Saturday, 28 November 2020

හොර්ටන්තැන්නෙන් ඉපදී මෝදරින් අවසන් වන ශුද්ධ නදිය - කැලණි ගඟේ කතාව Featured

Posted On Tuesday, 03 November 2020 10:30 Written by
Rate this item
(0 votes)

 

පුරා මාස තුනකට ආසන්න කාලයක් ‘රසවිත’ හරහා ඔබට කොටස් දොළහකින් යුතුව සවිස්තරව ගෙනා කැලණි ගඟේ උපත සොයා යන ගමනේ අවසාන සනිටුහන් කරන වාර්තාව මෙයයි.ඔ කල්‍යාණිය දියඹ සිප ගන්නා මෝදර මෝය කටේ සිට ගඟට සමාන්තරව ගම් නියංගම්, මං මාවත්, වතුයායන් අතරින් දින කිහිපයක් පුරාවට සිදුකළ ගවේෂණාත්මක වාර්තාකරණයේ අවසන් නිගමනය සමඟින් කැලණි නදියේ සැබෑ උපත සොයා අපි වන රක්‍ෂිතවලට ගොඩ වැදුණෙමු.

පසුගිය සතියේ අප අවසන් කළේ මස්කෙළිය ඔයට උපත දෙන මා උස්සාකැළේ ජලාශය සහ එය පෝෂණය කරන සමනල රක්‍ෂිතයේ ජල පෝෂක ඉසව් පිළිබඳ සවිස්තරව තොරතුරු ගෙන හැර පාමිනි. පොල්පිටියේ ගංගා දෙකක එකතුවෙන් ගමන් කරනා කැලණි නදිය සම සමව පෝෂණය කරන්​ෙන් මස්කෙළිය ඔය සහ කෙසෙල්ගමු ඔයයි. එකම ඉසව්වක එකම මාර්ගයක දෙපැත්තේ පිහිටි මෙම ගංගා යුගලය පොල්පිටියේ සිට සමාන්තරව වෙන් වෙන්ව ගමන් කළද අවසාන ඉසව්ව වන විට එම ගංගා යුගලය එකිනෙකට වෙනස් දේශගුණික හා පාරිසරික තත්ත්වයන් පිරුණු ලංකාවේ සුප්‍රසිද්ධ වන රක්‍ෂිත දෙකකින් ආරම්භ වන බවේ සත්‍යතාව සොයා අප එහි මූලාරම්භය සොයා පියමැන්නේ දරුණු අවදානම් තත්ත්වවලටද මුහුණ දෙමිනි.

අතීත කාව්‍යයක අප ඔබ සැම අසා අැත්තේ ‘‘මහවැලි, කැලණි, කළු, වලවේ ගංගා, සමනොල ගිර කුළින් පැන නැංගා’’ ලෙසිනි. නමුත් ගවේෂණාත්මක සංචාරක වාර්තාකරණයේ යෙදෙන අපි එම කාව්‍යය අසත්‍යයක් බව මින් පෙරද සඳහන් කළෙමු. මන්දයත් මහවැලි සහ වලවේ ගඟේ උපත සිදුවන්නේ හෝර්ටන්තැන්නෙන්. තවද කැලණි ගඟට සමව උපත දෙන්නේ ගවරවිල සහ හෝර්ටන්තැන්නේ කිරිගල්පොත්ත දකුණු බෑවුමෙන් බව මෙහිදී අපි සොයා ගත්තෙමු.

