Saturday, 28 November 2020

එලිසබත් කුමාරිගේ මංගල තෑග්ගට අගමැති සේනානායක ගෙනගිය කළුවර කැටයම ‘නව නාරි හස්ති කුංජරය’ Featured

Posted On Friday, 13 November 2020 05:46 Written by
Rate this item
(1 Vote)

 

ලංකාවේ බෝතලේ වලව්වේ ඉපදී පොදු මහජනතාව අතර සමීප සම්බන්ධතා පැවැත්වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් රාජ්‍ය මන්ත‍්‍රණ සභා යුගයටත් පෙරාතුව මීගමුව දිස්ත‍්‍රික්කයේ මන්ත‍්‍රීවරයා ලෙස නිතරගයෙන්ම පත්වූ දොන් ස්ටීවන් සේනානායක මහතාණන් හැම තැනකදීම කටයුතු කළේ තමන් පොළවේ පය ගසාගෙන සිටින තැනැත්තෙකු වශයෙනි. මෝදර සාන්ත තෝම්ස් කොලීජියෙන් හත පන්තිය සමත්ව ‘කැලේ පැන්නද’ ඔහුට කවර තරම් උගත්, උසස්, වැදගත් කෙනකු සමග වුවද එක සීරුවේම එක එල්ලේ ඉහළ ඉංග‍්‍රීසියෙන් වුවද කතා කිරීමේ හැකියාව තිබුණේය. එය ගමේ ගොඬේදී ගැමියකු සමග කතා කිරීමටද මෙන්ම එතුමනට අමුතු ආවේගයක් හෝ ආවේශයක් ගන්නට වුවමනා නොවූයේය. එහෙයින්ම කවර රජ සබයකදී වුවද මේ දොන්ස්ටීවන් සේනානායකයෝ සිය පෞරුෂයෙන් හා ප‍්‍රායෝගික අත්දැකීමෙන්ම මුල් තන්හිම වැජඹීමේ අවස්ථාව හිමිකර ගත්හ.

එතුමෝ තම පරම්පරාවෙන්ම ලද ආභාෂය අනුව සෙසු මනුෂ්‍යයන් විශ්වාස කිරීමට හුරු පුරුදුව සිටියේ තමන් මෙන්ම ඔවුන්ද තමන් මෙන්ම අවංක විය යුතුය. න්‍යායෙහි පිහිටා සිටය. එහෙයින්ම එතුමෝ තමන් තම රටට, ජාතියට ආදරය කරන්නාක් මෙන්ම මේ රටේ සිටින අන් ජාතික නායකයන්ද තම රටටත්, ජාතියටත් ආදරය ගෞරවය කරන බව දැන සිටියහ. එනිසාම අපේ රටට සුදු ජාතික ආණ්ඩුවෙන් නිදහසක් ලබාගත යුත්තේ සිංහල ජාතියක් උදෙසා පමණක් නොවන බවද දෙමළ ජාතිකයන් සඳහා පමණක් නොවන බවද, මුස්ලිම් ජාතිකයන් උදෙසා පමණක් නොවන බවද අන් සුළු ජාතිකයන් උදෙසා පමණක් නොවන බවද මුල සිටම තේරුම් ගෙන සිටියහ.

අප නිදහසක් ලබාගත යුත්තේ මේ රටේ සිටින මේ රටේ ඉපදුණ සියලූම ජාතිකයන් වෙනුවෙන්ම බව මෙසේ කලින්ම තේරුම් ගත් එතුමෝ තමනට කොතරම් අවස්ථාව ලැබුණද පක්‍ෂයක් පිහිටුවා එහි නායකත්වයක් දරන්නට උත්සාහ නොකළහ. එවැනි අවස්ථාවන් කොතෙකුත් එළැඹියද එවන් කටයුත්තකට නොපෙළඹුණාහ.

එතුමෝ සියලූම ජාතික නායකයන් අගනුවරට කැඳවා දේශපාලන පක්‍ෂයක් නිර්මාණය කරවූවේ එංගලන්තයේ යටත් විජිත ලේකම්වරයාගෙන් නියත වශයෙන්ම ලංකාවට නිදහස ලබා ගන්නට හැකිකම. ලැබේය යන විශ්වාසය තහවුරු වීමෙන් පසුව ඒ සඳහා ඉදිරි කාලයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වීමේ අවශ්‍යතාව අනුවය.


