Tuesday, 20 October 2020 09:14

බෝම්බය පිපිරීමට පෙර...

logo 1

හැඬේ අවුල සහ නමේ අවුල මිස වෙනත් ලොකු අවුලක් කොවිඞ් වෛරසයේ නැත. මෙය ද ඉන්ෆ්ලූවන්සා වෛරසයේම ඥාති සහෝදරයෙකි. සිදු වූ ලොකුම අවුල වූ කලී මේ සහෝදරයාට ජාත්‍යන්තර මට්ටමේ ප‍්‍රචාරයක් ලැබීමය. මේ වෛරසය මුල් වරට මතු වූයේ චීනයේ වූහාන් පළාතේ තිරිසන් සතුන්ගේ මස් විකුණන මාකට් එකකින් බව සියලූ දෙනාගේම සාමාන්‍ය දැනුමේ කොටසකි. මේ වෛරසය සීතලට දැඩි ලෙස ඔරොත්තු දෙන බැවින් ගිය අවුරුද්දේ දෙසැම්බර්, ජනවාරි සහ පෙබරවාරි මාසවල වූහාන් පළාත ප‍්‍රමුඛ පළාත් ගණනාවක පැතිර ගියේය. එවිට චීනය සමග ඇති රාජ්‍ය තාන්ත‍්‍රික එදිරිවාදිකම් පිරිමැසීමට කල්පනා කළ ඇමරිකන් ආණ්ඩුව ලෝකයේ භයානකම ලෙඩවලින් එකක් චීනයට බෝවී ඇති බව ප‍්‍රචාරය කළේය. මේ ප‍්‍රචාරයෙන් පැය හැත්තෑ දෙකකට පසු ඇමරිකාවට ද කොවිඞ් 19 බෝවූ අතර ඉන් මාස තුනකට පමණ පසු බි‍්‍රතාන්‍යයේ අගමැති බොරිස් ජොන්සන්ට ලෙඬේ බෝ විය. දැඩි සත්කාර ඒකකයට දමන ලද බොරිස් ජොන්සන් පණ බේරා ගත්තේ බොහෝ අමාරුවෙනි. ඉන් මාස කිහිපයකට පමණ පසු ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට ලෙඬේ බෝ විය. කොවිඞ් පැතිර යන මුල් අවස්ථාවේදී පමණක් නොව තමාට ලෙඬේ බෝ වන තුරුම මාස්ක් දැමීමේ පූර්ව ආරක්ෂාව ගණන් නොගත් ඩොනල්ඞ් ට‍්‍රම්ප් රෝගය වැළඳෙන බවට ඉඟි කෙරෙන පළමුවැනි කිවිසුම් දෙක තුන ගොස් නාසයෙන් සොටු දියර ගලන්නට වූ කලී වහාම මාස්ක් එකක් දා ගත්තේය.

වැඩිදෙනා නොදන්නා කාරණය නම් කොරෝනා වෛරසයෙන් මියගිය ගාණට වඩා ලෙඬේ බෝ වී සනීප වූ පිරිස ලංකාවේ ජනගහනය මෙන් එකහමාරකටත් වැඩි බවය. මේ වනවිට කොවිඞ් දහනවය ආසාදනය වූ සමස්ත ලෝකවාසී ජනගහනය හාරකෝටි දොළොස් ලක්ෂ තිස් දහස් විසි හයකි. එයින් දෙකෝටි අනූනව ලක්ෂ අනූ පන්දහස් හාරසිය නවයක් හොඳටම සනීප වී ගෙවල්වලට ගොස් සුපුරුදු ජීවිත ගත කරති. ඒ අතර එකොලොස් ලක්ෂ දහසය දහස් පන්සිය නවයක් මිය පරලොව ගොස් සිටිති. සාමාන්‍යයෙන් කොවිඞ් දහනවයෙන් මිය යන්නේ ජීවන යන්ත‍්‍රය තවදුරටත් නඩත්තු කිරීමට බැරි තරමටම නරක් වූ වියපත් ජනතාවය. එසේම බේබදුකම නිසා ස්වෝත්සාහයෙන් ජීවන යන්ත‍්‍රය දිරාපත් කරගත් අය සිටිති. මේ නරක් වූ කොටස්වලට අමතර කොටස් ඇත්තේ අපායේ පමණි. එවැනි අය වැඩි ප‍්‍රසිද්ධියකින් තොරවම තම ගමනාන්තය කරා ගියහ. මේ වෛරසයට වඩා භයානක වෛරස් ලෝක ඉතිහාසයේ තිබේ. රෝම අධිරාජ්‍යය පැවති සමයේදී පැතිර ගිය දරුණු ඉන්ෆ්ලූවන්සා උණක් නිසා එවකට ලොව පැවති විශාලම යුද හමුදාව වූ රෝම හමුදාවෙන් සියයට අනූවක් මිය ගියහ. ඉතිරි වූ සියයට දහය ජීවිතය උදෙසා මාරයා සමග බලගතු සටනක නිරත වූ අය බැවින් යුද බිමට යෑමට තබා කෙලින් හිට ගැනීමටවත් හයියක් නැති නිසා වහා විශ‍්‍රාම ගැන්වීමට සිදුවිය. ඉන්පසු මුල සිටම අලූත් රෝම හමුදාවක් හදන්නට ද සිදුවිය. සාර්ස්, මර්ස්, ඉබෝලා වැනි අති භයානක වෛරස් පිළිබඳ අපි අසා ඇත්තෙමු.