තවද කළු ගඟේ ආරම්භය සිදුවන්නේ සමනල කන්දෙන් බවද අසත්‍යයක් වන අතර කළු ගඟේ මුල් දියවර පැන නගින්නේ බෑණ සමනලින් වන අතර එහි ප්‍රධාන පෝෂකයක් වන කුරු ගඟ හීන් පිදුරුතලාව සහ මහ පිදුරුතලාව පිහිටි ඉසව්වෙන් පටන් ගන්නා වග අපි අත්දැක ඇත්තෙමු. කුතුහලය සහ ත්‍රාසය දනවන මෙම ගංගාවන්හි උපත සොයා යන ගමනේදී අප මීට පස් වසරකට පෙර වලවේ ගඟේ උපත සොයා ගත්තේ හෝර්ටන්තැන්නේ නොකිළිටි ඉසව්වක පය තබමිනි. එලෙසම කල්‍යාණියේද උපත සොයා අප හෝර්ටන්තැන්නේ කිරිගල් පොත්ත කන්දේ දකුණු බෑවුමෙන් ගමන පටන් ගත්තේ විස්මය දනවනසුළු දිය සීරා සහ ජල උල්පත් ගණනාවක් පිරුණු වගුරු මතිනි.
පොල්පිටියේ සිට ඇබර්ඩීන් ඇල්ල හරහා නෝර්ටන් පාලම අසලට පැමිණි අප කාසල්රි ජලාශය වෙත ගමන් කළේ මීට පෙර ලිපියේදීය. පසුව අප අද ගමන ආරම්භ කළේ කාසල්රි ජලාශයේ සිටය. කාසල්රි ජලාශය, මායිම දිගේ දික් ඔය හරහා ගමන් කළ පසු නෝර්වුඩ් වෙතට අපි ළඟා වුණෙමු.

නෝර්වුඩ් යනු හැටන් නගරයේ සිට සිරිපාදේ යන විට හැරී යා යුතු ප්‍රධාන මංසන්ධිය පිහිටි නගරයයි. නෝර්වුඩ්වලින් ඉදිරියටම ගමන් කරන විට බොගවන්තලාව හරහා මාර්ගය මාරතැන්න ඔස්සේ බලංගොඩ දක්වා ගමන් කළ හැක. අනෙක් පසින් නෝර්වුඩ් සිට රොක්වුඩ් හරහා මස්කෙළියට පැමිණ නල්ලතන්නියට ගමන් කළ හැක. හැටන් සිට සිරිපාදේ යා හැකි පහසුම සහ ළඟම මාර්ගය මෙය වන අතර මෙහිදී ඔබට කාසල්රි සහ මාඋස්සා ජලාශ යුගලයේම සුන්දරත්වය දැකබලා ගනිමින් ගමන් කළ හැක. අනෙක් පසින් නෝර්වුඩ් සිට අප්කොට් හරහා ඉතා දීර්ඝ හා දුෂ්කර මාර්ගයක් හරහා අතිශය සුන්දර කඳු මිටියාවත් සහ තේ වතු අතරින් මස්කෙළියට වුව ගමන් කළ හැකිය.

නෝර්වුඩ් සිට අප මීළඟට ගමන් කළේ බොගවන්තලාව දෙසටය. මෙහිදී මාර්ගයේ වම් පස පහළින් ගලා යන්නේ කෙසෙල්ගමු ඔය වේ. මෙහිදී අප දකින ගංගාව සාමාන්‍ය වශයෙන් යුතු වන අතර ගල් කුට්ටි සහ විවිධ අතුරු ඇළ මාර්ග පවා ඊට සම්බන්ධ වන ආකාරය දැකගත හැකි විය.

මෙහිදී කෙසෙල්ගමු ඔය ජන ජීවිතයට බොහෝ සමීප බව අපි දුටුවෙමු. බොහෝ ස්ථානවල ජනතාව තම දෛනික කර්තව්‍ය සඳහා ගංගා ජලය උපයෝගී කර ගන්නා බවත්. ඇතැම් ස්ථානවල ගංගාව කුණු අපද්‍රව්‍ය වලින් අපවිත්‍ර වී තිබෙන බවත් අපි දුටුවෙමු. හැටන් සිට බලංගොඩ දක්වා ගමන් කරන බස් රථ මෙම මාර්ගය හරහා ගමන් කරන අතර එම මාර්ගයේ සමස්ත දුර කිලෝමීටර් 65කට ආසන්න වේ. නමුත් පළාත් දෙකක් අතර දිවෙන එම මාර්ගයේ ගමන් කිරීමට බොහෝ වේලාවක් ගත වන අතර ඊට හේතුව නම් මාර්ගයේ තිබෙන පටු බව හා දුෂ්කරතාවයි.

