Saturday, 28 November 2020

සඳ මතුපිටින් ජලය සොයාගත් කතාවේ සුලමුල Featured

Posted On Sunday, 01 November 2020 10:47 Written by
Rate this item
(1 Vote)


විවිධ කාල වකවානු තුළ ලෝකයේ නිමක් නැති උණුසුම් පුවත් නිර්මාණය වීම ඉතාමත් සුලභ කාරණයකි. එලෙස ලෝකය උඩුයටිකුරු කරන පුවත් නිර්මාණය කරන පුවත් උල්පතක් බඳු වන්නේ විද්‍යා ක්ෂේත‍්‍රයයි. නව සොයාගැනීම් හා ඊට අදාළ පර්යේෂණ හා ගවේෂණයන් කියාපාන්නේ අනාගත ලෝකයට විවර වන මං පෙත්ය. මෙලෙස මෙම සතියේ බීබීසී, අල්ජසීරා, නේචර් වැනි ලොව පුරා තිබෙන බොහෝ සුප‍්‍රසිද්ධ මාධ්‍ය ආයතනයන්ගේ උණුසුම්ම පුවත වූයේ ”සඳ මතුපිටින් ජලය සොයාගනියි” යන පුවතයි. අභ්‍යවකාශ ගවේෂණය ලොව ආරම්භ වූ දා සිට මිනිසාගේ තිබූ මූලිකම අරමුණක් වන්නේ සඳෙහි ජලය පවතිනවාද? නැත්ද? යන්න සොයාගැනීමයි. කාලෙන් කාලයට පුවත් මවන මේ කාරණය මෙවර සත්‍ය වේද? එම කාරණය සත්‍ය වූවා නම් ඒ කුමන පර්යේෂණයක ප‍්‍රතිඵලයක්ද? අද අපි විමසමු ඒ ගැන.

චන්ද්‍රයා මතුපිට ජලය සොයායෑමේ පරීක්ෂණය 20 වන සියවස දියත් කෙරුණු ඇපලෝ වැඩසටහන දක්වා විහිදී යයි. ධ‍්‍රැවීය චන්ද්‍ර ආවාටවල අයිස් ඇතිවීමේ හැකියාව මුලින්ම යෝජනා කළේ 1961 දී කැල්ටෙක් පර්යේෂකයන් විසිනි. ඇපලෝ ගගනගාමීන් විසින් එකතු කරන ලද චන්ද්‍ර පාෂාණ සාම්පලවල හෝඩුවාවක් සොයා ගත හැකි වුවද, මෙම සාම්පල අපවිත‍්‍ර වීම හේතුවෙන් කරන ලද පර්යේෂණයන් අසාර්ථක විය. 1971 ඇපලෝ 14 යානය ගොඩ බෑ ස්ථානයෙන් ලැබූ සාක්ෂි අනුව සඳ හි ඇති ජලය ගැන මුල්ම හෝඩුවාව ලැබූ අතර 1978 සෝවියට් රුසියාවෙන් දියත් කෙරුණු ලූනා 24 යානයෙන් සඳෙහි ජලය ඇති බව නිශ්චිතව ප‍්‍රකාශයක් නිකුත් විය. ඉන් අනතුරුව චන්ද්‍රයා මත ඇති ජලය ගැන ප‍්‍රකාශ නිකුත් වුවත් 21 වන සියවස වන විට මෙම මාතෘකාවට නැවතත් උණුසුම් මුහුණතක් ලබා දීමට ඉන්දියාවේ අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයට (ISRO) මගින් චන්ද්‍රයා වෙත දියත් කෙරුණු චන්ද්‍රයාන් 1 යානය සමත් වන අතර යානයේ ඇති උපකරණ මගින් ලබා ගත් දත්ත අනුව සඳ මත අයිස් වූ ජලය ඇති බවට අනාවරණය කරගැනීමට හැකිවන අතර 2010 මාර්තු මාසයේදී චන්ද්‍රයාන් 1 යානයේ සිටි මිනි-එස්. ඒ. ආර් සඳෙහි උතුරු ධ‍්‍රැවය අසල ස්ථිරවම අඳුරු වූ ආවාට 40 කට වැඩි ප‍්‍රමාණයක් සොයාගෙන ඇති බව වාර්තා වන අතර ඒවා හි ඇස්තමේන්තු කර ඇති පරිදි මෙටි‍්‍රක් ටොන් මිලියන 600 ක් පමණ ජල අයිස් අඩංගු වනවා. මෙම සොයාගැනීම කෙරෙහි බොහෝ දෙනා විවිධ විවේචනයන් හා අදහස් ඉදිරිපත් විය. නමුත් මෙවැනි විද්‍යාත්මක සොයාගැනීම් හි සැලකිය යුතු හෝ නිමාවක් දකින්නේ තව තවත් පර්යේෂණ කරමින් සිදුකරගන්නා ලද නිශ්චිත තහවුරු කරගැනීම් වලින් පමණි.