මේ අනුව වර්ෂ 1946 සැප්තැම්බර් 6 වැනිදා කොළඹ හතේ ‘ෆාම්කෝට්’ මන්දිරයට එක්රැුස් වූ රටේ විවිධ ජාතික නායකයන් එක්ව ‘එක්සත් ජාතික පක්‍ෂය’ පිහිටුවා ගෙන මේ වන විට හැට දෙවැනි වියේ සිටි ඞී. ඇස්. සේනානායක ගොවිකම් හා ඉඩම් අමාත්‍යතුමන් පක්‍ෂයේ සභාපති පදවියට පත්කර ගත්හ. මේ අවස්ථාවේදී වර්ෂ 1935 දී වේයන්ගොඩ රාජ්‍ය මන්ත‍්‍රීවරයා ලෙස සිටියදී ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මැතිතුමා විසින් පිහිටුවා ගන්නා ලද ‘සිංහල මහා සභාවේ’ ප‍්‍රමුඛතම සාමාජිකයන් පිරිසක්ද මෙම පක්‍ෂයට එක්වූහ.

ඉන් අනතුරුව වර්ෂ 1947 තේ පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී වැඩි ආසන සංඛ්‍යාවක් ලද එක්සත් ජාතික පක්‍ෂය සෙසු පක්‍ෂ කීපයකම ජාතික නායකයන්ටද තැන දෙමින්ද ආණ්ඩුවක් පිහිටු වූහ. වර්ෂ 1948 පෙබරවාරි 4 වැනිදා එංගලන්තයේ රජු නියෝජනය කරමින් මෙහි පැමිණි එතුමාගේ බාල සහෝදර ග්ලෝස්ටර්හි ආදිපාදතුමාගේ ප‍්‍රධානත්වයෙන් අපට නිදහස ලැබීමේ උත්සවය පැවැත්විණි.

මේ වන විට ලෝකයටම බලපෑ දෙවැනි ලෝක මහා සංග‍්‍රාමයද කෙළවර වී තිබුණු බැවින් වැඩි දෙනකුට ලෝක සාමය අත්දකින්නට ඉඩ සැලසී තිබිණි.

මෙසේ කටයුතු සිදුවෙමින් තිබියදී එංගලන්තයේ බකිංහැම් මාලිගය මංගල්‍යශ‍්‍රීයෙන් ඉපිලී ගියේ ඔටුන්න හිමි එලිසබත් කුමාරිතොමෝ ග‍්‍රීසියේ පිලිප් කුමාරයා හා සමග සරණ බන්ධනය උදෙසා සූදානම් වීම නිසාය.

මෙම රාජකීය විවාහ මංගලෝත්සවය උදෙසා සිලෝන් රටේ - ලංකාවේ අග‍්‍රාමාත්‍ය මහාමාන්‍ය ඞී. ඇස්. සේනානායක මැතිතුමා සහ එම මැතිිනිියටද සුවිශේෂ ආරාධනයක් ලැබිණ. තමන් හා මැතිනිය මීට කලින්ද එංගලන්තයේ බකිංහැම් මාලිගයට හෝ හය වැනි ජෝර්ජ් මහ රජතුමා හා එලිසබත් මව් බිසව මෙන්ම ඔවුන්ගේ දූවරුන් දෙදෙනා වූ එලිසබත් හා මාග‍්‍රට් කුමාරියද දැක දැන හඳුනාගෙන තිබෙන නිසාමද මෙම ආරාධනය සුවිශේෂ ආරාධනයක් ලෙසද ගණන් ගැනිණ.

රාජකීය මංගල ගමනට ලක ලෑස්ති වූ ඞී. ඇස්. අගමැතිතුමා කල්පනා කළේ නව මනාල යුවළට කිසියම් මතක හිටින අන්දමේ දේශීය ලක්‍ෂණ විදහා පාන අන්දමේ තෑග්ගක් දිය යුතු බවය. ඒ ගැන කල්පනාකාරී වීමෙන් පසුව එතුමාගේ සිහියට ආවේ අපේ ඉපැරැණි කැටයමක් කළුවර ලීයෙන් කප්පවාගෙන එය තමන්ට අතේ ගෙන යන්නට කටයුතු යෙදිය යුතු බවය.

