Saturday, 31 October 2020

ලංකාවේ මුල්ම හදවත් සැත්කමට ලක් වූ දැරිය හැත්තෑ වසකට පසු කියන කතාව

Posted On Tuesday, 06 October 2020 08:55 Written by
Rate this item
(0 votes)
ලංකාවේ මුල්ම හදවත් සැත්කමට ලක් වූ දැරිය හැත්තෑ වසකට පසු කියන කතාව
- දැරියට අවුරුදු දහයයි සැත්කම කළේ ජාතික රෝහලේ
- මුලින්ම සැක කළේ ක්ෂය රෝගය කියලා
- සැත්කම සිදු කළේ උරස් කුහරය විවෘත කරලා.
වර්තමානයේ නම් හෘද සැත්කමක් යනු සාමාන්ය දෙයකි. නමුත් අදින් දශක හතකට පමණ පෙර හදවත් සැත්කමක් යනු විස්මකර්ම වැඩකි. විශේෂයෙන්ම කුඩා දැරියකට හෘද සැත්කමක් මෙරට දී සිදු කිරීම පුදුමෙනුත් පුදුමයකි.
ඉතිහාසගත වන ඒ සැත්කමට භාජනය වී ඇත්තේ යන්තම් වයස අවුරුදු නවය ඉක්මවූ දැරියකි. ඇය දැන් වයස අවුරුදු 80ක මිත්තනියකි. සැත්කම සිදු කර ඇත්තේ 1949 ජුනි මාසයේ දී කොළඹ ජාතික රෝහලේ දී ය.
උරහිස් ප්රදේශය විවෘත කර සිදු කරන ලද ශ්රී ලංකාවේ ප්රථම විවෘත හදවත් සැත්කමට ලක් වූ එම දැරිය අද සිය දරු මුනුපුරන් සමඟ සතුටින් කල්ගෙවන්නීය. ඇය ගාල්ලේ කිතුලම්පිටියේ පදිංචි හෙට්ටිආරච්චිගේ දෝන ෆිලෝමිනා මහත්මියයි.
පුත්තලම දිස්ත්රික්කයේ මාරවිල ෆිලෝමිනාගේ උපන් ගම විය. වර්ණකුලසූරිය ඇග්නස් ෆර්නැන්ඩු මහත්මියගේ කුසින් හෙට්ටිආරච්චි‌ගේ දෝන අගිස්තීනු අප්පුහාමි මහතාට දාව 1939 වර්ෂයේ දෙසැම්බර් මස 20 වැනි දින මූදුකටුව රෝහලේදී ඇය උපත ලැබුවාය. ඇයට සහෝදරියන් දෙදෙනකු හා සහෝදරයන් දෙදෙනකු සිටි අතර ඇය පවුලේ දෙවැන්නා වූවාය. කුඩා ෆිලෝමිනාට සිව් හැවිරිදි වියේදී පිය සෙනෙහස අහිමි වූවත් මව අඩුපාඩුවක් නොකර දරුවන් පස්දෙනා ඇති දැඩි කළාය. ඒ අවධිය ගැන ෆිලෝමිනා මෙසේ පවසයි,
“අපි කතෝලික ආගමේ. අපේ අම්මට සහෝදරයන් පස්දෙනෙක් හිටියා. වැලිමඩ පැත්තේ ව්යාපාරයක් කරන මාමා කෙනෙකුත් හිටියා. තාත්තා නැති වුණාට පස්සේ ඔවුන් තමයි අපේ පවුලම බලාගත්තේ. මම පාසල් ගියේ කටුනේරිය බාලිකා විද්යාලයට”
පාසලේදී යෙහෙළියන් හා හරි හරියට සෙල්ලම් කරන ෆිලෝමිනා දිනක් තම මවට පැවසුවේ සෙල්ලම් කරන විට පපුවේ මහන්සියක් දැනෙන බවයි. දැරිය කී දේ පිළිබඳ මවද අවධානයෙක් සිට ඇත. එනිසා සිය දියණිය ෆිලෝමිනාගේ හදවතේ ගැස්මේ වෙනසක් ඇති බව ඇයට දැනී තිබිණි. ඇයට ඒ බව දැනුණේ ෆිලෝමිනා තමන්ට තුරුළුව නිදාගන්නා අවස්ථාවලදී ය. අනෙක් දරුවන්ගේ හෘදයේ ස්පන්දනයට වඩා ෆිලෝමිනාගේ හෘද ස්පන්දනය වෙනස් බව තේරුම්ගත් මව ඒ ගැන වඩාත් අවධානයෙන් පසු වූවාය.