අභ්‍යවකාශ පර්යේෂණ ක්ෂේත‍්‍රයේ වෙනසක් ඇති කරමින් අධෝරක්ත නිරීක්ෂණ ගුවන් යානා භාවිත කරමින් අභ්‍යවකාශය නිරීක්ෂණය කිරීමේ තාක්ෂණය පළමු වරට භාවිතා කරන ලද්දේ 1965 වසරේ දීය. නාසා ආයතනයේ ව්‍යාපෘතියක් වූ මෙය සිකුරු ග‍්‍රහයා නිරීක්ෂණය කිරීම සඳහා උපයෝගී කරගත් අතර 1969 දී දුරේක්ෂයක්ද ගුවන් යානයක සවිකිරීමේ කුයිපර් ව්‍යාපෘතිය ඇරඹිණි. එහි මූලික අරමුණ වූයේ වායුගෝලයේ ජල-වාෂ්ප අවශෝෂණය අවම කරමින් අධෝරක්ත කිරණ උපයෝගී කරගනිමින් අභ්‍යවකාශ ගවේෂණයයි. 1975 වසර වන විට වැඩ අවසන් වූ මෙම ව්‍යාපෘතියෙන් යුරේනස් ග‍්‍රහලෝකය වටා ඇති මුදු පද්ධතිය සොයා ගැනීම ඇතුළු විද්‍යාත්මක අධ්‍යයන රැසකට මෙම දුරේක්ෂය ඉවහල් විය. අනතුරුව කුයිපර් ව්‍යාපෘතියේ දිගුවක් ලෙස ඇමරිකාවේ නාසා ආයතනයේ 80% ක මූල්‍ය දායකත්වයෙන් හා ජර්මානු ගුවන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (DLR) 20% මූල්‍ය දායකත්වයෙන් මෙන්ම විශ්වවිද්‍යාල අභ්‍යවකාශ පර්යේෂණ සංගමයට (USRA) එකතුවෙන් අධෝරක්ත තාරකා විද්‍යාව සඳහා වූ නිරීක්ෂණාගාරය වන සොෆියා (SOFIA) ව්‍යාපෘතිය ඇරඹි අතර බෝයිං 747 වර්ගයේ නවීකරණය කෙරුණු ගුවන් යානයක් තුළ ඇති නිරීක්ෂණාගාරය සමගින් තම මංගල පර්යේෂණ චාරිකාව 2010 වසරේ දී ආරම්භ කරන ලදී. මුල් කාලයේ චන්ද්‍රයා ගවේෂණය නොකළ අතර කළු කුහර, තරු පොකුරු සහ මන්දාකිණි වැනි අභ්‍යවකාශ වස්තූන් අධ්‍යන කෙරූ සෝෆියාගේ අවධානය සඳ වෙත යොමු වූයේ 2018 අගෝස්තු මාසයේදීය.

https://sannasa.org/26d74858-5dac-4f76-8679-29dbdc9ff536" width="325" height="155">

අඩි 45,000 ක් පමණ උන්නතාංශයක පියාසර කරමින් අඟල් 106 ක විෂ්කම්භයකින් යුත් දුරේක්ෂයක් සහිත මෙම නවීකරණය කරන ලද බෝයිං 747 ජෙට්ලයිනර් ගුවන් යානය අධෝරක්ත කිරණ යවමින් විශ්වය පිළිබඳ පැහැදිලි දර්ශනයක් ලබා ගැනීම සඳහා පෘථිවි වායුගෝලයේ ජල වාෂ්පයෙන් 99% ට වඩා ළඟා වේ. සොෆියා දුරේක්ෂ සඳහා එහි අධෝරක්ත කැමරාව භාවිතා කරමින් ජල අණු වලට ආවේණික වූ නිශ්චිත තරංග ආයාමයක් ලබා ගැනීමට හැකි වූ අතර හොඳින් හිරු එළිය වැටෙන ක්ලැවියස් ආවාටය තුළින් ජලය කුඩා ප‍්‍රමාණයක් සොයාගන්නා ලදී. මෙම සොයා ගැනීම පෙන්නුම් කරන්නේ ජලය චන්ද්‍ර පෘෂ්ඨයේ සීතල, සෙවනැලි ස්ථානවලට පමණක් සීමා නොවන බවයි.

මෙහිදී සොෆියා විසින් අනාවරණය කරගත් ජලයට වඩා 100 ගුණයක් සහරා කාන්තාරයේ පසෙහි ජල ඇති අතර මෙපමණ කුඩා ප‍්‍රමාණයක් තිබියදීත්, මෙම සොයා ගැනීම මඟින් ජලය නිර්මාණය වන්නේ කෙසේද සහ එය රළු, වාතය රහිත චන්ද්‍ර පෘෂ්ඨය මත පවතින්නේ කෙසේද යන්න පිළිබඳව නව ප‍්‍රශ්නයක් මතු කරයි. එමෙන්ම සඳෙහි පෘෂ්ඨය පිළිබඳ පූර්ව නිරීක්ෂණ මගින් යම් ආකාරයක හයිඩ‍්‍රජන් වර්ගයක් අනාවරණය වූ නමුත් ජලය හා එහි සමීප රසායනික වර්ගයක් වන හයිඩ්‍රොක්සයිල් (OH) අතර වෙනස හඳුනා ගැනීමට නොහැකි විය. මෙම ස්ථානයෙන් ලබාගත් දත්ත වලින් හෙළි වන්නේ මිලියනයකට කොටස් 100 ත් 412 ත් අතර සාන්ද්‍රණයක ජලය (දළ වශයෙන් අවුන්ස 12 ක වතුර බෝතලයකට සමානයි.) චන්ද්‍ර පෘෂ්ඨය පුරා පැතිර ඇති පස් කියුබික් මීටරයක සිරවී ඇති බවයි. එහි ප‍්‍රතිඵලය නේචර් තාරකා විද්‍යාවේ නවතම කලාපයේ ප‍්‍රකාශයට පත් කර තිබේ. මෙම ජලය චන්ද්‍රයා තුළ නිර්මාණය වීමට හේතු සාධක රැසක් තිබිය හැකිය. චන්ද්‍රයා මතට ඇද හැළෙන උල්කා මගින් මේ ජලය රැගෙන ආවා විය හැක. එසේත් නොමැති නම් සූර්ය සුළඟ මගින් ගෙන එන හයිඩ‍්‍රජන් හා චන්ද්‍ර පෘෂ්ඨයේ ඇති ඔක්සිජන් යන ඛනිජයන් එකිනෙක රසායනික ප‍්‍රතික‍්‍රියාවක් සිදු කර හයිඩ්‍රොක්සයිල් නිර්මාණය වීම තුළින් ජලය නිර්මාණය විය හැක. තවද චන්ද්‍රයා මතට ඇද හැළෙන උල්කාවන්ගේ විකිරණ මගින් හයිඩ්‍රොක්සයිල් නිර්මාණය වීම තුළින් ද ජලය නිර්මාණය විය හැක.

”ජලය විද්‍යාත්මක අරමුණු සඳහා මෙන්ම අපගේ ගවේෂකයන්ගේ භාවිතය සඳහා ද වටිනා සම්පතක්” යැයි නාසා හි මානව ගවේෂණ හා මෙහෙයුම් දූත මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩලයේ ප‍්‍රධාන ගවේෂණ විද්‍යාඥ ජේකොබ් බ්ලීචර් මහතා පැවසි අතර තවදුරටත් ඔහු පැවසුයේ. ‘‘අපට සඳෙහි ඇති සම්පත් භාවිතා කළ හැකි නම්, නව විද්‍යාත්මක සොයාගැනීම් සක‍්‍රීය කිරීම සඳහා අපට අඩු ජලය සහ තවත් උපකරණ රැගෙන යා හැකිය.” යන්නයි.

ඇත්ත වශයෙන්ම ජලය යනු අප ජීවත් වන ලෝකයට අත්‍යවශ්‍යම සම්පතක් එය අභ්‍යවකාශයට ද වලංගු වේ. සම්පතක් ලෙස සොෆියා සොයාගත් ජලය පහසුවෙන් භාවිතයට ගත හැකිද යන්න තීරණය කළ යුතුව ඇත. නාසා හි ආටෙමිස් වැඩසටහන යටතේ, 2024 මේ පිළිබඳ ගවේෂණයට මිනිසුන් චන්ද්‍ර පෘෂ්ඨයට යැවීමට සූදානම් අතර, එහි අවසානය ඉලක්කය වන්නේ තිරසාර මානව පැවැත්මක් ඇති කිරීමටත් පෙර සඳ මත ජලය තිබීම පිළිබඳව හැකි සෑම දෙයක්ම ඉගෙන ගැනීමයි. මේ සොයාගැනීමත් සමගම ඉදිරියේදී සඳේ ජනාවාස ඇතිවේවිද, මන්ද යත් ජලය යනු මිනිසාගේ මූලික පැවැත්මට වුවමනා වන සාධකයකි. මෙම සොයාගැනීමේ සත්‍ය අසත්‍යතාව ගැන තීරණය කිරීමට අපට තවත් කලක් බලා සිටීමට සිදුවේ.


මතීෂ සේනානායක / ආර්.ජේ. 
: www.nasa.gov/ www.bbc.com වෙබ් පිටුව භාවිතයෙන්

Read 98 times Last modified on Sunday, 01 November 2020 11:42