ඒ අනුව දොන් කරෝලිස් හේවාවිතාරණ සහ සමාගමේ ප‍්‍රධාන කැටයම් ශිල්පියකුට අරලියගහ වලව්වට පැමිණ තමන් හමුවන ලෙස සේනානායක අගමැතිතුමෝ පණිවුඩයක් යැවූහ.

අගමැතිතුමාගේ ආරාධනය අනුව දොන් කරෝලිස් පුත‍්‍ර සමාගමේ ප‍්‍රධානියකු වූ බී. කුමාරදාස පෙරේරා මහතා අරලියගහ මන්දිරයට ගොස් එතුමා හමුවූයේය. සාකච්ඡාව සාර්ථකව නිම කෙරිණි.

පැරැණි සිංහල කැටයම් කලාව මුර්තිමත් කෙරෙන අයුරින් කළුවර ලීයෙන් අඩි එකකුත් අඟල් අටක් දිගටත්, අඩියක් පළලටත් සිටින සේ ‘නව නාරි හස්ති කුංජරය’’ නම් කැටයම සම්පාදනය කිරීමට අණ කෙරිණි. තරුණ කාන්තාවන් නවදෙනකු විසින් ඇතෙකු නිර්මාණය කෙරෙන ලෙස පෙනී සිටීම මෙම සූක්ෂම කැටයම් නිර්මාණය මගින් විවරණය කෙරෙන හෙයින් එයින් මේ මංගල ජෝඩුවගේ මෙන්ම එහි පැමිණෙන සුවිශේෂ අමුත්තන් තුළ ද බලවත් හැඟීමක් මතු කරමින් තැබිය හැකි යැයි ගරු අගමැතිතුමෝ සිතා ගත්හ.

විශේෂයෙන්ම කුමාරදාස පෙරේරා මහතා විසින් ගෙනැවිත් තිබූ කැටයම් රූපසටහන් අනුව මෙම ‘නව නාරි හස්ති කුංජරය’ අගමැතිතුමාගේ සිත බලවත් ලෙස පැහැරගෙන තිබිණි. එහි කාන්තාවන් නවදෙනකුගෙන් හස්තියා නිර්මාණය වී තිබුණු බව පෙනිණි.

දින සතරකින් පසුව කුමාරදාස පෙරේරා මහතා විසින් අරලියගහ වලව්වට ගෙනැවිත් ඞී. ඇස්. සේනානායක අගමැතිතුමා වෙත එම කළුවර කැටයම දක්වාලන ලද අවස්ථාවේදී එතුමෝ එය සූක්‍ෂ්ම ලෙස කැටයම් කර තිබෙන අන්දම දැකබලා අතිශයින්ම සතුටට පත් වූහ. එහෙයින් එවේලේ එතුමා අතින් මුදල් ත්‍යාගයක් ද තවත් තෑගි කිහිපයක් ද කුමාරදාස මහතා වෙත පිරිනැමිණ. මොලී සේනානායක මැතිනියද මේ සුවිශේෂ කැටයම දැකබලා අතිශයින්ම සතුටට පත් වූවාය.

තමන් ඇතුළු ජාතික නායකයන් පිරිස දසක ගණනාවක් තිස්සේ දරන ලද ප‍්‍රයත්නයෙන් ජයග‍්‍රහණය ලබා රටට නිදහස ලබා ගැනීමෙන් පසුව මහ මැතිවරණයෙන් ලද ජය අනුව ආණ්ඩුවක් පිහිටුවා එහි අග‍්‍රාමාත්‍ය ධුරය තමනට ලබන්නට හැකිවීමත් සමගම මේ රාජකීය විවාහය උදෙසා ආරාධිත නිමන්ත‍්‍රණය ලැබීමද සේනානායක අගමැතිතුමන් සැලකුවේ මහත් වූ ගෞරවයක් හැටියටය.

තවත් යුරෝපීය කලිසම් කබා ඇඳුම අනුගමනය කළ නමුදු ඔවුන්ගේ පාලනයට නතුව ස්ව රට වෙනුවෙන් රටේ හැම ජාතිකයන් වෙනුවෙන්ම පූර්ණ නිදහස ලබාගත් නමුදු වාමාංශික විරුද්ධ පාක්‍ෂිකයන් කවදත් මෙම ජාති මාමක දේශ මාමක සේනානායක ජන නේතෘවරයාණන්ගේ ප‍්‍රයත්නය හෑල්ලූ කොට සලකන්නට හුරු පුරුදු වී සිටියහ. එහෙත් කවදත් විරුද්ධ පාක්‍ෂිකයන්ට ද ගරු කිරීමේ ප‍්‍රතිපත්තියක සිටි එතුමෝ ඒවා ගණනකට නොගෙන තම ප‍්‍රතිපත්ති රටට, ජාතියට මෙහෙය පිණිසම කි‍්‍රයාවෙහි යෙදවූහ.

