ආසියා පැසිෆික් කලාපයේ ස්වේච්ඡා සහාය උප කමිටුවේ සභාපති සහ ආසියා පැසිෆික් එවර්ග්‍රීන් බාලදක්ෂයන්ගේ (Asia Pacific Evergreen Scouts) සාමාජික අධ්‍යක්ෂ ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා පත් කර ඇත.
තායිවානයේ කාඕසියුංහිදී පැවැති ආසියා පැසිෆික් කලාපීය බාලදක්ෂ සමුළුවේදී මෙම පත්කිරීම් සිදුකර තිබේ.
එමෙන්ම ලෝක බාලදක්ෂ ව්‍යාපාර සංවිධානය විසින් ඔහු නැවතත් එහි උපදේශකයෙකු ලෙස පත් කර ඇති අතර මෙම සියලු පත්වීම් වසර තුනක කාලයක් සඳහා වේ.
උපදේශකයෙකු ලෙස ඔහු ලොව ප්‍රමුඛතම සහතික කිරීමේ සමාගමක් වන SGS වෙතින් ලෝක බාලදක්ෂ ව්‍යාපාර සංවිධානයට අදාළ ජාතික බාලදක්ෂ සංවිධාන පාලනය, මූල්‍ය, වර්ධනය, ආයතනික අවශ්‍යතා, උපායමාර්ගික රාමුව, හානියෙන් සුරක්ෂා වීම සහ ජාතික බාලදක්ෂ සංවිධානවලට අදාළ අනෙකුත් වැදගත් ක්ෂේත්‍රවල විගණනය සහ තක්සේරු කිරීම සඳහා පුහුණුව ලබා ඇත.
ලෝක බාලදක්ෂ කමිටුවට (2017-2021) සහ ආසියා පැසිෆික් කලාපීය බාලදක්ෂ කමිටුවට (2012 -2017) තේරී පත් වූ එකම ශ්‍රී ලාංකිකයා ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා වන අතර ලෝක බාලදක්ෂ කටයුතු සඳහා සක්‍රීය ලෙස සේවය කළේය.
ලෝක බාලදක්ෂ ව්‍යාපාරයෙහි දැනට සාමාජික රටවල් 176 ක මිලියන 60 ක සාමාජිකත්වයක් ඇති අතර, ඉන් මිලියන 38 ක් සාමාජික රටවල් 33 ක ආසියා පැසිෆික් කලාපයට අයත් වේ.
ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා 1979 දී 39 වන කොළඹ, ශාන්ත තෝමස් කනිෂ්ඨ විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායමේ කනිෂ්ඨ බාලදක්ෂයෙකු ලෙස සිය බාලදක්ෂ කටයුතු ආරම්භ කළ අතර, පාසලේ බාලදක්ෂ නායකයෙකු ලෙස සේවය කළේය.
ඔහු කොළඹ දිසා බාලදක්ෂ ශාඛාවෙහි දිසා බාලදක්ෂ නායකයෙකු, සහ සහකාර දිස්ත්‍රික් කොමසාරිස්වරයෙකු ලෙස සේවය කළ අතර, 2005 -2010 දක්වා දිසා කොමසාරිස් ලෙස වසර 5 ක කාලයක් සේවය කළේය. ඉන්පසු ඔහු විශේෂ කොමසාරිස්වරයෙකු ලෙස ජාතික බාලදක්ෂ කටයුතුවලට සම්බන්ධ වූ අතර, ජාත්‍යන්තර කොමසාරිස් (2011-2016), සහ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් (2016-2021) ලෙස සේවය කොට දැනට ප්‍රධාන කොමසාරිස් ලෙස පස් අවුරුදු ධුර කාලයෙහි අවසන් වසර සේවය කරමින් සිටී.
