දිවයිනට සමාන්තරව නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අවපීඩන තත්වය පීඩන අවපාතයක් දක්වා ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බවත් මෙම තත්වය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකචඡාවකට සහභාගී වෙමිනි.
මෙම ගැඹුරු පීඩන අවපාතය හෙට පස්වරු 5.30ත් පස්වරු 11.30ත් අතර කාලයේ හම්බන්තොට සහ කල්මුණේ ප්‍රදේශ ආශ්‍රිතව නැගෙනහිර වෙරළ තීරයෙන් දිවයිනට ඇතුලු විය හැකි බවත් එසේ වුවහොත් මිලිමීටර සියය ඉක්මවන තද වැසි අපේක්ෂා කරන බවත් ඒ මහතා කියා සිටී.
එසේම නැගෙනහිර පළාතට තද වැසි මෙන්ම පැයට කිලෝමීටර් 70 – 80 අතර තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බවත් මේ හේතුවෙන් දිවයින වටා මුහුදු රළ මීටර් 200 ක් පමණ ඉහළට එසවිය හැකි බවත් කරුණානායක මහතා වැඩිදුරටත් සදහන් කළේය.තවද අහස වළාකුළෙන් බරව පවතින බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවලට මිලිමීටර 50 -75 දක්වා වැසි අපේක්ෂා කරන බවත් හෙතෙම පැවසීය.තවද මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ මෙන්ම දකුණු පළාතේ සුළඟේ වේගය අඩු විය හැකි බව පවසන ඒ මහතා දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට බලපාන සුළඟේ වේගය හේතුවෙන් ගස් කඩා වැටීම් වහළවල් ගැළවීයාම වැනි අනතුරු සිදු විය ඇති බවද පෙන්වා දෙයි.
මෙම පද්ධතිය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ සම්භාවිතාවක් නොමැති බවත් ගැඹුරු පීඩන අවපාතයක් ලෙස දිවයිනට ඇතුලු වුවහොත් නැගෙනහිර , උතුරු , උතුරු මැද පළාත්වලට වර්ෂාව අධික විය හැකි බවත් හෙතෙම සඳහන් කරයි.
එසේම ජනවාරි මස 10 වැනි දින වන විට මෙම පද්ධතිය දුර්වල මට්ටමකට පැමිණ වර්ෂාවේ අඩුවක් දක්නට හැකි බවත් 11 වැනි දින වනවිට දිවයිනෙන් ඉවත්ව යනු ඇති බවත් කරුණානායක මහතා පෙන්වා දෙයි.