කරුණු මෙසේ යෙදී තිබියදී සේනානායක අගමැතිතුමෝ තම මැතිනිය සමග එංගලන්තයට ගොස් එළිසබත් කුමාරියත් පිලිප් කුමාරයාගේත් විවාහ මංගල්‍යට සහභාගි වූහ.

එහිදී තමන් ලංකාවේ සිට සුරක්‍ෂිතව තම අතේම ගෙන ආ කළුවර ලීයේ කැටයම් කළ ‘නව නාරි හස්ති කුංජරය’ සුදුසු වේලාවක් බලා සේනානායක යුවළ විසින් නව යුවළ වෙත පිළිගන්වන ලදහ. කවර තරමේ කලබල මධ්‍යයේ වුවද ලංකා අගමැතිතුමාගේ මෙම අපූරු හෙළ කැටයම් තෑග්ගට රාජකීය මනාල යුවළගේම අවධානය යොමු වූ බව පෙනුණේය. එම කැටයම් එම අවස්ථාවේදීම මහා බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි එළිසබැත් මනාලිය මෙන්ම මේ අවස්ථාවේ එතුමියව හිමිකරගෙන සිටි පිලිප් කුමරා ද සේනානායක අගමැතිතුමාගෙන් මෙම සුවිශේෂ කැටයම පිළිබඳව තොරතුරු හාරා අවුස්සා ඇසූහ.

සේනානායක අගමැතිතුමාගෙන් එයට නියම ලෙස පිළිතුරු ලැබිණි. ඒ වන විටද තම පිය මහරජතුමාගෙන් ‘මහාමාන්‍ය’ නම් වූ එංගලන්තයේ සාමි මන්ත‍්‍රණ මණ්ඩලයේ සභික සම්මානය ද ලබා සිටි මේ සේනානායකයාණන් පිළිබඳව ප‍්‍රසාදයෙන් යුතුව කතාබහ කිරීමට මනාල යුවළම පෙළඹුණු බවද දක්නට ලැබිණී.

මෙම සිද්ධියේ අලගිය මුලගිය තැන්ද සොයා දැනගෙන මෙසේ පාඨකයන් වෙත ලියා දක්වන්නට අප අදහස් කළේ ඉන් දසක ගණනකට පසුව එම ත්‍යාගය පිළිබඳව තවත් තොරතුරක් ද දැනගන්නට අපට අවස්ථාව ලැබුණු නිසාය.

නවසිය අනූ ගණන්වල අග භාගයේ සිට අපට දැන හඳුනා ගන්නට ලැබුණු ආර්. ජී. සේනානායක මැතිනිය (එරින් සුබසිංහ සේනානායක මැතිනිය) ඇමැතිතුමාත් සමගම එක් කලෙක එංගලන්තයට ගිය අවස්ථාවක එහි ලංකා තානාපති මන්දිරයේ බිත්තියක මෙම ඓතිහාසික රාජකීය කැටයම් කුංජරය ගෞරවයෙන් යුතුව එල්ලා තිබෙනු දැක එහි තානාපතිවරයාටත් නිලධරයන්ටත් එහි ඉතිහාසය කියා පැහැදිලි කර දුන් අන්දම අප සමග පැවසුවාය. එහි සිටි පැරණි නිලධරයන් පවා එහි අතීත කතාව දැනගත්තේ එවිටය. එළිසබත් කුමරිය පසුව බි‍්‍රතාන්‍ය මහ රැජින වූවාට පසුව දිනෙක මේ රාජකීය කෘතිය වඩාත් සුදුසු ලංකා තානාපති මන්දිරයට බව පවසා එය වෙත ප‍්‍රදානය කර තිබිණි.

සමහර විට මේ දුර්ලභ ත්‍යාගය තවමත් එංගලන්තයේ ලංකා තානාපති මන්දිරයේ බිත්තියක රැඳී තිබෙන්නට ද පුළුවන.

සෝමසිරි කස්තුරිආරච්චි
-Divaina-

Read 152 times