නමුත් සමස්ත මාර්ගයම නෙත පිනවන සුන්දර දර්ශන වලින් අලංකෘත වී තිබෙන බව කිවයුතුමය. නෝර්වුඩ් පසුකර කිලෝමීටර කිහිපයක් දුර ගමන් කළ පසු අප ළඟා වූයේ ටින්සින් නගරයටයි. බොගවන්තලාවේ පිහිටි ප්‍රධානතම වාණිජ ඉසව්ව මෙය වන අතර අප තවදුරටත් බොගවන්තලාව නගරය පසු කරමින් ඉදිරියටම ගමන් කළේ බොගවාන වතුයාය පිහිටි ප්‍රදේශයටයි.

මෙම ඉසව්ව පසු කරන අපට රොග්විල් වතුයායේ කෙලවර පිහිටි විශාල කඳුවැටිය දැකගත හැකි අතර එම කඳුවැටියේ උසම ස්ථානය වනුයේ මීටර් 2016ක පමණ උසින් යුත් එල්බැද්ද කන්දය. ආගරපතන සහ බොගවන්තලාව වෙන්කරන එල්බැද්ද කැලේ ඉතා විශාල දිගු කඳුවැටියකි. මෙම කඳුවැටිය බොගවන්තලාවේ හරිත කන්ද සහ සබැඳිව ඩයගම මාර්ගය මායිම දක්වා පැතිර පවතියි. එල්බැද්ද කඳු වැටියෙන් අැදහැලෙන අතිරේක දිය දහරා රාශියක් තේ වතු මැදින් ගලාගෙන ගොස් කෙසෙල්ගමු ඔය පෝෂණය කරන වග අප මීට පෙර එල්බැද්ද කඳු තරණයේදී අපි දැක ඇත්තෙමු.

බොගවාන වතුයාය දක්වා ගමන් කළ අපට මීට තෙවසරකට පමණ හරිතකන්ද තරණය කළ ආකාරය සිහියට නැගුණු අතර නැවතත් අප බොගවාන වතුයායට හරවා කර්මාන්තශාලාව දෙසට ගමන් කළේ කෙසෙල්ගමුව ඔය උඩින් ඇති පාලම මතටය.
විශාල යකඩවලින් නිර්මාණය කර ඇති මාර්ගය දුම්රිය මාර්ගයක් සඳහා යොදන පාලමක ලක්‍ෂණ ගෙන හැර පානලදී. ගල්කුට්ටි, ගස්අතු සහ විවිධ බාධක මැදින් ගලාගෙන යන කෙසෙල්ගමු ඔය විටෙක පෙණ පිඩු නගමින් ඝෝෂාකාරීව ගලයි. එහි සුන්දරත්වයට සහ අලංකාර බවට නම් කිසිදු බාධාවක් තිබුණ බව අපි නුදුටුවෙමු.
නැවතත් බලංගොඩ මාර්ගයට පැමිණි අප ඉදිරියටම ගමන් කිරීමට පටන් ගත්තේ නෝර්ත් කෝට් වතුයාය දෙසටයි. නෝර්ත් කෝට් යනු මෙම ඉසව්වේ පිහිටි අවසන් වතුයායයි. මෙම වතුයාය මායිම වනුයේ හෝර්ටන්තැන්න අභය භූමියයි. කෙසෙල්ගමු ඔය මෙම වතුයාය හරහා ගලා බසින අතර වතුයායේ ඉහළ කෙලවරින් ගංගාව අඳුරු වනළැහැබට පිවිසෙයි. එනම් ගංගාව වතුයාය දක්වා ඉදිරියට ගමන් කිරීමට පටන් ගන්නා අතර එය කෙසෙල්ගමුව ඔයේ අත්දැකීමය. නමුත් මෙහි නොපෙනෙන පැතිකඩ නම් හෝර්ටන්තැන්නේ අඳුරු නිම්නය හරහා ගලාබසින කෙසෙල්ගමුව ඔයයි. මෙහිදී අප ගූගල් සිතියම් සහ 1:50,000 මිනින්දෝරු සිතියම් වැඩිදුර අධ්‍යයනය කරන ලදී.

