Friday, 29 March 2024


------------------------------------------
ඒ 1916 අවුරුද්දේ ගිම්හාන කාලයයි. ඇමරිකාවේ ටෙනෙසි ප්‍රාන්තයේ කින්ග්ස්පෝට් නම් කුඩා නගරයට එය සුවිශේෂී ගිම්හාන කාලයක් විය. ඒ Sparks World Famous Shows නම් වූ සර්කස් කණ්ඩායම ඒ නගරයට පැමිණ උන් නිසාය.
Sparks World Famous Shows එකල ඇමරිකාවේ ප්‍රසිද්ධියක් ඉසිලූ ජංගම සර්කස් කණ්ඩායමකි. විසල් ලොරි රථ පහලොවකින් තැනින් තැනට සංචාරය කෙරුණු මේ සර්කස් කණ්ඩායමේ, විකටයින්, කරණම් ශිල්පීන් මෙන්ම විවිධ සතුන්ද සිටියහ. මේ සියලු සර්කස් ශිල්පීන් අතරින් ප්‍රෙක්ෂකයින්ගේ වැඩිම ආකර්ශනය දිනාගත් තරුව වූයේ “බිග් මේරි” නම් වූ දැවැන්ත සර්කස් ඇතින්නයි. ජම්බෝ නම් වූ ප්‍රසිද්ධ අලියාටත් වඩා මේරි උසින් අගල් තුනක් වැඩි බව, සර්කස් කණ්ඩායමේ හිමිකරු වූ චාර්ලි ස්පාර්ක්ස් නිතරම කීවේය. ඔහුට අනුව නම් මේරි “ඒ වන විට මිහිමත සිටින විශාලතම සත්වයාය.”
ඉතින් 1916 ගිම්හාන කාලයේදී, මේ සර්කස් කණ්ඩායම කින්ග්ස්පෝට් නගරයට එන විට, මේ දැවැන්ත සත්වයාව නරඹන්නට පාර දෙපස සෙනග එක්රැස් වී සිටියහ.
මේරි බෙහෙවින් කීකරු, හීලෑ ඇතින්නියක වූවාය. සන්සුන්ව පාරේ යමින් උන් මේරිගේ අවධානය එක්වරම වෙනතකට ඇදිණ. ඒ පාර අයිනේ වැටී තිබුණු කොමඩු පොත්තක් දෙසටය. යමින් උන් ගමන නැවැත්වූ මේරි, ඒ මිහිරි රසැති පළතුර අහුලා ගන්නට පාරෙන් ඉවතට හැරුණාය.
ඇගේ පිට මත උන් ඇත් ගොව්වාට ඇයව නැවතත් පාරට හරවා ගන්නට උවමනා විය.
මේරි ඉතා කීකරු ඇතින්නක් වුවද, එදා ඇගේ පිටමත උන් ඇත් ගොව්වා, ඇයට හුරු පුරුදු කෙනෙකු නොවීය. රෙඩ් ඒල්ඩ්රිජ් නම් වූ ඔහු අලි ඇතුන් මෙහෙයවීම ගැන කිසිදු දෙයක් දැන සිටියේ නැත. වෙනකක් තබා, හෝටල් සේවකයෙකු ලෙස රැකියාව කරමින් උන් ඔහු, ඇත්ගොව්වෙකු ලෙස රැකියාව පටන් ගත්තේද මේ කියන දවසට දින දෙකකට පෙරය.
පාරෙන් ඉවතට ඇදෙන ඇතින්නව, යළිත් පාරට හරවා ගන්නට කුමක් කළ යුතුදැයි සිතාගන්නට නොහැකි වූ මේ ඇත් ගොව්වා කලේ ඔහු අත තිබුණු තියුණු හෙණ්ඩුවෙන් ඇතින්නගේ කන පිටුපසට ඇනීමය.
ඕනෑවටත් වඩා වැරෙන් වැදුණු හෙණ්ඩුවේ පහරින් මේරිට දැඩි වේදනාවක් දැනිණ. ඇගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේය. වේදනාවෙන් මුසපත් වුණු මේරි අතින් ඊලගට සිදුවූයේ ඇගේම දෛවය කණපිට හරවන අවාසනාවන්ත ක්‍රියාවකි.
මේරි තම හොඩවැල පිට දෙසට දිගු කර, පිටේ උන් ඇත්ගොව්වාව හොඩින් අල්ලා ගත්තාය. ඉන්පසු ඔහුව වැරෙන් පොළවේ ගැසුවාය. භීතියෙන් ත්‍රස්ත වූ මිනිසුන් දහස් ගණනකගේ නෙත් ඉදිරිපිටදීම, බිම වැටී උන් ඇත් ගොව්වාගේ හිස්කබල පයින් පාගා චප්ප කළාය.