“මගේ පපුවේ ගැස්ම වැඩියි කියලා අම්මා කිව්වා. ටිකෙන් ටික මේ තත්ත්වය වැඩි වුණා. හුස්ම ගැනීමේ අපහසුතාවකුත් ඇති වුණා. ළඟපාත හිටිය දොස්තරලාගෙන් බෙහෙත් ගෙනාවා. ඒත් අඩු වුණේ නැහැ. දවසක් මට ලේ වමනේ ගියා. එදා අම්මා හරියට බය වුණා. මාම කෙනෙකුත් එක්ක ඉක්මනටම මාව මූදුකටුව රෝහලට අරගෙන ගියා,” ෆිලෝමිනා සිය බාල කාලය සිහි කරයි.
මූදුකටුව රෝහලේදී ඇය පරීක්ෂා කළ වෛද්යවරයා පවසා ඇත්තේ දැරිය කොළඹ ජාතික රෝහල වෙත ගෙන යා යුතු බවයි. එහිදී සිදු වූ දේ ගැන එවකට ජාතික රෝහලේ ජ්යෙෂ්ඨ ශල්ය වෛද්යවරයෙකු ලෙස සේවය කල පී.ඒ.පි.ජෝසප් මහතා පුවත්පතකට මෙසේ පවසා තිබිණි.
“මේ දැරිය මට හමු වුණේ 1949 වසරේ ජුනි මාසයේ දී. ඇය ඒ වෙන කොට අවුරුදු දහයක් වයසැති පාසල් දැරියක්. අම්මා සහ මාමා කෙනකු සමඟ කොළඹ ජාතික රෝහලට පැමිණ සිටියා. ඔවුන් අත මාරවිල වෛද්යවරයකු දුන් ලියුමක් තිබුණා. ඒ ලිපිය යොමු කරලා තිබුණේ එවකට කොළඹ ජාතික රෝහලේ ජ්යෙෂ්ඨ කායික රෝග වෛද්යවරයා වූ ජී.ආර්.හැන්ඩි මහතාට. ඒ ලිපියේ සඳහන් කරලා තිබුණා ඇයට උණ කැස්ස සහ ලේ වමනය යන රෝග ලක්ෂණ තිබෙන බව. ඒ නිසා ඇයට ක්ෂය රෝගය විය හැකියැයි එම වෛද්යවරයා අනුමාන කර තිබුණා. වෛද්යවරයා ක්ෂය රෝගයට අදාළ බෙහෙත් ලබා දී තිබුණත් බෙහෙත්වලට රෝගය පාලනය වන බවක් පෙනුණේ නැහැ. අපි මේ කුඩා දියණිය රෝහලට ඇතුළත් කරගෙන 19640 අංකය යටතේ රෝහලේ ලියාපදිංචි කළා.
වෛද්ය ජෝසප් පවසන්නේ ඇයට හුස්ම ගැනීමේ අපහසුතාවක් තිබූ බවයි. එමෙන් ම කම්මුල්ගාය හා පැපොල ද නිව්මෝනියාව ද කලින් අවස්ථාවල වැලඳී තිබූ බව ඔහු සඳහන් කරයි. වෛද්ය හැන්ඩි දැරිය පරීක්ෂා කළ පසු ශල්ය වෛද්ය ඇල්බට් සවර්ලිමුත්තු රාජසිංහම් මහතාට යොමු කර තිබේ. 27 බී යනුවෙන් එවකට හැඳින්වූ වාට්ටුවේ දී වෛද්ය රාජසිංහම් ඇය පරීක්ෂා කළ අතර වෛද්යවරයාගේ නිගමනය වූයේ ද ඇගේ රෝගය ක්ෂය රෝගය නොවන බවයි. දැරිය කායිකව ඉතා නිරෝගී බව ද වෛද්යවරයාගේ නිගමනය විය. නමුත් ඇගේ හෘද ස්පන්දනය විනාඩියකට වාර 98ක අසාමාන්ය තත්ත්වයක පැවතිණි. ඒ අනුව වෛද්යවරුන් නිගමනය කළේ ඇය ක් හදවතේ යම් අසාමාන්ය තත්ත්වයකින් පෙළෙන බවයි.