වැඩිදුර සිතියම් අධ්‍යයනය මගින් අප දුටුවේ ලංකාවේ දෙවන උසම කන්ද වන කිරිගල්පොත්තේ දකුණු බෑවුමෙන් ඇදහැලෙන විවිධ දියසීරා වලින් එම පතනේ පහළ පිහිටි විශාල වගුර පෝෂණය වන බවයි. එම වගුර ගූගල් ත්‍රිමාණ සිතියම් තුලින්ද චන්ද්‍රිකා සිතියම් තුළින්ද අප පැහැදිලිව දැක ගත්තේ ඒ පිළිබඳ සම්මත රූපසටහන්, මිනින්දෝරු සිතියමේ පවා පැහැදිලිව දැක ගැනීමට තිබුණු හෙයිනි.

කෙසෙල්ගමු ඔයට උපත දෙන මෙම වගුර පිහිටියේ හෝර්ටන්තැන්නේ කිරිගල්පොත්ත දකුණු බෑවුමේ තහනම් නොඉඳුල් කලාපයකය. මෙවැනි ප්‍රදේශවල පවතින මඩ තත්ත්වය සහ සංවේදී පාරිසරික පද්ධති පිළිබඳ අප ​ෙහාඳින් දැනුම්වත් හෙයින් මීළඟට අපට අවශ්‍ය වූයේ එම ඉසව්ව නිරීක්‍ෂණය කිරීමයි.

මන්ද කිරිගල්පොත්ත කඳු වැටිය යනු හෝර්ටන්තැන්නේ බටහිර කෙළවර පිහිටි උසම ස්ථානය හා ලංකාවේ දෙවන උසම කඳු මුදුනයි. හෝර්ටන්තැන්න කාර්යාලයේ සිට කිලෝමීටර 7ක පමණ දුරින් පිහිටි මෙම කන්දට ළඟා වීමට සම්මත සංචරණ මාර්ගයක් පවතියි. වලංගු ප්‍රවේශපත්‍රයක් ලබාගෙන උදාසනින්ම ගමන ආරම්භ කළහොත් සවස්වීමට පෙර කඳු මුදුනට ගොස් නැවත ළඟා විය හැක. මන්ද තැනිතලාමය ප්‍රදේශවලින් අඩිපාර පැවතුණද ගමන පුරාවට කුඩා වන ළැහැබවල්, මඩකඩිති හා ජල මූලාශ්‍ර පසුකර දිවෙන මාර්ගය දුෂ්කරතා වලින් පිරී පවතියි.

කැලණි නදියේ සැබෑ උපත සොයා යන මෙම ගමනේදී සොයා ගත් මූලික පසුබිම් කරුණුවලට අනුව කැලණිගඟේ සමස්ත දිග කිලෝමීටර් 145ක් පමණ ලෙසත් එය ලංකාවේ දිගින් 4 වන ස්ථානය පවතින බවත් දැන ගත්තෙමු. නමුත් මෙම ගවේෂණයේදී අප සොයාගත් කරුණු කාරණාවලට අනුව එම දත්ත වෙනස් විය යුතු බව අපි සාක්‍ෂි සහිතව දැනගත්තෙමු. නමුත් මෙම දත්ත අප විසින් සොයාගත් ගවේෂණයේ ප්‍රතිඵලය විනා සම්මත දත්ත නොවන බව මතක් කර සිටින්​ෙනමු.

