ජපානයේ හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥයන් කණ්ඩායමක් අද රාත්‍රියේ ශ්‍රී ලංකාවට
ජපන් තානාපති කාර්යාලයේ සහ ජයිකා ආයතනයේ නියෝජිතයින් පිරිසක් අද (30) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ පිහිටුවා ඇති පැය 24ම ක්‍රියාත්මක වන ජාතික සෞඛ්‍ය ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානය වෙත පැමිණ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රමුඛ එම මධ්‍යස්ථානයේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක නිරත විය.
හදිසි ආපදා තත්ත්වය හමුවේ මෙරට සෞඛ්‍ය සේවාවන් ප්‍රමුඛ අනෙකුත් සියලු අංශ සඳහා ආධාර ලබා දීම සඳහා අවශ්‍යතා හඳුනාගැනීමත් ආපදා තත්ත්වයන් හමුවේ ලබාදිය යුතු සහන පිළිබඳව කරුණු සොයා බැලීමත් විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආපදාවන් පිළිබඳ කරුණූ විමසීමත් මෙම නියෝජිත පිරිස පැමිණීමේ මුලික අරමුණ විය.
මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රමුඛ ජාතික සෞඛ්‍ය ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානයේ නිලධාරීන් සමඟ ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡාවක් සිදු කරන ලදී. මෙම සාකච්ඡාවේ දී එම නියෝජිතයන් පිරිස මෙරට සෑම දිස්ත්‍රික්කයකම පවතින ආපදා තත්ත්වය පිළිබඳව ඉතා දීර්ඝව කරුණු සොයා බැලීමක් සිදු කළ අතර එම කරුණු ජපන් රජය වෙත දැනුම් දීමට ක්‍රියාකරන බව ද අනාවරණය විය.
එමෙන්ම මෙරට ආපදා තත්ත්වය හමුවේ කඩිනම් සහන ලබා දීම සඳහා ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව ඉතා සවිස්තරව කරුණු සොයා බැලීම සඳහා ජපානයේ හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥයන් කණ්ඩායමක් අද (30) රාත්‍රියේ මෙරටට පැමිණීමට නියමිත බවත් ඔවුන් සොයා බලනු ලබන කරුණු පදනම් කරගෙන ඉදිරියේ දී අදාළ ආධාර සහ අවශ්‍යතා ලබාදීමට ක්‍රියාත්මකවන බවත් එම නියෝජිතයන් පිරිස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දෙන ලදී.
මෙහි දී අදහස් දැක්වු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සුනාමි ව්‍යසනය හමුවේ මෙරට ජපානය උපකාර කළ ආකාරය පිළිබඳව සිහිපත් කරමින් මෙම අවස්ථාවේ දී ද ඒහා සමානව ක්ෂණික මැදිහත්වීමක් සිදුකරමින් මෙරට ආපදා තත්වය කළමනාකරණය කර ගැනීම සඳහා ජපානය ඉදිරිපත්වීම පිළීබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යංශයේත්, රජයේත් කෘතවේදීත්වය එම නියෝජිත පිරිසට ප්‍රකාශ කරන ලදී. එමෙන්ම අදාළ නියෝජිතයන් සඳහා සියලු පහසුකම් ලබාදීමට එකඟ වු ලේකම්වරයා ඔවුන් සමඟ සාමුහිකත්වයෙන් ක්‍රියාකිරීමට සෞඛ්‍ය කණ්ඩායම්වල සුදානම පිළිබඳව ද කරුණු පැහැදිලි කරනු ලැබීය.
තවදුරටත් අදහස් දැක්වු ලේකම්වරයා අද රාත්‍රියේ ඉන්දියාවේ සිට ද තවත් කණ්ඩායමක් වෛද්‍ය ආධාර රැගෙන මෙරටට පැමිණීමට නියමිත බව ද මෙහි දී අනාවරණය කළේ ය.
මෙම ජපන් නියෝජිත පිරිසට ජපන් තානාපති කාර්යාලයේ Eguchi Miyuki, Yamamoto Yasuhito, Murata Shinichi, Tanaka Sachi යන මහත්ම මහත්මීන් සහ ජයිකා ආයතනයේ Matusunoshita, Anica Inda යන මහත්ම මහත්මින් ද එක්විය.