ජුනි මස 13 වැනි දින ලබාගත් එක්ස් කිරණ ඡායාරූපවලින් පෙනී ගියේ ඇගේ හෘද වස්තුවේ ඉදිමීමක් තිබෙන බවයි. වැඩිදුර පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ කලල අවස්ථාවේදී පෙණහැල්ලට රුධිරය සපයන කුඩා ධමනියක් උපතින් පසුවත් නොවැසී තිබීම හේතුවෙන් දැරියගේ හෘදයේ අසාමාන්ය තත්ත්වයක් ඇති වී තිබෙන බවයි. එම තත්ත්වය දිගින් දගටම පැවතීම නිසා පෙණහැල්ලට රුධිරය සපයන කුඩා නාළයක ලේ කැටියක් සිර වී ඇද්දැයි සැකයක් ද මතු වී තිබිණි. වෛද්යවරුන්ගේ නිගමනය වූයේ දැරිය හදිසි ශල්ය කර්මයකට භාජනය කළ යුතු බවයි.
ගැටලුව වූයේ ඇගේ උරස් කුහරය විවෘත කර එම සැත්කම කළ යුතු වීමයි. මින් පෙර මෙරට දී කිසිම රෝගියකු සඳහා එවැනි සැත්කමක් කර නැත. වෛද්යවරුන් මවට කියා සිටියේ මේ සැත්කම නොකළහොත් ඇගේ ජීවිතය අවදානම් බවයි. කෙසේ වෙතත් තමන්ට සිදු කරන්නට යන සැත්කමේ බරපතළකම ගැන කිසිදු අවබෝධයක් නැතිව සිටි මේ කුඩා දැරිය පසෙක සිටිය දී වෛද්යවරු මවටත් මාමලාටත් ඇගේ රෝගී තත්ත්වයත් කරන්නට යන සැත්කමේ භයානක තත්ත්වයත් විස්තර කළහ. දැරියගේ මවට අවශ්ය වූයේ ජීවිත අවදානමකින් සිටින සිය දියණිය කෙසේ හෝ වැඩි කාලයක් ජීවත් කරවීම බැවින් ඇය සැත්කම කැමැත්ත දුන්නාය.
ජුනි මස 17 වනදා සැත්කම සිදු කිරීමට තීරණය කෙරිණි. දැරිය ශල්යකර්මය සඳහා බඳුන් කර ඇත්තේ ශල්ය වෛද්ය රාජසිංහම් විසිනි. ඔහුගේ සහායට ශල්ය වෛද්ය පී.ඒ.පී.ජෝසප් මහතා සිටි අතර නිර්වින්දන වෛද්යවරයා ලෙස කටයුතු කර ඇත්තේ වෛද්ය ලැඩී ප්රනාන්දු මහතාය.
“හැමෝම සුපරික්ෂාකාරීව ශල්යකර්මය දෙස බලා සිටියා. ඉතිහාසගත මොහොත උදා වුණා. දැරිය දකුණු ඇළයට හාන්සි කරවා වම් අත ඉස්සරහට නවලා උරපතු ඇටය පසුපසට ඇදෙන විදියට තිබ්බා. උරහිස් අසල සිට වෛද්ය රාජරත්නම් හතර වැනි ඉළ ඇටය දක්වා ඇදේට ඉරක් කැපුවා. උරපතු ඇටය පේෂිවලින් නිදහස් කරලා අන්තර් පර්ශුක කැපුමක් දාලා හෘදයත් පෙණහැල්ලත් අතර ඇති පටලයත් මතු කරගෙන ශල්යකර්මය සිදු කළා. ඒ ශල්යකර්මයට පැය දෙකක් සහ විනාඩි 45ක කාලයක් ගත වුණා.
ශල්යකර්මය අතරතුර උරස් කුහරයේ දාරයේ ඉරීමක් ඇති වෙලා එය ගැටගසා රුධිර වහනය නවත්තන්නත් අපට සිදු වුණා. ශල්ය කර්මය සාර්ථක වුණා. කිසිම අතුරු ආබාධයක් නැතිව ෆිලෝමිනා සුවය ලැබුවා. මේක දැවැන්ත ජයග්රහණයක්. අප සියලු දෙනාම ඒ සතුට වින්දා.” යැයි ජෝසප් වෛද්යවරයා සඳහන් කර ඇත.