මහවැලි ගංගාව කි.මී. 335ක දිගින් ලංකාවේ ප්‍රථම ස්ථානයේ වැජඹෙන විට කි.මී. 164ක දිගින් යුත් මල්වතු ඔය දෙවන ස්ථානය ගනියි. කලා ඔය තෙවැනි තැන ගන්නේ කි.මී. 148ක දුරක් දක්වමින් වන අතර කැලණි ගඟ කි.මී. 145ක දුරක් සටහන් කරමින් සිව්වන ස්ථානය ගනියි. යාන් ඔය සහ දැදුරු ඔය එක සමානව කි.මී. 142ක දුරින් යුතුව පස්වන ස්ථානය ගන්නා අතර ලංකාවේ දැවැන්ත ගංගා කිහිපය වන්නේ මේවාය. මීට අමතරව වලවේ ගඟ, මාදුරු ඔය, මහ ඔය, කළු ගඟ, කිරිඳිඔය, කුඹුක්කන් ඔය, මැණික් ගඟ, ගිං ගඟ, මී ඔය සහ ගල් ඔය ගත හැකි අතර මේ සියල්ල කි.මී. 100කට වඩා දිගින් යුතු වේ.

අප මෝදර මෝය කටේ සිට කැලණි ගඟට සමාන්තරව සේදවත්ත, වැල්ලම්පිටිය, කැලණිය, කඩුවෙල, මල්වාන, හංවැල්ල, පූගොඩ, රන්වල, අවිස්සාවේල්ල, දයිගල, රුවන්වැල්ල, යටියන්තොට, කිතුල්ගල හරහා පොල්පිටිය සමනල බලාගාරය වෙත පැමිණියෙමු. පසුව එතැන් සිට සප්තකන්‍යා සහ ලක්‍ෂපාන හරහා නෝර්ටන් වෙත පැමිණ කැනියොන් හරහා මාඋස්සාවට පැමිණියේ සමස්ත ගමනේ දුර කිලෝමීටර 148කට ආසන්න දුරක් ලෙස සටහන් කරගනිමිනි.

මෙහිදී බලනවිට සම්මත කැලණි නදියේ දුර වන කි.මී. 145ට සමානකමක් දක්වන බව අප අත්දැක්කද මාඋස්සාව යනු කැලණි ගඟේ උපත නොවන බව අපි දන්නෙමු. මන්ද මාඋස්සාව යනු මස්කෙළිය ඔයේ උපත පමණි. එනම් කැලණි ගඟෙන් 50%ක් පෝෂණය කරන මස්කෙළිය ඔය පටන් ගන්නා ස්ථානයට ඇති දුර කොළඹ මෝදර සිට දළ වශයෙන් කි.මී. 145ක් හෝ 148ක් අතර පවතියි.

නමුත් කැලණි ගඟේ ඉතිරි අර්ධය පෝෂණය කරනුයේ කෙසෙලස්ගමු ඔයෙනි. එම නිසා අප පොල්පිටියේ සිට අැබර්ඩීන් ඇල්ල හරහා නෝර්ටන් පාලමට පැමිණ එතනින් කාසල්රි ජලාශයටත්, නෝර්වුඩ්, ටින්සින් සහ බොගවන්තලාව හරහා නෝර්ත් කෝට් වතුයායට පැමිණියේ සමස්ත ගමනේ දුර කි.මී. 175ක් පමණ සටහන් කර ගනිමිනි. නමුත් මෙතැන් සිට ගඟ දිගේ කිරිගල්පොත්ත දකුණු බෑවුමට ඇති දුර දළ වශයෙන් කි.මී. 8ක් පමණ වේ. එහිදී බලන කල කැලණි ගඟේ උපත දෙන අනෙක් ස්ථානය පිහිටි හෝර්ටන්තැන්න කෙසෙල්ගමු ඔයේ ආරම්භක ස්ථානයට කොළඹ මෝදර සිට ඇති මුළු දුර කි.මී. 183කට ආසන්නය. සම සමව උපත දෙන ගංගා දෙකෙන් ඈතින්ම පටන් ගන්නා ගංගාව වනුයේ කෙසෙල්ගමු ඔයයි. එසේ නම් කැලණි ගඟේ සැබෑ දුර නිතැතින්ම කිලෝමීටර 180කට වඩා වැඩිය. එනම් ලංකාවේ දෙවන දිගම ගංගාව විය යුත්තේ කැලණි ගංගාවයි.
සාමාන්‍යයෙන් ගංගාවක් යනු විවිධ දිශාවලින් එකතු වන විවිධ ජල පෝෂකවල එකතුවෙන් හටගන්නා ප්‍රධාන තෝතැන්නකි. එලෙස බලන විට කැලණි ගඟට සීතාවක ගඟ, ගුරුගොඩ ඔය, වීඔය ආදී ප්‍රධාන අවශේෂ දියදහරාවන් එකතු වේ. ඊට අමතරව මස්කෙළිඔය සහ කෙසෙල්ගමු ඔය ප්‍රධානම පෝෂක දෙකක් වන්නේ පොල්පිටියේදී මෙම ගංගා දෙකම එකට එකතුවී ඉන් පහළට කැලණි ගඟ ලෙස තනි දියවරක් ලෙස එය ගලා යාමයි. එකිනෙකට වෙනස් ස්ථාන දෙකකින් මෙම ගංගා යුගලය ආරම්භ වන බැවින් ප්‍රධාන සම්බන්ධිතය ඇති පොල්පිටියේ සිට දුරින්ම පිහිටි ස්ථානයකින් හට ගන්නා ගංගාව එම ගඟේ ප්‍රථම ආරම්භක ස්ථානය ලෙස සැලකිය හැකිය. එම නිසා කැලණි ගඟේ මූලරම්භය වන්නේ හෝර්ටන්තැන්න වන අතර ඒ අනුව බලන කල කැලණි ගඟ ලංකාවේ දෙවන දිගම ගංගාව වන්නේ කි.මී. 180කට වඩා වැඩි දුරක් සටහන් කරමින් පළාත් 3ක් හරහා දිස්ත්‍රික්ක 4ක් අතරින් ගලා යමිනි.