ඇත්ගොව්වා එතැනම මිය ගියේය.
එහෙත් කතාව එතැනින් නිම වූයේ නැත.
ඒ බිහිසුණු සිදුවීම ඇසින් දුටු මිනිසුන් සිය දහස් ගණනක් උන්හ. ඒ සියල්ලන්ම එක හඩින් ඉල්ලුවේ එකම දෙයකි.
“ඌව මරලා දාන්න.! ඌව මරලා දාන්න.!”
එතැන උන් මිනිසෙකු මේ ඇතින්නට කිහිප විටක්ම වෙඩි තැබුවේය. එහෙත් වෙඩි උණ්ඩයට ඇගේ සම පසාරු කරගෙන යන්නට පුළුවන් වූයේ නැත.
හෙණ්ඩුවෙන් ඇනීමෙන් ලද වේදනාව කෙමෙන් මැකී යත්ම මේරිද ක්‍රම ක්‍රමයෙන් සන්සුන් වූවාය. එයින් පසුව මේරිගෙන් කිසිම කෙනෙකුට හිංසාවක් සිදුවූයේත් නැත. එහෙත් මේරිට සමාව දෙන්නට නගරවැසියෝ කැමති නොවූහ. ඔවුන් දිගින් දිගටම බලධාරීන්ට බල කරමින් කියා සිටියේ මේරිව මරා දැමිය යුතු බවය.
පළපුරුද්දක් නැති ඇත් ගොව්වෙකු සේවයේ යෙදවීම හේතුවෙන් සර්කස් කණ්ඩායමේ හිමිකරුටත් චෝදනා එල්ල විය.
කෙසේ වුවත් සර්කස් කණ්ඩායමේ පාලකයින් හා පුහුණු කරුවන් මේරිට ඒ හැටි කරුණාවන්ත වූ හාම්පුතුන් නොවූහ. වරින් වර නපුරු හිංසාවන්ට මුහුණ දෙන්නටත්, හීලෑ සත්වයෙකුට ලැබිය යුතු සැප පහසුකම් නැති කටුක ජීවිතයක් දරා ගන්නටත් මේරිට සිදුවී තිබිණ. එකල සර්කස් කණ්ඩායමක සතුන්ට සැලකුවේත්, වහල්කමටම උපන් සතුන්ට මෙන් පහත් අන්දමිනි.
මේ කාරණාවන් සාධාරණ ඇසකින් දකින්නට තරම් හැකියාවක් කින්ග්ස්පෝර්ට් නගරයේ වැසියන්ට තිබුණේ නැත. ඔවුන් දිගින් දිගටම ඉල්ලා සිටියේ මේරිගේ වරදට මරණ දඩුවම ලබා දෙන්නැයි කියාය. සර්කස් සන්දර්ශනය පවත්වනවා වෙනුවට, නඩු විභාගයකින් තොරවම මේරිව ප්‍රසිද්ධියේ එල්ලා මරන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ.
කෙමෙන් වැඩෙන මහජන විරෝධය හේතුවෙන් චාර්ලි ස්පාර්ක්ස් ගේ සර්කස් ව්‍යාපාරය නැත්තට නැති වෙන තැනට වැඩ සැලසී තිබිණ. ඒ නිසාම ඔහු මේරිව නගරයේ බලධාරීන්ට බාර දුන්නේය. අන්තිමේදී නගර වැසියන්ගේ ඉල්ලීමට එකග වන්නට නගරයේ පාලකයින්ට සිදු විය. මේරිව එල්ලා මරන්නට තීන්දු කෙරිණ.
බිග් මේරි නමින් ප්‍රසිද්ධව උන් මේ ආසියානු ඇතින්න ඒ වන විට මිනිසුන් විසින් හදුන්වනු ලැබුුවේ “මිනීමරු මේරි” යන නමිනි. ඉතින් “මිනීමරු මේරි”ව ටෙනෙසි ප්‍රාන්තයේම එර්වින් නම් නගරයේ දුම්රිය අංගනයක් වෙත ප්‍රවාහනය කරන ලදී.
ඇයව එල්ලා මරන අන්දම සියැසින් දැක ගන්නට පිරිමින් ගැහැණුන් මෙන්ම කුඩා ළමුන්ද දස දහස් ගණනක් ඒ දුම්රිය අංගනය වටා රැස්ව උන්හ. සැබවින්ම, ඒ එල්ලා මැරීමද “ප්‍රසිද්ධියේ කෙරෙන ඝාතනයක්” යැයි කිවහොත් වැරදි නැත.
ටොන් පහක් බරැති මේ දැවැන්ත සත්වයාව එල්ලා මැරීම පහසු කාර්යයක් නොවීය.