එදා කළ ශල්යකර්මයේ කැළැල් තවමත් ඇගේ සිරුරේ ඉතිරිව තිබේ. ඇය පවසන්නේ උරස් කුහරය විවෘත කළ තුවාලයට මැහුම් 28ක් යොදා තිබූ බවයි. කුඩා දැරියකව සිටි ඇයට එකල ඒ සැත්කම ගැන ලොකු වැටහීමක් තිබුණේ නැත. ඇය පවසන්නේ සැත්කම ගැන කී විට තමන් ඊට අකමැති වූ බවයි. නමුත් අම්මාත් මාමලාත් මේ ගැන කරුණු පැහැදිලි කළ බවත් ඇයට මතකය.
“ඒ කොහොම වුණත් අම්මාත් මේ සැත්කම ගැන බයෙන් ඉන්න ඇති. සැත්කම කරන්න ඉස්සෙල්ලා අම්මා මගේ හඳහන බැලෙව්වා. ඒක බලපු කෙනා දිනයක් කියලා ඒ දවසට ලොකු අපලයක් තියෙනවා කියලා තිබුණා. හරියටම ඒ දවසට තමයි සැත්කම කරන්න දින දීලා තිබුණේ. පස්සේ අම්මා වෛද්යවරුන්ට කිව්වා සීයා එන තුරු මේ සැත්කම කරන්න විදියක් නැහැ, ඒ නිසා දවස් කිහිපයක් කල් දාමු කියලා. මුලින්ම වෛද්යවරුන් ඒකට කැමැති වෙලා නැහැ. නමුත් පස්සේ කැමති වුණා. අපලය තිබුණු දවස පන්නලා සැත්කම කරන්න දිනය දාගන්න අම්මට පුළුවන් වුණා.
සැත්කමට පෙර සහ පසුව වාට්ටුවේ නැවතී සිටි කාලයේ වූ යම් යම් දේ ෆිලෝමිනාට හොඳින් මතක තිබේ. කොළඹ වෛද්ය විද්යාලයේ ඉගෙනුම ලබන වෛද්ය සිසු සිසුවියන් රැසක් ඇය පරීක්ෂා කිරීමට පැමිණි බවත් ඔවුහු ඇගෙන් නොයෙක් ප්රශ්න ඇසූ බවත් ඇය සිහිපත් කරයි. මාස හතරක් පමණ රෝහලේ නැවතී සිටි බව ෆිලෝමිනා පවසයි.
වාට්ටුවේ පමණක් නොව රෝහලේ ම සෑම සියලු දෙනකුගේ ම ආදරය දිනාගත් ෆිලෝමිනා බැලීමට ගමේ පල්ලියේ පියතුමන්ලා ද පැමිණ ඇත. ඔවුන් ඇයට දේවාශිර්වාද ද පැවැත්වූයේ ඉක්මන් සුවය ප්රාර්ථනා කරමිනි. සැත්කමින් පසු ද වෛද්යවරුන්ගේ සහ වෛද්ය ශිෂ්යයන්ගේ අවධානය ඇයට තිබිණි.
ඇය ඒ ගැන මෙසේ පවසයි.
“හැමෝම මා ගැන සොයා බැලුවා. සාත්තුවට හිටියේ ජර්මන් ජාතික සිස්ටර්ස්ලා, මදර්ස්ලා. ඒ අය මට හරි ආදරෙයි. තවත් ළමයි ගොඩකුත් වාට්ටුවේ හිටියා. මම බයේ අඬන කොට සිස්ටර්ස්ලා කියනවා පූසි වගේ අඬන්න එපා කියලා. 29 වැනි වාට්ටුවේ ටික දවසක් ඉඳලා මාව 12 වාට්ටුවට දැම්මා. සැත්කම කරන්න කලින් දොස්තරලා වෙන්න ඉගෙන ගන්න අය මාව වට කරගෙන විස්තර ඇහුවා. මට මතකයි සැත්කම කළාට පස්සෙත් ඒ අය නිතර නිතර ඇවිත් මාත් එක්ක කතා කරනවා.