මේවා සෙල්ලම් ලෙඩ නොව ලෝකවාසීන්ගෙන් හතරෙන් එකක්, හතරෙන් දෙකක්, හතරෙන් තුනක් යනාදී වශයෙන් වළපල්ලට යැවීමට ශක්තිය තිබූ උග‍්‍ර වෛරස් වෙති. එහෙත් කවර හෝ තත්ත්වයන් මත එම රෝග පාලනය කිරීමට හැකි වූ අතර එම කිසිදු වෛරසයකින් පන්දහසකට වැඩි පිරිසක් මිය නොයෑම විශේෂ කාරණයක් ලෙස සටහන් කළ යුතුය. කොවිඞ් දහනවය වෛරසය සාර්ස්, මර්ස්, ඉබෝලා තරම් බලසම්පන්න නැති වුවද එය එකිනෙකාට බෝවීමට ඇති හැකියාව වැඩිය. මෙසේ බෝවන අතර ඇමරිකාව ලෝකයේ ජනප‍්‍රියම වෛරසය බවට එය පත් කළේය. අපගේ වැටහීමට අනුව මේ මොහොතේදී ලෝකයේ ජනප‍්‍රියම නාම පදය බවට පත්ව ඇත්තේ කොරෝනාය. දෙවැනි ජනප‍්‍රිය වචනය ඩොනල්ඞ් ට‍්‍රම්ප් විය යුතුය. කොවිඞ් කොරෝනා ඇරඹුණු චීනයේ වූහාන් පළාත ගැන ඒ රටේ ඈත දේශසීමාවල ජීවත්වන චීන්නු පවා නොදනිති.

ලැබුණු ප‍්‍රචාරය සහ එම ප‍්‍රචාරයේ විභවය හේතුවෙන් ශ‍්‍රී ලංකාව විසින් කොරෝනා වෛරසය හඳුනාගෙන ඇත්තේ වසූරියටත් වඩා දරුණු ලෙඩක් ලෙසය. එසේම මේ වෛරසය ආසාදනය වූ අයෙක් හමු වූ විට ගෙවල් පිටින් නිරෝධායනය කිරීම එවැනි පුද්ගලයන් දෙතුන් දෙනකු සිටින ගමක් හමු වූ විට එම ගම සම්පූර්ණයෙන්ම ලොක් ඩවුන් කිරීම වැනි අත්‍යාවශ්‍ය ආරක්ෂක උපක‍්‍රම නිසා මේ රෝගයට ලැබුණු සන්ත‍්‍රාසදායි ජනප‍්‍රියත්වය භුක්ති විඳිනු පිණිස වෙනමම සෙට් වුණු පිරිසක්ද ලංකාවේ වෙසෙති. සෑම සිකුරාදාවකම ඔවුන්ගේ ප‍්‍රාර්ථනය වූයේ සෙනසුරාදා උදේ හයට ඇඳිරි නීතිය පනවා එම තත්ත්වය අඩුම ගාණේ සතියක්වත් පවතින්නේ නම් කොතරම් මැනව ද යන්නය. මේ රෝගයේ දේශීය විභවය කොතරම් ඝනකම් ද යත් ලංකා ඉතිහාසයේ බුද්ධි අංශ සහභාගි වූ පළමුවන රෝගය බවට පත්ව තිබේ. කොරෝනා වෛරසයේ ඉන්ෆ්ලූවන්සා ස්වරූපයට අනුව එයට භයවීමට වඩා වැදගත් වන්නේ ආරක්ෂා වීමය. අද අප ලිව්වේ රටේ පවතින නරක තත්ත්වය පිළිබඳ සරල සාමාන්‍ය කතු වැකියකි. හෙට බෝම්බයක් පත්තු කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

Read 489 times