Saturday, 06 December 2025

කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 214,040කට ආපදා තත්ත්වයෙන් බලපෑම්

Posted On Sunday, 30 November 2025 10:02

කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 214,040කට ආපදා තත්ත්වයෙන් බලපෑම්

 

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ ඇති අපදා තත්ත්වයට අනුව ග්‍රාම සේවා වසම් 382කට අයත් පවුල් 50,954ක පුද්ගලයින් 214,040ක් ආපදාවට ලක්වී ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා පවසයි.

දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවසුවේ , අද (30) මාධ්‍ය වෙත මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ ඇති අපදා තත්ත්වය පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමේදී ය .

පුද්ගලයින් 02ක් ජිවිතක්ෂයට පත්ව ඇති බවත් 02ක් අතුරුදන් වී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය. නිවාස 04ක් සම්පූර්ණයෙන් හානි වි ඇති අතර නිවාස 1023ක් අර්ධ හානි වී ඇති බවද කීය.

කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ පුද්ගලයින් අවතැන් වී ඇති අතර සුරක්ෂිත කඳවුරු 95ක පුද්ගලයින් 16,000කට අධික පිරිසක් රැදි සිටින බවත් ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට රජය කටයුතු කරන බවද අවධාරණය කළේය.

කඩුවෙල සිට මාල‍ඹේ දක්වා ද මාලඹේ සිට බත්තරමුල්ල දක්වා ද අතුරුගිරියේ සිට මාල‍ඹේ දක්වා ද ඇති මාර්ගවල සහ ඒ අවට පහත් බිම්වල වෙසෙන ජනතාවට එයින් ඉවත් වී හැකි ඉක්මනින් පිට්ටුගල යශෝධරා මහා විද්‍යාලයේ සහ මාලඹේ ආදර්ශ පිරිමි විද්‍යාලයේ පිහිටුවා ඇති සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු වන ලෙසද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

මේ අවස්ථාවේදි ඉතා කඩුවේල සහ කොලොන්නාව ප්‍රදේශවල ජල ගැලීම් වර්ධන වන බැවින් තමන්ට අයත් ප්‍රාදේශිය ලේකම් කාර්යාල සහ ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සම්බන්ධ කරගනිමින් හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙසද ඉල්ලීමක් කළේය.