මත්ස්‍ය කර්මාන්තය, ප්‍රවාහන සේවය, සංචාරක කර්මාන්තය, මැණික් කර්මාන්තය, හේන් ගොවිතැන් වගාව, පානීය ජල අවශ්‍යතාව සහ ජල විදුලිය ජනනය කිරීමට මහත් පිටිවහලක් ලබාදෙන කැලණි ගඟ පූජනීයත්වයෙන්ද සැලකිය යුතු ගංගාවකි. ලංකාවේ මුල්ම සතුරු ආක්‍රමන හා අවසන් සතුරු ආක්‍රමණවලදී හෙලයන්ට යුද වැදීමට සහ සැඟවී සිටීමටත් විවිධ රාජ නිධාන ගබඩා කිරීමටත් කැලණි ගඟ උපකාරී වුණි.

ලංකාවේ පලලින් වැඩිම ගඟ වන්නේද කැලණි ගඟයි. ගංවතුර සමවලදී දැඩි ලෙස පිටාර ගලන කැලණි ගඟේ ආරක්‍ෂාවට වැඩි අවධානයක් වාරිමාර්ග අංශයෙන් යොමු කරනුයේ එදා පටන් අද වන තුරු කොළඹට අවාදානමක් විය හැකි එකම ජල මූලාශ්‍රය මෙය වන බැවිනි.

තවද කොපමණ නියං සමයක් උදාවුවද කැලණි ගඟේ බස්නාහිර කොටස කිසි විටක නොසිඳෙන බවත් එම ප්‍රදේශය ගඟේ ගැඹුර සහ උමං වැඩිම ඉසව්ව ලෙසත් අපි මෙහිදී අත්දැක්කෙමු. මතු දිනක කැලණි ගඟේ මෙම ඉසව්ව සිඳීයාවි නම් එය සමස්ත ලංකාවේම දැඩි නියඟයකට පත් වූ පසුවය. කෙසේ හෝ පුරා කොටස් 13ක් හරහා අපි ඔබව කොළඹ මෝදර මෝය කටේ සිට කැලණි ගඟේ උපත දක්වා ගෙනගියෙමු. සැබවින්ම කැලණි ගඟ යනු හෙළ අතීතය හා ප්‍රෞඪත්වය පිරුණු වර්තමානයේ වාණිජ අංශයෙන් අතිශය වැදගත් ගංගාවකි.
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු
-ලංකාදීප- පුවතට ලියූ ලිපි මාලාවේ අවස. ලිපිය අසුරෙනි.

Read 131 times