ගමන්ම ගුවන් යානයේ ආසනයක් ගන්න ලැබුනොත් දවස් තුනෙන් ලංකාවෙ. ශ්‍රියන්ති දින ගැන්නාය.

මෙය 2009 දෙසැම්බර් 3 වැනිදා “අරුණි ශපීරෝ වෙතින්” බ්ලොග් සටහනේ පළවිය. එය ලියන අරුණිත් මෙය ලියන අරුණිත් එකම එක්කෙනාමය!

Read 188 times

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!