එහෙත් නගර වැසියෝ තමන්ගේ “ප්‍රශ්නයට” විසදුමක් සොයා ගත්හ. ටොන් සියයේ දුම්රිිය මැදිරි ඔසවන දොඹකරයකට යෝධ දම්වැලක් අමුුණා සදා ගත් තාවකාලික තොණ්ඩුවකින් මේරිව එල්ලා මරන්නට සූදානම් කෙරිණ.
අකාලයේ වැහි වැටුණු, අන්ධකාර දිනයක් වුණු එදා, 1916 සැප්තැම්බර් 13 වැනිදා, ඒ තාවකාලික තොණ්ඩුවෙන් මේරිව එල්ලන්නට යාමේදීි සිදුවූයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවුණු සිදුවීිමකි.
තමන්ගේ ගෙල වටා දම්වැල් තොණ්ඩුව පලදවද්දී මේරි බෙහෙවින් සන්සුන්ව උන්නාය. වෙනදාටත් සර්කස් සන්දර්ශනයකට පෙර දම්වැල් පැලදවීම කෙරෙන නිසා ඇය සිතන්නට ඇත්තේ අදත් ඇයට පැවරෙන්නේ එවැනි රාජකාරියකැයි කියාය. එහෙත් දැවැන්ත දොඹකරයේ බැදුණු තොණ්ඩුවෙන් තම සිිරුර කෙමෙන් ඉහළට ඇදෙන විට මේරි බියපත් වූවාය.
මරණය සිතූ තරම් පහසුවෙන් මේරි වෙත ලගා වූයේ නැත. මේරිගේ බරට ඔරොත්තු නොදුන් තොණ්ඩුව කඩා වැටිණ. මේරිගේ දැවැන්ත සිරුර බිම පතිත විය. ඇගේ කොදු ඇට පෙළ බිදී ගිියේය. මේරි වේදනාවෙන් විලාප තියන්නට වූවාය. ඇගේ විලාප හඩ ඇසුවන්ගේ හද කම්පා කරවන සුලු එකක් වීය. කොදු ඇට පෙළ බිදී ගිය මේරි, අසරණ සාවියක මෙන් බිම වැතිරීි උන්නාය. නරඹන්නෝ නිරුත්තරව බලා සිටියහ.
මේරිව එල්ලා මරන කාර්යය භාරව උන් අය දම්වැලින් ගෙතූ දැවැන්ත කඹයකිින් නැවතත් තොණ්ඩුවක් තනා ගත්හ. මෙවර නම් ඔවුන්ගේ උත්සාහය වැරදී ගියේ නැත. මිනිසුන් දහස් ගණනක් තම සර්කස් රංගනයන්ගෙන් පිනවූ මේරි, දහස් ගණනක් වූ අකාරුණික මිනිසුන්ගේ ඇස් ඉදිරිපිටදීම අවසන් හුුස්ම හෙළුවාය.
පැමිණ උන් සෙනග විසිර ගිය පසුව, මියගිය මේරිගේ සිරුර ඒ දුම්රිය අංගනයේම තැනක මිහිදන් කෙරිණ. ඒ සොහොන කොතැනදැයි ලකුණු කර නොතබන්නටත්, ඒ ගැන කතාබහ හිතා මතාම යටපත් කරන්නටත් නගරයේ බලධාරීහු කටයුුතු කළහ.
මේරිගේ මරණය සිදුවී සිය වසරක් ඉක්ම ගොස් ඇතත්, මේරි නම් වූ ඇතින්නගේ මරණය අදටත් එර්වින් නගරයට ලැජ්ජාවකි.
“මේ ඇතින්නක් එල්ලා මරා දැමූ මිනිසුන් ඉන්න නගරයදැයි” සංචාරකයින් විමසන විට නගරවැසියන් පත් වෙන්නේ මහත් අපහසුතාවයකටය.
මේ වරද නිවැරදි කරන්නටදෝ වර්තමානයේ මේ නගරවැසියෝ වාර්ෂිිකව සල්පිලක් පවත්වමින් “ෆයිබර්ග්ලාස්” වලින් තැනූු ඇත් රු විකුණති. ඒ ඇත් රූ විකුණා ලැබෙන මුදල ටෙනෙසි හි හෝහෙන්වෝල්ඩ් අලි අනාථාගාරයට පරිත්‍යාග කරති.
එහෙත් ඔවුන් කළ අපරාධයට වන්දි ගෙවන්නට එය ප්‍රමාණවත් වේදැයි දන්නේ දෙවියන්ම පමණකි.
නිම්මි මුදිතා හේරත්.
සති අග අරුණ

Published in පුවත්