Tuesday, 20 January 2026

ආපදාව නිසා අක්‍රීය තත්වයට පත් වූ ජලසම්පාදන ක්‍රමයන් කඩිනමින් යථාතත්වයට

Posted On Wednesday, 10 December 2025 14:10

ආපදාව නිසා අක්‍රීය තත්වයට පත් වූ ජලසම්පාදන ක්‍රමයන් කඩිනමින් යථාතත්වයට

 

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය නිසා අක්‍රීය තත්වයට පත් වූ ජල සම්පාදන ක්‍රම, 99% ක් ම මේ වන විට යථා තත්වයට පත් කර ඇති බව ජල සම්පාදන මණ්ඩලයේ වැඩබලන සභාපති ඉංජිනේරු උපාලි රත්නායක මහතා අද (10) මාධ්‍යට කරුණු දක්වමින් පැවසීය.

ආපදා තත්වය නිසා ජල සම්පාදන මණ්ඩලයේ දිවයින පුරා පවතින ජල සම්පාදන ක්‍රම 342 න් 156 ක් සම්පූර්ණයෙනම අක්‍රීය තත්වයට පත් වූ අතර මේ වන විට ඉන් 99% ක්ම යථා තත්වයට පත් කර ඇත.

විල්ගමුව, මාතලේ, හීන් ගඟ ආශ්‍රිතව පවතින ජල පොම්පාගාරය පමණක් තවමත් ප්‍රකෘති තත්වයට ගෙන ඒමට නොහැකි වූ බවත්,කඩිනමින් එය යථා තත්වයට ගෙනෙන බවත් ඔහු ඔහු පැවසීය.

එමෙන්ම ගෙලිඔය, ඇල්පිටිය ජල පොම්පාගාරයේ 50% ක් ක්‍රියාකාරී තත්වයට පත් කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව තිස් දෙලක්ෂ පනස් දහසක් වූ මෙරට සමස්ත ජල පාරිභෝගිකයින්ගෙන්, තිස් දෙලක්ෂ හතළිස් හතරදාහක් ජල සැපයුම් යථා තත්වයට පත් කර ඇත.

ගම්පහ, කුරුණෑගල ,අනුරාධපුරය,නුවර,බදුල්ල,බණ්ඩාරවෙල,මහියංගනය,මාතලේ,නුවරඑළිය යන නගරවල ජල සම්පාදන ක්‍රමවලට ආපදාව නිසා විශාල බලපෑමක් වූ බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය.