Thursday, 28 March 2024

ඔබ COVID-19 ආසාදිතයෙක්දැයි හඳුනා ගැනීම සඳහා ඔබේ නාසය ඔබට ම හෝඩුවාවක් ලබා දෙන බව සින්සිනාටි විශ්ව විද්‍යාලයේ කණ, නාසය සහ උගුර පිළිබඳ විශේෂඥයෙක් පවසනවා.

සින්සිනාටි යනු එක්සත් රාජධානියේ ඔහියෝ වල පිහිටි ඉතා ම පැරණි විශ්ව විද්‍යාලයක්.

ගඳ සුවඳ දැනීම නැතිවීම COVID-19 ආසාදනයේ ප්‍රධාන දර්ශකයක් විය හැකි බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

COVID-19 හි භෞතවේදය තීරණය කිරීමේදී නාස් කුහරයේ ඇති වැදගත්කම වෛද්‍යවරුන් වැඩි වැඩියෙන් හඳුනාගෙන ඇති බව නාසයේ සහ කෝඨරකවල (Sinus) රෝග පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති සින්සිනාටි වෛද්‍ය විද්‍යාලයේ සහකාර මහාචාර්ය අහමඩ් සේදගාට් පැහැදිලි කරනවා.

COVID-19 සාමාන්‍යයෙන්, නාසය අවහිරවීම හෝ සොටු නිෂ්පාදනය වැනි රෝග ලක්ෂණ (මේවා සාමාන්‍යයෙන් වෛරස් සෙම්ප්‍රතිශ්‍යාවලදී ඇති වන රෝග ලක්ෂණයන්ය.) සමග සම්බන්ධ නොවන බව ඔහු පවසනවා. COVID-19 වෙනත් සාමාන්‍ය සෘතුමය අසාත්මිකතාවන්ගෙන් (Seasonal Allergies) වෙන්කර හඳුනා ගැනීමට තරමක් පහසු වන්නේ ද මේ වෙනස නිසයි.

COVID-19 වෛරසය නාසයේ රෝග ලක්ෂණ වල තරමක් අද්විතීය සංයෝජනයක් සමඟ සම්බන්ධ වන බව ඔහු පවසනවා. කෙනෙකුගේ නාස් කුහරයේ වෙනත් බාධාවක් නැතුව හදිසියේ ම ගඳ සුවඳ දැනීම නැතිවීම, ‘ඇනොස්මියා’ (Anosmia) ලෙස හැඳින් වෙනවා. එය සිංහලෙන් හඳුන්වන්නේ “අවඝ්‍රාණය” ලෙසයි. මෙසේ හදිසියේ ඇතිවන ඇනොස්මියා තත්ත්වය COVID-19 රෝගයේ හොඳ අනාවැකියක් වන අතර එය “අනුමාන COVID-19 තත්ත්වයක්” ලෙස සලකා වහාම එම පුද්ගලයා ස්වයං නිරෝධායනයට ලක්වීමට පෙළඹ විය යුතු බවත් ඔහු පවසනවා.

COVID-19 වෛරසය ආසාදනය වන බොහෝ පුද්ගලයින් වෛරසයට නිරාවරණය වී දින දෙකේ සිට 14 දක්වා කාලයක දී උණ, කැස්ස සහ හුස්ම හිරවීම වැනි රෝග ලක්ෂණ පළ කරනවා. රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානවලට අනුව පුද්ගලයන්ට හුස්ම ගැනීමේ අපහසුතාවයක් හෝ නිරන්තර පීඩනයක් හෝ පපුවේ වේදනාවක් හෝ ව්‍යාකූලත්වයක් හෝ නැගිට ගැනීමට නොහැකියාවක් හෝ ඇත්නම් නම් වෛද්‍ය ආධාර අවශ්‍ය වෙනවා.එහෙත් බොහෝ දෙනෙකුට එවැනි ආධාර නොමැතිව සුවය ලැබෙනවා.

COVID-19 වෛරසය නිපදවීම නාසය තුළ ඉතා ඉහළ මට්ටමක පවතින අතර එය එම රෝගීයා තවමත් රෝග ලක්ෂණ පළ නොකරන හෝ ඉතා මෘදු රෝග ලක්ෂණ පමණක් පළ කරන රෝගයේ මුල් අවධියේදී සිදු වන බවයි ඔහු පවසන්නේ. එවැනි පුද්ගලයින් කිවිසුම් මගින් ඉතා කුඩා බිඳිති ලෙස හෝ නාසය අල්ලා වෙනත් පෘෂ්ඨ ස්පර්ශ කිරීම මගින් හෝ මෙම වෛරසය ව්‍යාප්ත කරනවා.

නාසයේ වෙනත් බාධාවක් නැතුව හදිසියේ ඇතිවන ඇනොස්මියා තත්ත්වය “COVID-19 හි අතීශය නිශ්චිත දර්ශකයක්” බවයි ඔහු පවසන්නේ. ඔහු මෙම සොයා ගැනීම කරන්නේ වර්තමාන කොරෝනා වෛරසයට සාපේක්ෂව මිනිසාට පීඩා කරන වෙනත් කෝඨරක(Sinus) හා නාසයේ ආබාධ පිළිබඳව කර ඇති අධ්‍යයන 19 ක් විශ්ලේෂණය කිරීමෙන්. පැරිස් වෛද්‍යවරුන් වන ඩොමිනික් සැල්මොන් සහ ඇලයින් කෝරේ (Dominique Salmon and Alain Corré) විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයක් ගැන ද ඔහු ලිපියක සඳහන් කරනවා. එයින් පෙන්නුම් කරන්නේ නාසයේ වෙනත් බාධාවකින් තොරව ඇති වූ ඇනොස්මියා තත්ත්වයෙන් පෙළෙන රෝගීන් 55 දෙනෙකුගෙන් 94% ක්ම PCR මගින් COVID-19 සඳහා ධනාත්මක වී ඇති බවයි.

පුද්ගලයෙකුට COVID-19 ආසාදනය වූ ඕනෑම වේලාවක ගඳ සුවඳ දැනීම නැතිවීම සිදුවිය හැකි නමුත් මෙය ආරම්භක රෝග ලක්ෂණයක් ලෙස ඇති වූ විට එය විශේෂයෙන් උපදේශාත්මක බව ඔහු පවසනවා.

කෙනෙකුගේ ගඳ සුවඳ හදිසියේ නැතිවීම තමාට COVID-19 ඇතැයි සිතීමට බොහෝ දෙනෙක්ව පොළඹවන්නේ නැති බව ඔහු පවසනවා. මෙවැනි පුද්ගලයින් සුපුරුදු පරිදි තම ව්‍යාපාර සහ රාජකාරි කටයුතු කරගෙන යන අතර එමගින් ඔවුන් මෙ⁣ම රෝගයේ වාහකයින් ලෙස ද ක්‍රියා කරනවා.

නාස් කුහරය යනු COVID-19 වෛරසය ප්‍රධාන වශයෙන් සිරුරට ඇතුල් වන හා ආසාදනයට ලක් වන ස්ථානය විය හැකි බවයි පවසන්නේ.

– වෛද්‍ය ලෝචන ප්‍රනාන්දු

Published in පුවත්