නෙයිනා තම්බි මරික්කාර් මොහමඩ් තාහිර් මහතා දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද (05) දිවුරුම් දුන්නේය.
කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේ දී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.
සමගි ජනබලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ මුහම්මදු ඉස්මායිල් මුත්තු මුහම්මදු මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුවට නෙයිනා තම්බි මරික්කාර් මොහමඩ් තාහිර් මහතා මෙලෙස පත් කර තිබේ.
කල්පිටිය තිගලි මුස්ලිම් මහා විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය නිම කර ඇති නෙයිනා තම්බි මරික්කාර් මොහමඩ් තාහිර් මහතා 1991 දී කල්පිටිය ප්‍රාදේශීය සභාව නියෝජනය කරමින් දේශපාලනයට ප්‍රවේශ වී ඇත. තවද ඒ මහතා කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙකු ලෙස සහ විපක්ෂ නායකවරයකු ලෙසද කටයුතු කොට තිබේ.