සැත්කම කරන ආකාරය වීඩියෝ කරපු එක ටීවී එකක දාලා ඒ අයට පෙන්නුවා. ඒ වීඩියෝව පෙන්වන වේලාවෙ මට එතැන වාඩි වෙලා ඉන්න කියලත් කිව්වා. මමත් ඒ වීඩියෝ සියල්ල බැලුවා. එයාලා මගෙන් කාපු බීපු දේවල් ගැන ඇහුවා. සමහර වෛද්යවරුන් මට කිව්වා මම ඉස්සන්සහ බිත්තර වැඩිපුර කාපු නිසා තමයි මෙහෙම ප්රශ්නයක් වුණේ කියලා. මම පුංචි කාලේ වැඩිය බත් කන්න කැමති නැහැ කියලා අම්මා කියනවා. ඉස්සොයි බිත්තරයි තමයි වැඩිපුර කාලා තියෙන්නේ. මට පස්සේ තවත් දෙදෙනකුට මේ සැත්කම කරලා තිබුණා. එක් කෙනෙක් හාමුදුරු කෙනෙක්.”
සැත්කමින් සති කිහිපයකට පසු පූර්ණ සුවය ලැබූ ෆිලොමිනා යළි පාසල් යෑමට සූදානම් වූවාය. නමුත් ඇය සැත්කමින් පසුව ගියේ මාරවිල කන්යාරාමයටය. පාසලේ දී සැත්කම ගැන දැනගත් ඇගේ මිතුරියන් පුදුම වූ බවද ඇය කෙරෙහි වඩාත් ළෙන්ගතු වූ බව ද ඇය පවසයි.
“දවසක් පන්තියට ආපු ගුරුතුමියක් මම වරදක් කළා කියලා මගේ පිටට පාරක් ගැහුවා. ළමයි ඒ වේ කෑ ගහලා කිව්වා එයාගේ පිටට ගහන්න එපා කියලා. ගුරුතුමිය දැනගෙන හිටියේ නැහැ මට සැත්කමක් කර තිබූ බව. පසුවදා අම්මා පන්තියට ඇවිත් ඒ ගුරුතුමියට මගේ තත්ත්වය කිව්වා. ගුරුතුමිය ඒ ගැන ගොඩක් කනගාටු වුණා. කොහොම වුණත් මට පාසල් යන්න පුළුවන් වුණේ නව වැනි ශ්රේණියට විතරයි.“
1959 වර්ෂයේ ජුනි 21 වැනිදා ෆිලෝමිනාගේ විවාහය සිදු විය. ඒ ගාල්ලේ පදිංචි කෝදාගොඩ කණ්ඩම්බිගේ ජයනන්ද මැග්නස් සමඟය. ඔහු ධීවර දෙපාර්තමේන්තුවේ රැකියාවක නිරතවූ අයෙක් විය. විවාහයෙන් පසු යුවළ ගාල්ලේ කිතුලම්පිටියේ පිහිටි මහගෙදර පදිංචියට ගියෝය.
“වෛද්යවරුන් පසුව අම්මට කියලා තිබුණා සැත්කමේ කිසිම ප්රශ්නයක් නැහැ කියලා. ඒ වගේම මට සාමාන්ය ජීවිතයක් ගත කරන්නත් විවාහ වෙන්නත් පුළුවන්යැයි කියා තිබුණා. අපට දරුවන් හතර දෙනකු ලැබුණා. මේ දරුවො හතර දෙනාම ලැබුණේ නිවසේදී. දැන් ඒ දරුවන් හතර දෙනාටම දරුවන් හතර දෙනෙකුත් ඉන්නවා.
අදින් වසර තුනකට පෙර ඇගේ සැමියා මියගියේය. දරුවන් සමඟ දවස ගෙවනා ෆිලෝමිනා මහත්මිය පවසන්නේ තමන්ට කිසිදු අපහසුතාවක් නැති බවය. ගෙවුණ කාලය තුළ බරපතළ රෝගී තත්ත්වයක් නොතිබූ බව ඇය කියන්නේ සතුටිනි.
එස්. ලොකුකරවිට
ඡායාරූප - කරාපිටිය සමූහ
-Silumina-
Read 138 times