Thursday, 28 March 2024

සැනසිල්ල

Posted On Sunday, 01 January 2017 08:03

උපාලි, කදිරවේලු තමන් දෙසට එනු දැක හදිසියේ යමක් සිහි වූයෙකු මෙන් මඟ හැර ගියේය. මෙය කදිරවේලුට අලුත් දෙයක් වූයේ නැත. ආයතනයේ සිටි වඩාත් ගුණ යහපත් මිනිසෙකු වූ උපාලි තමන්ට මූණ නොදෙන බව හේ දනී. එකම මට්ටමේ නිලධාරීන් වුවත් මෙසේ

උපාලි තමන්ට මුහුණ නොදෙන්නේ මන්දැයි කදිරවේලු නිතරම කල්පනා කළේය. දෙතුන් වතාවක් උපාලිගෙන් විමසුවද, මඟ හැර ගියා මිස උත්තරයක් දුන්නේ උපාලි නොවේ.

අවුරුදු ගණනක් එකට රාජකාරි කළද, දෙදෙනා එකිනෙකා හා කතා කර ඇත්තේ බොහොම අඩුවෙනි. බොහෝ සංවේදී මිනිසෙකු වූකදිරවේලුට උපාලිගේ මේ හැසිරීම ඉහිලුම් නොදෙයි. අලුතින් පැමිණි සමන් කදිරවේලුගේත් උපාලිගේත් හොඳ හිතවතෙක් වූයේ ඔහුත්මේ දෙදෙනා මෙන්ම ඉතා සංවේදී, මිත්‍රශීලී අයෙකු නිසාවෙනි. එහෙත් මේ දෙදෙනා අතර ඇති නිහඬ බව සමන් තුළද කුකුසක් ඇතිකළේය.

කදිරවේලුගේ දරුවාගේ හදවතේ සැත්කමක් කිරීමට අවශ්‍ය බැවු දැනගත් කදිරවේලු මහත් සේ කම්පා වූයේ සාමාන්‍ය වැටුපක් ලබන තමා වැන්නෙකු එවැනි විශාල මුදලක් සොයන්නේ කෙසේදැයි කියාය. මෙය සමන්ට මෙන්ම උපාලිටත් දැඩි මානසික පීඩාවක් ඇති කළ ආරංචියක් විය.
එදින කුඩා පුතුට ළදරු කිරිපිටි එකක් ගේන්නැයි බිරිඳ කී විට මඳක් කල්පනාවේ සිටි උපාලි දැනට අපේ කිරිපිටි වලින්ම දෙමු දැන් දරුවට අවුරුද්දකටත් කිට්ටුයිනේ කියා කීවේ සුසුමක් පිට කරමිනි. මවු පියන් ද දරුවන් දෙදෙනෙක් ද නඩත්තුව ලේසි පහසු කටයුත්තක් නොවේ. මතක ඇති කාලයක විනෝදය වෙනුවෙන් කිසිදු මුදලක් වියදම් කළා උපාලිට මතක නැත. උපාලි මුදල් වියදම් කළේ ඉතාමත් අර පරිස්සමිනි. එහෙත් කිසි විටකත් තමාගේ යුතුකම් මඟහරින්නට ඔහු කැමති වූයේ නැත. පුතුට ළදරු කිරිපිටි තිබුණා නම් හොඳ බව ඔහු දනී. එහෙත් ප්ලේන්ටි උගුරෙන් ජීවත් වන දරුවන් සිටින රටේ තමන්ගේ පුතා ඒ තරම් අසරණයෙකු නොවන බවට ඔහු තර්ක කරන්නේ තමන්ගේ යටිහිත සමඟමය.

එදින තේ පානය අතරතුර කතා බහේ දී කදිරවේලු කීවේ තමන්ටත්, බිරිඳටත් 1983 දී දෙමවුපියන්ව සහ ඔවුන් සතුවූ දේපල සියල්ල අහිමි වූ බවයි. බිරිඳගේ පියා සතුව ඉතා සාර්ථක වූ රත්‍රන් බඩු සාප්පුවක් තිබූ බව ඔහු හෙළී කළේය.

ඒ සාප්පුව තිබුණේ කොහේද? කවදාවත් නැති උනන්දුවකින් උපාලි ඇසුවේ කදිරවේලු පුදුමයට පත්කරවමිනි.
දැරණියගල. ඔහු පිළිතුරු දුන්නේය.
මුදලාලිගේ නම? උපාලිගෙන් තවත් ප්‍රශ්නයකි.
බාලරාම්. උපාලි හිඳි අසුනෙන් නැගිට්ටේ කිසියම් ජීවයක් ලද්දෙක් මෙනි.
ඒ කියන්නේ ගෞරවී ජුවලර්ස්? උපාලි යළි අසයි.
හ්ම්.. උපාලි එයාලව දන්නවද?
අපි යමු. දැන් තේ වෙලාව ඉවරයි. සමන් කියයි.
මුදලාලිට මොකද වුණේ.. ? නෑ.. කදිරවේලුට අද ෂෝට් ලීව් එකක් දාලා එන්න පුළුවන්ද? මට ගොඩාක් වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා ඔයත් එක්ක.

මුදලාලියි පවුලේ සේරමයි මැරුණයි කියලා තමයි අපට ආරංචි වුණේ. ඒ මුදලාලි හරිම හොඳ මනුස්සයා. හැමෝම වගේ මිනිහා ගැන දුක් වුණා. අපේ එවුන්ගේ මෝඩ වැඩ.

ඒ ගැන දැං කතා කරලා වැඩක් නෑ උපාලි. වාසනාවකට ඒ පවුලේ බාල දුව වසන්ති ඉතුරු වුණා. එයා තමයි මගේ බිරිඳ.

එදා කෝලහාල වෙලාවේ මාත් හිටියේ ටවුන් එකේ. බාලා මුදලාලි අපේ තාත්තගේ හොඳ යාළුවා. එයාලට කරදර ද බලන්න යනකොට ඔක්කොම සිද්ධ වෙලා ඉවරයි. ඒත් මං ඇතුළේ සෝදිසි කරනකොට මැරයන්ට අහු නොවුණු රත්‍රං තොගයක් හම්බු වුණා. මං සද්ද නොකර ඒක ගෙදර ගෙනාවා. හොරකමකට නෙවෙයි. මුදලාලි හම්බු වුණාම දෙන්න. කලබොල වෙයි කියලා අපේ තාත්තටවත් කිව්වේ නෑ. ඒක ගෙයි මිදුලේ වල දැම්මා. ඒත් මං මගේ හිතෙන් පුදුම වදයක් වින්දේ. දැං ඒ රත්‍රං ටික ඔයාගේ බිරිඳට දෙන්න පුළුවං. අප්පේ….. මගේ හිත දැං නිදහස් උපාලි කීවේ මහත් සැනසිල්ලෙනි.

ඒ සැනසිල්ලත් සමග මොහොතක් රැඳුණු උපාලි, කදිරවේලුගෙන් සමුගෙන ඉක්මනට ගියේ අවුරුදු ගණනකට පසු ගෙදර ගොස් සැනසිල්ලේ නිදා ගැනීමටය.

ලියා එව්වේ - චතුර විජේකෝන්
http://hadapathula.blogspot.com/

Read 1617 times