Thursday, 28 March 2024

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි දින 10 තුළදී අවසන් තීරණයකට

Posted On Thursday, 26 November 2020 15:38

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි දින 10 තුළදී අවසන් තීරණයකට

 

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි දින 10 තුළදී අවසන් තීරණයකට එළැඹෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් .පීරිස් මහතා සඳහන් කරයි.

අද(26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එළඹෙන ජනවාරි මස 18 දා අපොස සා.පෙළ විභාගය පැවැත්වීමට නියමිතව තිබේ.එහෙත් බස්නාහිර පළාතේ සහ වසා දමා ඇති අනෙකුත් පොලිස් වසම් වල පිහිටි පාසල් වල දරුවන්ට මේ සම්බන්ධයෙන් අසාධාරණය සිදු නොවන පරිදි කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය. උසස් පෙළ විභාගය පැවැත්වෙන අවස්ථාවේදීද මෙම අභියෝගයට මුහුණ දුන් බවද දුරස්ත අධ්‍යාපන ක්‍රමවේද මගින් අදාළ විෂය නිර්දේශ ආවරණය කරමින් එම දරුවන්ට සිදු වන පාඩුව අවම කර ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.

මහා බ්‍රිතාන්‍ය වැනි රටවල මෙන් වසංගතය හමුවේ විභාග පැවැත් වීමේදී සිසුන් සඳහා නම්‍යශීලී ක්‍රම අනුගමනය කරමින් විභාග පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කරන බවද අමාත්‍යවරයා කීය.

මෙම වසරේ පාසල පැවැත් වීමට තිබූ දින184න් පන්තිකාමර තුළ ශිෂ්‍යයන් සමග මුහුණට මුහුණ පන්ති පැවැත් වීමට හැකි වූයේ දින87ක් පමණි. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ විෂයයන් 54ක් තිබෙන බවත් ඒ අතුරින් දැනට සම්පූර්ණ කර ඇති විෂය ඒකක සහ මාර්ගගත ක්‍රම ඔස්සේ සම්පූර්ණ කර ඇති විෂයය ඒකක පිළිබඳව මේ වන විටත් සමීක්ෂණයක් සිදු කරගෙන යන බවද මෙම අවස්ථාවට එක් වූ අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේය.